Friday, September 20, 2024

මට තර්ක ශාස්ත්‍රය ප්‍රශ්ණ පත්‍රය ලැබුණේ බිම තිබිලා – විදුහල්පති පියතුමන් විමර්ශන නිලධාරීන්ට කියයි

Must read

තර්ක ශාස්ත්‍රය හා විද්‍යාත්මක ක්‍රමය ප්‍රශ්න පත්‍රය තමන්ට ලැබුණේ බිම වැටී තිබියදී බව මීගමුව සාන්ත මරියා විදුහලේ විදුහල්පති ජයන්ත වික්‍රමසිංහ පියතුමා විමර්ශන නිලධාරීන් හමුවේ ප්‍රකාශ කර ඇත. එම ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්නයක් පිළිබඳව විදුහලේ තර්ක ශාස්ත්‍රය උගන්වන ගුරුවරයාගෙන් විමසා සිටියේ විශේෂ හේතුවකින් තොරව බවත් පියතුමා ප්‍රකාශ කර තිබේ.

විදුහල්පති පියතුමා මේ බව ප්‍රකාශ කර ඇත්තේ උසස් පෙළ තර්ක ශාස්ත්‍රය හා විද්‍යාත්මක ක්‍රමය පළමු ප්‍රශ්න පත්‍රයට අදාළ විභාගය අවසන් වීමට පෙර එම ප්‍රශ්න පත්‍රය පියතුමන්ගේ අතට ලැබීමේ සිද්ධිය පිළිබඳ ප්‍රශ්න කිරීමේදීය. විභාගය ඉකුත් 14 වැනිදා සවස 1ට ආරම්භ වී ඇති අතර ඉන් පැයකට පමණ පසු විදුහල්පති පියතුමා එම ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්නයක් සම්බන්ධයෙන් එම පාසලේ එම විෂය උගන්වන ගුරුවරයාගෙන් විමසා ඊට විනාඩි පහකින් පමණ පිළිතුර අවශ්‍ය බවත් දුරකථනයෙන් පවසා තිබේ.

විශේෂ හේතුවකින් තොරව විමසීමක් කළේ නම් විනාඩි පහකින් පිළිතුරු ලබා දෙන ලෙස ගුරුවරයාගෙන් ඉල්ලා සිටියේ ඇයි දැයි විමර්ශන නිලධාරීන් කළ ප්‍රශ්න කිරීමට පියතුමා නිරුත්තර වී ඇතැයි විශ්වාස කටයුතු ආරංචි මාර්ග අනාවරණය කළේය.

විභාගය දින ගුරුවරයාගෙන් පිළිතුරු ලබා ගෙන අයැදුම්කරුවකුට සන්නිවේදනය කිරීමේ උත්සාහයක් පැවතියේය යන සැකය මත එලෙස සන්නිවේදනය කිරීමට උත්සාහ කළේ කෙසේද යන්න පිළිබඳ විමර්ශන සිදු කෙරේ. විභාග දෙපාර්තමේන්තු විමර්ශන නිලධාරීන් පියතුමාගෙන් ප්‍රශ්න කළේ සිද්ධියෙන් දින දෙකකට පසුව ය. එනම් පසුගිය සිකුරාදා (16 වැනිදා) පැවැති එම විෂයයේ දෙවැනි කොටසට අදාළ විභාගය අවස්ථාවේය. දෙපාර්තමේන්තුව විමර්ශන නිලධාරීන් පිරිසක් එදින එම මධ්‍යස්ථානයට යවා තිබිණි.

(අරුණ)

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article