Monday, January 13, 2025

පසුගියදා සම්මත වූ අතුරු සම්මත ගිණුමෙන් – ජනාධිපතිවරයාගේ දිනක වියදමට කෝටි 2 ක්

Must read

ලබන අවුරුද්දේ මුල්මාස හතරට අදාළව වියදම් දැරීමට අතුරු සම්මත ගිණුමක් අනුමත කරගත් අවස්ථාවේදී ජනතා විමුක්ති පෙරමුණ ඊට විරෝධය දැක්වූ නමුත් එක්සත් ජාතික පක්ෂයත්, ශ්‍රී ලංකා පොදු පෙරමුණ වගේම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයද ඊට සහයෝගය දීම නිසා එය සම්මත වූයේ යයිද එමගින් ජනාධිපතිවරයාට පමණක් රුපියල් කෝටි 240ක් අනුමත වූ බවද ජනතා විමුක්ති පෙරමුණ් ප්‍රචාරක ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා පැවසීය.

මෙම අතුරු සම්මත ගිණුමක් අනුමත වීම හේතුවෙන් දවසකට රුපියල් කෝටි 02ක් තනි පුද්ගලයෙකුගේ නඩත්තුවට වෙන්කරගෙන ඇති බවත්, මහජන මුදල් මේ තරම් විශාල ප‍්‍රමාණයක් තනි පුද්ගලයකුගේ නඩත්තුවට වැයකරන්නේ ජනතාව මත අසීමිත බදු බරක්, ජීවන වියදම් බරක්, ණය බරක් පටවා තිබෙන තත්ත්වයක් තුළ බවත් හේරත් මහතා වැඩිදුරටත් පැවසීය.

පැලවත්ත පක්ෂ මූලස්ථානයේ අද (24 වැනිදා) පැවැති මාධ්‍ය හමුවේදී ප්‍රචාරක ලේකම්වරයා මෙසේද කීවේය.

පසුගිය 23දා පාර්ලිමේන්තුවේදී ලබන අවුරුද්දේ මුල්මාස හතරට අදාළව වියදම් දැරීමට අතුරු සම්මත ගිණුමක් අනුමත කරගත්තා. ජනතා විමුක්ති පෙරමුණේ අපි ඊට විරෝධය පෑවා.

නමුත් එක්සත් ජාතික පක්ෂයත්, ශ්‍රී ලංකා පොදු පෙරමුණ වගේම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඒකට සහයෝගය දීලා සම්මත කරගත්තා.

මේ නිසා ජනාධිපතිවරයාට පමණක් රුපියල් කෝටි 240ක් ඒ කියන්නේ දවසකට රුපියල් කෝටි 02ක් තනි පුද්ගලයෙකුගේ නඩත්තුවට වෙන්කරගෙන තිබෙනවා. මහජන මුදල් මේ තරම් විශාල ප‍්‍රමාණයක් පුද්ගලයකුගේ නඩත්තුවට වැයකරන්නේ ජනතාව මත අසීමිත බදු බරක්, ජීවන වියදම් බරක්, ණය බරක් පටවා තිබෙන තත්ත්වයක් තුළ. ඒ වගේම සාමාන්‍ය ජනතාවට මුළු ජීවිතයටම වැය නොකරන මුදලක් මහජන ධනයෙන් තනි පුද්ගලයෙකුගේ දවසක වියදමට දරන එක කිසිසේත්ම අපි අනුමත කරන්නේ නැහැ. මීට අමතරව ජනාධිපතිවරයා විශ‍්‍රාම යනකොට වරප‍්‍රසාද පැකේජයක් කැබිනට් මණ්ඩලයේදී සම්මත කරදී තිබෙනවා. නිල නිවාසයක්, ආරක්ෂක වාහන, පුද්ගලික වාහන, ඉන්ධන දීමනා වගේ දේවල්වලින් රුපියල් කෝටි 800ක පැකේජයක් අනුමත කරගෙන.

චන්ද්‍රිකා කුමාරතුංග ජනාධිපතිවරිය විශ‍්‍රාම යන අවස්ථාවේ පාර්ලිමේන්තුව ආසන්නයේ අක්කර භාගයක ඉඩමක් වෙන්කර ගත්තා. දියවන්නාව මැද මාළිගයක් ඉදිකරන්න අත්තිවාරම් දැම්මා. කණු හිටෙව්වා. ජනතා විමුක්ති පෙරමුණේ අපි මේ නාස්තිකාර වියදම්, ගොවි ණය කපාහරින්න, සහන මිලට පොහොර දෙන්න යොදවන්න බලකළා. ඒ වගේම 2007 මැයි මාසේ 03 වැනිදා ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයක් මගින් විශ‍්‍රාම යන ජනාධිපතිවරයකුට ලබාදිය යුතු පහසුකම් ගැන නිර්දේශයක් නිකුත්කර තිබෙනවා. ඒ අනුව වාසය කරන්න සුදුසු නිවාසයක් නැත්නම්, විශ‍්‍රාමිකයාට සරිලන මුදලක් වැයකරන නිවාසයක් ලබාදීම, පෞද්ගලික ලේකම්වරයෙකු පත්කර ගැනීම, කැබිනට් ඇමතිවරයෙකුට සමාන ආරක්ෂාවක් ලබාදීම, කාර්ය මණ්ඩලය උපරිම වශයෙන් පස්දෙනෙකුට හයදෙනෙකුට ලබාදීම නිර්දේශ දී තිබෙනවා.

අද කැබිනට් මණ්ඩලයෙන් අනුමත කරගෙන තිබෙන පැකේජය ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුවටත් විරුද්ධව යාමක්. බලයට පත්වෙන විට මෛතී‍්‍රපාල සිරිසේන මහත්තයා කිව්වේ විශ‍්‍රාම ගියාම පොළොන්නරු ගිහින් කුඹුරු කොටන බවයි. මෙතන තියෙන විශේෂත්වය සජිත් පේ‍්‍රමදාස ඇතුළු එක්සත් ජාතික පක්ෂයේ කැබිනට් ඇමතිවරුන් මේ නාස්තිකාර වියදම් අනුමතකර දීමයි. අපි ජනතාවගෙන් ඉල්ලා සිටිනවා අවුරුදු 71ක් පුරා ජනතාව මත බදු පටවාගෙන ආ මේ පාලන ක‍්‍රමය වෙනස් කරන්න පෙළගැසෙන්න කියලා. ජනාධිපතිවරණ වේදිකාවේ සජිත් පේ‍්‍රමදාස ජනතාවට කප්පරක් පොරොන්දු දෙනවා. අනිත් පැත්තෙන් මේ නාස්තිකාර වියදම්වලටත් අත උස්සනවා.

ගෝඨාභය රාජපක්ෂ, සජිත් පේ‍්‍රමදාස දෙන්නා තරගයට එකිනෙකා පරාදකරමින් ලබාදෙන පොරොන්දු ගැන පත්තරවල කාටුන් ශිල්පීන් උපහාසයට ලක්කර තිබෙනවා. අපේ ගැමියෝ යමක් අපේක්ෂාවෙන් භාරහාර වෙනකොට රූපයට රූපයක් දෙන බව කියනවා වගේ මේ දෙගොල්ලෝම පොරොන්දු දෙනවා රූපයට රූපයක් දෙනවා කියලා. පස්සේ පරණ තහඩු කෑල්ලක් දීලා භාර ඔප්පුකරනවා වගේ අද සජිත් පේ‍්‍රමදාසත් ගෝඨාභය රාජපක්ෂත් රූපයට රූපයක් දෙන බව කියමින් යනවා. නමුත් ජාතික ජන බලවේගය ප‍්‍රතිපත්තියක් සහිතව රටක් ගොඩනගන අපේක්ෂකයා වශයෙන් ජනාධිපතිවරණයට අනුර දිසානායක සහෝදරයා ඉදිරිපත් කර තිබෙනවා. විවිධ ක්ෂේත‍්‍රවල බුද්ධිමතුන් වෘත්තීයවේදීන් එකතුවී අධ්‍යාපනය, සෞඛ්‍යය, ප‍්‍රවාහනය, කෘෂිකාර්මික, සංස්කෘතික කටයුතු ජාතික සමගිය වගේ ක්ෂේත‍්‍ර ගණනාවක ප‍්‍රතිපත්තිමය කරුණු ඉදිරිපත්කර තිබෙනවා. ජනතාව මේ සියල්ල දැන් බුද්ධිමය සංවාදයකට ලක්කරමින් ඉන්නවා.

මෙහිදී මාධ්‍යවේදීන් ඇසූ ප‍්‍රශ්න සහ ඒවාට ලැබුණු පිළිතුරු මෙසේය.

ප‍්‍රශ්නය – වත්මන් ජනාධිපතිවරයා තුන්කල් බලා කටයුතු කර තිබෙනවා නේද?

පිළිතුර – ඔහු රටේ ජනතාවගේ අනාගතය ගැන කල්පනා නොකළාට ඔහුගේ පෞද්ගලික අනාගතය ගැන තුන් කල් බලා කටයුතු කර තිබෙනවා.

ප‍්‍රශ්නය – රාවුෆ් හකීම් මහතා විශේෂ කාරක සභාවේ සාමාජිකයකු ලෙස කටයුතු කිරීම ඒකාබද්ධ විපක්ෂය දැඩි ලෙස හෙළා දකිකනවා. ඒ ගැන ඔබේ අදහස

පිළිතුර –  කාරක සභා වාර්තාව ඉදිරිපත් කළ අවස්ථාවේ මහින්ද රාජපක්ෂ කණ්ඩායම ඒක ප‍්‍රතික්ෂේප කරන්නේ රාවුෆ් හකීම් ඇමැතිවරයා එහි සිටියා කියලා. නමුත් ඔවුන් මුලින්ම මෙම කාරක සභාවෙන් ඉවත්ව ගියේ රිෂාඞ් බදුර්දීන් ඇමැතිවරයාට ඉදිරිපත් කර තිබූ දෝෂාභියෝගය මෙම කාරක සභාව මගින් විමර්ශනය කරන බව අගමැතිවරයා කළ ප‍්‍රකාශය නිසයි. මේ අය මෙම ජනාධිපතිවරණ අවස්ථාවේ ජනතාව බියවැද්දීමට එක එක විදියේ කතා  කියනවා. ජනතාව අතර කටකතා පතුරවලා නැති භීතියක් ඇති කරන්න හදනවා. මේ කටකතා පිටුපස පැහැදිලිවම බංකොළොත් දේශපාලන බලවේග කි‍්‍රයාත්මක වෙනවා. ඒ අයට  ඕන වෙලා තියෙන්නේ මළ මිනී මතින් ඡුන්දය අරගෙන බලයට ඒමටයි. අපි ඒ කි‍්‍රයාව පිළිකුළෙන් හෙළාදකිනවා.

ප‍්‍රශ්නය –  ඇතැම් පක්ෂවල සහ ජනාධිපති අපේක්ෂකයින් කියන කරන කතා නිසා ඡුන්ද දායකයින් අතරමංවී සිටින බවක් පෙනෙනවා නේද?

පිළිතුර – අද සැබෑ ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයා ගෝඨාභය රාජපක්ෂ එක්ක එකතුවෙලා නැහැ. ඔවුන් ප‍්‍රතිපත්ති වශයෙන් පවුල් පාලනයට විරුද්ධයි. ඒ වගේම ඔවුන් ප‍්‍රතිපත්තිමය වශයෙන් එක්සත් ජාතික පක්ෂයටත් විරුද්ධයි. ඒ පක්ෂයේ නායක රනිල් වික‍්‍රමසිංහ මහතා බලයට ආවේ මිස්ටර් ක්ලීන් කියලා. නමුත් බලයට ඇවිත් මාසයක් යෑමට පෙර මහ බැංකුව බිඳලා එයාගේ ක්ලීන් බව පෙන්නුවා. දැන් සජිත් වටේ එකතුවෙලා ඉන්නෙත් ඒ කණ්ඩායමමයි. පිරිසුදු පාලනයක් බිහි කරන බව කියන්නේ පක්ෂය පාවා දී පැන ගිය තිස්ස අත්තනායක වගේ අය ළංකරගෙනයි. මේ අයට කවදාවත් රට ගැනවත් ජනතාව ගැනවත් හැඟීමක් නැහැ. මේ නිසා අවංක පුද්ගලයන් අපගේ ජාතික ජන බලවේගය වටා එකතුවෙමින් සිටිනවා.

ප‍්‍රශ්නය –  හැම පක්ෂයකම මේ සිද්ධ වෙන්නේ ඉතිහාසයේ සිදුවූ එකම කාරණය නේද?

පිළිතුර – මේ වෙලාවෙදී ඔබ ඒ ප‍්‍රශ්නය අහපු එක හොඳයි. මේ 26 වැනිදාට ඒ කියන්නේ හෙටට ඔක්තෝබර් කුමන්ත‍්‍රණයට වසරක් පිරෙනවා. ඒ කුමන්ත‍්‍රණයට මුල් වටයේදීම හවුල්වී එජාපයෙන් පළාගිය ආනන්ද අලූත්ගමගේ, දිනේෂ් ගංකන්ද වගේ පිරිසක් නිසා ඒ කුමන්ත‍්‍රණය වඩාත් ශක්තිමත් වුණා. සජිත් පේ‍්‍රමදාස ඒ පක්ෂයේ ප‍්‍රතිපත්ති පාවාදෙමින් සිටිනවා. එජාපය මරණීය දණ්ඩලයට විරුද්ධයි. නමුත් සජිත් කියනවා ඔහු බලයට ආවම එය කි‍්‍රයාත්මක කරනවා කියලා. මේ නිසා එජාප පාක්ෂිකයින්ගේ විශ්වාසය බිඳවැටිලා.

ප‍්‍රශ්නය –  මේ සියලූ දෙනාට ඔබ දෙන පණිවිඩය මොකක්ද?

පිළිතුර –  ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතීන් තහවුරු කර ගන්න ජාතික ජන බලවේගය සමග එකතු වෙන්න. යථාර්ථවාදී නැවුම් බලාපොරොත්තු සහිතව අප වටා එකතු වෙන්න කියලා ආරාධනා කරනවා.

 

(ලංකාදීප)

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article