Sunday, April 20, 2025

පළාත් පාලන මැතිවරණ වේදිකාව | “ජනාධිපති අනුර කුමාර එහෙම නෑ.”

Must read

ජනාධිපතිවරයෙකුගේ පක්ෂග්‍රාහීත්වය, නිදහස් හා සාධාරණ මැතිවරණයට, ප්‍රජාතන්ත්‍රවාදයට බලපාන ආකාරය

ප්‍රජාතන්ත්‍රවාදය යනු ජනතාවගේ බලය, සාධාරණත්වය සහ නිදහස මත පදනම් වූ පාලන ක්‍රමයක් ලෙස එක් ලෙසකින් විග්‍රහ කල හැකිය.[තවත් ලෙසකට, බලය ජනතාව සතු වන පාලන ක්‍රමයක් පමණක් නොවෙයි. එය ජනතාවගේ සහභාගීත්වය, විවෘත සංවාදය, මතභේද පිළිගැනීම, නීතියට යටත්වීම, සහ සමාජය තුළ සාධාරණය හා සමානාත්මතාවය උදෙසා ව්‍යවස්ථාදායක ක්‍රියාවලියක් ද ඇතුලත් වේ. මෙහිදී, ජනතාවට – තම නියෝජිතයන් තෝරාගැනීමේ නිදහස, – අධිකාරීන්ව සීඝ්‍රයෙන් විමර්ශනය කිරීමේ හැකියාව, – අදහස් පළ කිරීමේ සහ විරෝධතා පැවැත්වීමේ අයිතිය, ඇතුළු විවිධ අයිතිවාසිකම් ද හිමිවිය යුතු ක්‍රියාවළියකි. අවසානයේ, ප්‍රජාතන්ත්‍රවාදය ජීවමාන වන්නේ ජනතාවගේ සක්‍රීය සහභාගීත්වය මතය. එය පාර්ලිමේන්තු මැතිවරණවලට හෝ වෙනත් මැතිවරණවලට පමණක් සීමා නොවී, දිනෙන් දින සිදුවන පීඩාවන්ට එරෙහිව, සත්‍යය සහ යුක්තිය උදෙසා, නීතියේ අධිපත්‍ය වෙනුවෙන් සහ සාධාරණ සමාජයකට කැපවන ලෙස ජීවත්වීමත් තවත් පැත්තකි.] මෙහිදී, ‘ජනාධිපතිවරයා’ රටේ සියලු ජනතාවගේ ‘නියෝජනය සංකේතවත්’ කරන ඉහළම තනතුරක් ලෙස සළකනු ලබයි. එහෙත්, ජනාධිපතිවරයෙක් මැතිවරණයකදී ‘එක් දේශපාලන පක්ෂයක්’ වෙනුවෙන් පෙනී සිටීම ප්‍රජාතන්ත්‍රවාදයට බරපතල ලෙස බලපාන බව පිළිගත් මතයයි. එය ‘පිළිගත් මතයක්’ වුවත් ‘එහෙම වෙන්න ඕන නෑ, ජනාධිපති කියන්නේ අපේ පක්ෂෙ, පක්ෂෙ දිනවන එක එයාගේ වගකීමක්’ යැයි කියන අය අපට හමුවේ. එය විශේෂයෙන් ‘බලය’ පිළිබද ‘ආශාවකින්’ පෙළෙන අයගේ මිනිස් චර්යාවකි. කෙසේ වුවත්, මෙම ලිපියෙන් එවැනි ක්‍රියාවක බලපෑම්, උදාහරණයන් සමඟ ගවේෂණය කිරීමට උත්සහා කරනු ලබයි.

මැතිවරණවල නිදහස් හා සාධාරණත්වයට බලපෑම්

මැතිවරණය යනුම ජනතාවට තම බලය, කැමැත්ත ප්‍රකාශ කිරීමට ලැබෙන ප්‍රධානතම අවස්ථාවකි. එය ප්‍රජාතන්ත්‍රීය වටිනාකම් විශ්වාස කරමින්, ඒවා ප්‍රවර්ධනය කරන ඕනෑම සමාජයක ඉතාමත් වැදගත් අවස්ථාවකි. තත්ත්වය එසේ තිබිය දී ජනාධිපතිවරයා එක් පක්ෂයකට හිතවත් ලෙස කටයුතු කළහොත්, ඔහුගේ බලපෑම ඡන්දදායකයන් විසින් තමන් ගනු ලබන තීරණවලට සෘජුව සහ බලවත් ලෙස බලපානු ඇත.. ජනාධිපතිවරයාගේ රාජ්‍ය බලය, මාධ්‍ය ප්‍රවේශය හෝ ජනප්‍රියත්වය යොදා ගනිමින් එක් පක්ෂයකට ‘අසාධාරණ වාසියක්’ ලබා දිය හැකියි. මෙය මැතිවරණයේ නිදහස හා සාධාරණත්වයට අතිශයින් ම බාධා කරනු ඇත. එවැනි තත්ත්වයකදී, ජනතාවගේ සැබෑ කැමැත්ත පිළිබිඹු නොවීමේ අවදානමක් සීග්‍රයෙන් වැඩි වනු ඇත. නමුත්, ශ්‍රී ලංකාවේ විධායක ජනාධිපති අනුර කුමාර දිසානායක ‘මැතිවරණයකදී’ එසේ හැසිරෙන්නේ නැති බවට සහතික වෙන බව පැවසෙයි. ඔහු ඒ බව ක්‍රියාවෙන් ද ඔප්පු කරමින් සිටින බව ඇතැම් අනුගාමිකයන් සමාජ මාධ්‍ය තුළ පවසා සිටින බවක් දක්නට ලැබිණි.


ජනතාවගේ විශ්වාසය හානි වීම

ජනාධිපතිවරයා රටේ සියලු ජනතාව නියෝජනය කළ යුතු බැවින්, ඔහුගේ පක්ෂග්‍රාහීත්වය ඔහුට විරුද්ධ පක්ෂවලට ඡන්දය දුන් ජනතාව අතර අවිශ්වාසයක් ඇති කිරිමට තුඩු දෙයි. එසේ වීමෙන් ඔවුන්ට හැඟෙන්නේ රාජ්‍ය ආයතනවලින් තමන්ට සාධාරණ සැලකිල්ලක් නොලැබෙන බවයි. මෙය ප්‍රජාතන්ත්‍රවාදයේ මූලික පදනම වන ‘ජනතාවගේ විශ්වාසය’ අතිශයින් ගැඹුරු ලෙස ඛාදනයට ලක් වෙයි. ජනතාව රාජ්‍ය ආයතනවලට විශ්වාසය තැබීම අඩු වූ විට, ඒවායේ නීත්‍යානුකූලභාවයට හානි වී, යළි ප්‍රතිසංස්කරණය කිරීමට දුෂ්කර වෙයි. නමුත්, ශ්‍රී ලංකාවේ විධායක ජනාධිපති අනුර කුමාර දිසානායක ‘මැතිවරණයකදී’ එසේ පක්ෂග්‍රාහීව හැසිරෙන්නේ නැති බවට සහතික වෙන බව පැවසෙයි. ‘විශ්වාස කරන්න’ ජනාධිපතිවරයා සෑම විටම පවසන්නේ ඒ නිසාය.

බලය අනිසි ලෙස භාවිතා වීම

ජනාධිපතිවරයාට රාජ්‍ය සම්පත්, මාධ්‍ය හෝ බලය භාවිතා කිරීමට ඇති හැකියාව ඉතාමත් ඉහළ බව කවුරුත් දන්නා කරුණකි.(ශ්‍රී ලංකාවේ ද ‘තවමත්’ එසේමය) ඔහු මෙම බලය එක් පක්ෂයක් වෙනුවෙන් යොදවන්නේ නම්, එය ප්‍රජාතන්ත්‍රවාදයේ ‘බලතල බෙදීමේ මූලධර්මයට’ අතිශයින් පටහැනි වනු ඇත. උදාහරණයක් ලෙස, රාජ්‍ය මාධ්‍ය එක් පක්ෂයකට වාසිදායක ලෙස යොදා ගැනීම හෝ රාජ්‍ය සම්පත් එම පක්ෂයේ මැතිවරණ ව්‍යාපාරවලට යෙදවීම බලය අනිසි ලෙස භාවිතා කිරීමකි. මෙවැනි ක්‍රියා රාජ්‍ය යාන්ත්‍රණයේ අපක්ෂපාතීත්වයට ගැඹුරින් හානි කරනු ඇත. නමුත්, ශ්‍රී ලංකාවේ විධායක ජනාධිපති අනුර කුමාර දිසානායක ‘මැතිවරණයකදී’ එසේ පක්ෂග්‍රාහිවවත්, රාජ්‍ය දේපල හෝ මාධ්‍ය මෙන්ම තමන්ට ලැබී ඇති ජනප්‍රියත්වය පක්ෂග්‍රාහී ලෙස භාවිතා කරන්නේ නැති බවට සහතික වෙන වන අතර මාධ්‍ය හෝ රාජ්‍ය සම්පත් එක් පක්ෂයක් වෙනුවෙන් පමණක් යොදා ගැනීම ප්‍රතික්ෂේප කරන බවට ද පැවසෙන අතර එය ඔහුගේ ‘මැතිවරණ වේදිකාවලදී’ ඒ බව ප්‍රායෝගිකව ද පෙන්වන බව පැවසෙයි. ‘විශ්වාස කරන්න’ ජනාධිපතිවරයා සෑම විටම පවසන්නේ ඒ නිසාය.

සමාජ බෙදීම් උග්‍ර වීම

ජනාධිපතිවරයාගේ පක්ෂග්‍රාහී ක්‍රියාකාරකම් ජනතාව අතර බෙදීම් ඇති කරන බවට අප තරයේ සිහි තබා ගත යුතුය. දේශපාලනිකව බෙදුණු සමාජයක, ජනාධිපතිවරයා එක් පක්ෂයකට හිතවත් ලෙස කටයුතු කිරීමෙන් විරුද්ධ පාර්ශ්වයන් අතර ගැටුම් උත්සන්න විය හැකියි. මෙය ඇති කරනවා යැයි කියන ‘සහජීවනයට’ විශාල තර්ජනයක් වන අතර, දේශපාලන ස්ථාවරත්වයට එය සෘජුවම බලපානු ඇත. නමුත්, ශ්‍රී ලංකාවේ විධායක ජනාධිපති ‘මැතිවරණයකදී’ එසේ හැසිරෙන්නේ නැති බවට සහතික වෙන බව පැවසෙයි. ‘විශ්වාස කරන්න’ ජනාධිපතිවරයා සෑම විටම පවසන්නේ ඒ නිසාය.

උදාහරණයක් ලෙස එක්සත් ජනපදය (2016-2020) විමසමු,

එක්සත් ජනපදයේ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ 2016-2020 පාලන සමයේදී, ඔහු රිපබ්ලිකන් පක්ෂය වෙනුවෙන් බලවත් ලෙස පෙනී සිටි බවට චෝදනා එල්ල විය. 2020 මැතිවරණයට පෙර ඔහුගේ රැලි සහ ප්‍රකාශ රිපබ්ලිකන් අපේක්ෂකයන්ට වාසිදායක ලෙස යොදා ගැනුණු බව බොහෝ විචාරකයන් පෙන්වා දුන්නේය. මීට අමතරව, රාජ්‍ය සම්පත් (උදා: ධවල මන්දිරයේ ප්‍රචාරක උත්සව) භාවිතය ගැනත් විවාද ඇති විය. මෙය ජනාධිපති තනතුරේ ‘මධ්‍යස්ථභාවය’ ගැන ඇමරිකානු සමාජය ප්‍රශ්න මතු කළහ. එසේම ජනාධිපතිවරයාගේ එම හැසිරීම ඡන්දදායකයන් අතර බෙදීම් උග්‍ර කරනු ලැබීය. මෙවැනි ක්‍රියා එක්සත් ජනපදයේ දේශපාලන බෙදීම් තවදුරටත් උත්සන්න කිරීමට හේතු වූ බව බොහෝ දෙනාගේ මතයයි.

ව්‍යවස්ථාමය හා සම්ප්‍රදායික බැඳීම්

බොහෝ ප්‍රජාතන්ත්‍රවාදී රටවල, ජනාධිපතිවරයා මැතිවරණවලදී මධ්‍යස්ථභාවය පවත්වා ගත යුතු යැයි ව්‍යවස්ථාමය හෝ සම්ප්‍රදායික බැඳීමක් තිබේ. ශ්‍රී ලංකාවේදී, ජනාධිපතිවරයාට විධායක බලතල තිබුණත්, ඔහු සියලු ජනතාව නියෝජනය කළ යුතු බව ව්‍යවස්ථාවෙන් අපේක්ෂා කරන බවට ඒ පිළිබද විශාරදයින්ගේ අදහසයි. නමුත් සිදුවන පක්ෂග්‍රාහීත්වය පිළිබද අදහස, ක්‍රියාකාරීත්වය මෙම බැඳීම්වලට පටහැනි තත්ත්වයකට පත්වනවා පමණක් නොව බහුපක්ෂ ක්‍රමයක් ඇති ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදයට ද මෙය ඉතිහාසයේ සිටම දැඩි තර්ජනයකි. නමුත්, ශ්‍රී ලංකාවේ විධායක ජනාධිපති අනුර කුමාර දිසනායක ‘මැතිවරණයකදී’ එසේ හැසිරෙන්නේ නැති බවට සහතික වෙන බව පැවසෙයි. ‘විශ්වාස කරන්න’ ජනාධිපතිවරයා සෑම විටම පවසන්නේ ඒ නිසාය.

දිගුකාලීන බලපෑම්

ජනාධිපතිවරයෙකුගේ පක්ෂපාතිත්වය ප්‍රජාතන්ත්‍රවාදයේ විශ්වසනීයත්වයත්, ආයතනවල අඛණ්ඩත්වයත් දිගුකාලීනව ඛාදනය කරයි. ජනතාව ආයතනවලට විශ්වාසය තැබීම අඩු වූ විට, ඒවායේ ක්‍රියාකාරිත්වයට බාධා ඇති වෙයි. එසේම, එවැනි ක්‍රියාවන් අනාගත ජනාධිපතිවරුන්ටත් නරක පූර්වාදර්ශයන් සපයනු ලබයි. නමුත්, ශ්‍රී ලංකාවේ විධායක ජනාධිපති ‘මැතිවරණයකදී’ එසේ හැසිරෙන්නේ නැති බවට සහතික වෙන බව පැවසෙන අතර ඉදිරියේදී එවන් පූර්වාදර්ශයන් සැපයීමට ‘තිත’ තබන බවත් පැවසෙයි. ‘විශ්වාස කරන්න’ ජනාධිපතිවරයා සෑම විටම පවසන්නේ ඒ නිසාය.

කෙසේ නමුත්,

ජනාධිපතිවරයෙකුගේ පක්ෂග්‍රාහීත්වය ප්‍රජාතන්ත්‍රවාදයේ මූලික වටිනාකම්වලට අතිශයින් හානි කරනු ලබයි.(පසුගිය වසරේ ලංකාවේ පැවති මැතිවරණවලදී එක් සටන් පාඨයක් වූ ’76 වසරක සාපය අවසන් කරමු’ නම් අදහසේ, එතරම් දුරට සාකච්ඡා නොවූ ප්‍රධාන කලාපයක් වූයේ විධායකයේ පක්ෂග්‍රාහීත්වයයි. ලංකාවේ දී එය අතිශය ගැඹුරු ගැටළුවකි) එය මැතිවරණවල සාධාරණත්වයට, ජනතාවගේ විශ්වාසයට, බලතල බෙදීමට සහ සමාජ සාමයට බලපානු ලබයි. අද එක්සත් ජනපදයේ ඇති වී ඇති ගැටළුවට බලපා ඇති එක් ප්‍රධාන සාධයක් ලෙස ජනාධිපතිවරයාගේ පක්ෂග්‍රාත්වය හේතු වී ඇති බව ඇතැම් විචාරකයින්ගේ මතයයි.

ජර්මනියේ ජනාධිපති ෆ්‍රෑන්ක්-වෝල්ටර් ස්ටයින්මයර් සිය ධූරකාලයේදී ඉතාමත් ධනාත්මක ක්‍රියාකාරීත්වයක් ජර්මානු සමාජයට පමණක් නොව ලෝකයටම පෙන්වා දුන්නේය.

ජර්මනියේ ජනාධිපති ෆ්‍රෑන්ක්-වෝල්ටර් ස්ටයින්මයර් (2017 සිට) පක්ෂග්‍රාහීත්වයෙන් තොරව කටයුතු කළ රාජ්‍ය නායකයෙකුගේ ආදර්ශයකි. වෝල්ටර් ස්ටයින්මයර් මැතිවරණවලදී හෝ දේශපාලන තීරණවලදී මධ්‍යස්ථභාවය පවත්වා ගනු ලැබීය. 2017 සහ 2021 ජර්මන් ෆෙඩරල් මැතිවරණවලදී, ඔහු කිසිදු පක්ෂයකට හිතවත් ලෙස හෝ පක්ෂපාතී ලෙස කටයුතු නොකළහ.(පාර්ශවීය පසුබිමක් තිබුණ ද) ඒ වෙනුවට, ඔහු ජාතික එකමුතුකම, ප්‍රජාතන්ත්‍රවාදී වටිනාකම් සහ සාධාරණත්වය ප්‍රවර්ධනය කරමින්, ජනතාවට මැතිවරණවලදී නිදහසේ තීරණ ගැනීමට ඉඩ සලසනු ලැබීය. ඔහුගේ මධ්‍යස්ථභාවය ජර්මනියේ දේශපාලන ආයතනවලට ජනතාවගේ විශ්වාසය තහවුරු කිරීමට උපකාරි විය. ඔහු සමාජ ප්‍රජාතන්ත්‍රවාදය, නීතියේ ආධිපත්‍යය සහ ආරක්ෂිත ජනතා නියෝජනය යන මූලික සංකල්ප මත පදනම්ව ජනාධිපති ධූරයේ ඉටු කළේය. ඔහුගේ ප්‍රකාශන, කටයුතු, සහ සාධාරණ වශයෙන් හැසිරීම ජර්මන් ජනතාව අතර විශාල ගරුත්වයක් ලබාදුන්නාය. ඔහුගේ නායකත්වයෙන් උගත ගත හැකි පාඩම වන්නේ, ‘ජාතියක්’ නියෝජනය කරන පුද්ගලයෙකුට ‘සියලු ජනතාව වෙනුවෙන්’ කටයුතු කිරීමේ වගකීමක් ඇති බවය — එය දේශපාලන වර්ණයන්ට වඩා ඉහළ යන අගයකි. මෙයින් පෙන්නුම් කරන්නේ රාජ්‍ය නායකයෙකුගේ අපක්ෂපාතීත්වය ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කරන ඒ ප්‍රධාන මෙවලමක් බවයි.

සම්පත් සමරකෝන් | Sampath Samarakoon

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article