Friday, September 20, 2024

දර්ගා නගරයේදී, බීමත් යැයි කියා පොලීසියෙන් පහර කෑ දරුවාගේ කතාව

Must read

අලුත්ගම දර්ගා නගරයේදී අලුත්ගම පොලිසියේ නිලධාරින් පිරිසක් 14 හැවිරිදි දරුවෙකුට පහර දී ඇති බව පසුගිය අනිද්දා කලාපයකින් අපි වාර්තා කළෙමු. මැයි 25 වන දින සවස 5 ට පමණ එම පහර දීම සිදු කර තිබුණු අතර එය සීසීටීවී කැමරාවලද සටහන්ව ඇති අතර, මේ වන විට එම වීඩියෝ අන්තර්ජාලයේ හුවමාරු වෙමින් පවතී. පහර කෑමට ලක් වී තිබුණේ අවුරුදු 14 ක් වයසැති තාරික් අහමඞ් නැමැති මානසික අබාධයක් සඳහා ප්‍රතිකාර ලබන දරුවෙකි.

මේ වන විට පහර කෑමට ලක්වු තාරීක්ගේ පියා පොලිස්පතිවරයාට, පොලිස් කොමිසමට හා ජාතික ළමා ආරක්ෂණ අධිකාරියට මෙම පහරදීම සම්බන්ධයෙන් පැමිණිලි කර ඇත. එහෙත් එම සිදුවීම ගැන හඬක් නැත. මෙලෙස දරුවෙකුට පහරදීම මාධ්‍ය ආයතන බොහොමයකට පුවතක් නොවේ. පොලිස් වධහිංසනය සම්පූර්ණයෙන්ම නතර කිරීම සඳහායැයි පසුගිය කාලයේ නියෝජ්‍ය පොලිස්පතිවරුන් කිහිපදෙනෙකු ලංකාව පුරා දේශන මාලාවක් පවා කර ඇත. එහෙත් ආබාධිත දරුවන්ට පවා පහරදීමට පොලිස් නිලධාරීන් දෙවරක් සිතන්නේ නැත. එවැනි සිදුවීමකින් පසුව, ඒ ගැන ඉහළ පොලිස් නිලධාරීන්ගේ මැදිහත් වීමක්ද නැත.

අනිද්දා සමඟ අදහස් දැක්වු එම දරුවාගේ පියා වන ඒ.එච්.එම්.වසීර් මහතා සිද්ධිය පිලිබඳව මෙසේ කීය. ‘මැයි 25 වෙනි දින මට කියන්නේ නැතිව පුතා බයිසිකලයකින් කඬේට ගිහින් තිබුණා. පුතා ගිහින් ටික වෙලාවකින් අසල්වාසියෙක් මට කිව්වා අඔගහ හන්දියේ පොලිස් මුරපලේ පොලිස් නිලධාරින් පුතාව අල්ලගෙන පහරදෙනවා කියලා. ඒ වෙලාවේම මම අඹගහ හංදියේ මුරපළට ගියා. මම යනකොට පොලිස් මුරපොලේ නිළධාරි පුතාගේ අත් දෙක ගැටගහලා තිබුණේ. මම ඒ නිලධාරින්ට කිව්වා පුතාට මානසික අබාධයක් තියෙනවා කියලා. ඒ වෙලාවේ ඒ නිලධාරීන් මට කිව්වේ පුතා බීමතින් ඇවිත් පොලිස් මුරපොළ ලඟ කලහකාරි විදියට හැසිරුණා කියලා. මගේ පුතා කිසිම දවසක මත්පැන් බීලා නැහැ. එයාව දැක්කාම ඕනෑම කෙනෙකුට දරුවාගේ තත්වය තේරුම් ගන්න පුළුවන්.

ඉන්පස්සේ මගේ පුතාව ඔවුන් මට භාර දුන්නා. මම ඉන්පස්සේ මේ ගැන පැමිණිල්ලක් කරන්න පුතාත් එක්ක අලුත්ගම පොලිසියට ගියා. අලුත්ගම පොලිසියේ නිලධාරින් ඒ වෙලාවේ මාව බය කළා. ඔවුන් කිව්වේ ඇඳිරි නීතිය වෙලාවේ පුතා ඇඳිරි නීතිය කඩකරමින් නිවසෙන් එලියට ගිය නිසා පුතාව දවස් 14 ක් සිරකරනවා කියලා. මම ඒ වෙලාවේ බය වෙලා පොලිසිය එක්ක සමාදාන වෙලා පුතාව රැගෙන යනවා කියලා අත්සන් කරලා පුතාව ගෙදර එක්කගෙන ආවා. අපි හවස 6 විතර වෙනකම් පොලිසියේ හිටියා. මැයි 25 වෙනිදා රෑ අලුත්ගම පොලිසියේ ස්ථානාධිපතිතුමාව මම මුණගැහුණා. සිද්ධිය ගැන ඔහුට කීවා. මම ඔහුට කීවේ මගේ පුතාට ගහපු නිළධාරීන්ට දඩුවම් දෙන්න කියලා. ඊට පසුවදා අලුත්ගම පොලිසියේ නිළධාරියෙක් ඇවිත් මාව එක්කගෙන ගියා, කටඋත්තරයක් ගන්න. මම කීවේ මේ පහරදීම සම්බන්ධ නිලධාරීන් තුන්දෙනෙක් ඉන්නවා කියලා. නිලධාරීන් විතරක් නෙවෙයි, අහළ පහල හිටපු අයත් පුතාට ගහලා. ත්‍රිවීල් එකේ එතනින් යන මිනිස්සුත් පුතාට ගහලා. මම මුරපොළට යනකොට පුතාව බල්ලෙක් වගේ මුරපොලේ දාලා තිබුණා. මම ගිහින් පුතාගේ අත් දෙක ලිහුවා. මට දොස්තර කියලා තියෙන්නේ පුතාට ගහන්නත් එපා බනින්නත් එපා කියලා. මම බොහෝම අමාරුවෙන් පුතාව හැදුවේ. බෙහෙත් ටික පවා ගන්නේ පෞද්ගලික රෝහල්වලින් ගෙවලා. මගේ පුතාව ඇස්දෙක වගේ මම බලාගත්තේ. ඒ නිසා මේ අපරාධෙට මට සාධාරණයක් ඉටුවෙන්න ඕනෑ.

පොලිසියෙන් පුතාට පහර දීලා තිබුණේ අත් ගැට ගහලා. පහරදීම්වලින් පුතාට තුවාල වෙලා තිබුණා. මම විතරයි මේ ළමයාට ඉන්නේ. කුලී වැඩ කරලා මම මගේ දරුවාට කන්න අදින්න දෙන්නේ. මගේ පුතාට කතා කරන්නත් දන්නේ නැහැ. වචන දෙක තුනක් තමයි එයා කතා කරන්නේ. මේක මහා අපරාධයක්. පුතාට මැයි 26 වෙනිදා රෑ ඉදන් අමාරු වුණා. එයා ඔළුව අල්ලගෙන ඉන්නවා. එයා කෑවෙත් නැහැ. කිහිපසැරයක් වමනය ගියා. ඒ නිසා අපි මැයි 27 වෙනිදා පුතාව කළුතර නාගොඩ මහ රෝහලට ඇතුළත් කළා. මම මේ පහරදීම ගැන මැයි 29 වෙනිදා කළුතර උතුර භාර නියෝජ්‍ය පොලිස්පතිතුමාටත් ලිඛිතව දැනුම් දුන්නා.’

මෙම පහරදීම සුළු සිදුවීමක් නොවේ. මෙවැනි සිදුවීමක් ගැන දැඩි පියවර ගත යුතු බව අමුතුවෙන් කිව යුතු නොවේ. වීඩියෝ වල පවා සටහන්ව ඇති මේ සිදුවීම ගැන කිසිදු පියවරක් නොගෙන්නේ නම්, පොලිස් වධහිංසනය නතර කිරීම ගැන අප කෙලෙස බලාපොරොත්තු තබන්නද.

(Anidda.lk)

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article