Monday, January 13, 2025

ජනවාරියේදී රාජ්‍ය සේවක වැටුප් වැඩිවීමක්

Must read

2015-2020 වැඩිවීම 107%ක්

ඉතිහාසයේ ඉහළම වැටුප් වැඩිවීම මේ ආණ්ඩුවෙන්

වසර 2015 – 2020 දක්වා කාලය තුළ රජයේ සේවක වැටුප් සියයට 107 ක් තරම් ඉහළ ප්‍රතිශතයකින් වැඩිකොට මෙරට ඉතිහාසයේ ඉහළම වැටුප් වැඩිකිරීමක් සිදුකළ ආණ්ඩුව ලෙස වාර්තාවක් තැබූ වත්මන් ආණ්ඩුව, ඉන් නොනැවතී නැවත වතාවක් වැටුප් විෂමතා දුරුකිරීමේ ජනපති කොමිෂන් සභාවේ නිර්දේශ ක්‍රියාවට නංවමින් ලබන වසරේ ජනවාරි 01 වැනිදා සිටත් වැටුප් වැඩිකිරීමට තීරණය කොට ඇත.අවුරුද්දකට දළ වශයෙන් රුපියල් බිලියන 1000 ආසන්න මුදලක් රාජ්‍ය සේවක වැටුප් හා විශ්‍රාමිකයින්ට විශ්‍රාම දීමනා ලබාදීමට වැය කිරීමට රජයට සිදුවන බවත්, මේ නව වැටුප් වැඩිකිරීමත් සමඟ ඒ සඳහා අතිරේකව තවත් රුපියල් බිලියන 115 ත් 120 ත් අතර මුදලක් වැයකිරීමට රජයට සිදුවනු ඇති බවත් මුදල් ඇමැති මංගල සමරවීර මහතා ප්‍රකාශ කළේය.

ඒ අනුව ලබන වසරේ රාජ්‍ය සේවක වැටුප් හා විශ්‍රාමික දීමනා බිල රුපියල් බිලියන 1115 ක් 1120 ක් වනු ඇත. වසර 2015 දී බලයට පත් ආණ්ඩුව රාජ්‍ය සේවකයින්ගේ වැටුප් සියයට 107 කින් වසර 2020 වනවිට වැඩිකරන බවට ප්‍රතිඥා දී එය සිදුකළ බව සිහිපත් කළ මංගල සමරවීර මහතා, ඉන් නොනැවති රාජ්‍ය සේවකයින්ගේ වැටුප් විෂමතා දුරුකිරීමටත් ලබන වසරේ පියවර ගන්නා බව කීය.

දුම්රිය, තැපැල්, සෞඛ්‍ය ඇතුළු රාජ්‍ය සේවයේ විශේෂ අංශ ගණනාවක වැටුප් විෂමතා දුරුකිරීමට රජයට කරුණු නිර්දේශ කිරීමට ජනාධිපතිවරයා විසින් පත්කළ කොමිෂන් සභාවේ නිර්දේශ 08 සලකා බලා ඒවා ක්‍රියාත්මක කිරීමට රජය තීරණය කළ බව කීය.

ඒ අනුව ප්‍රාථමික සේවා මට්ටමේ (PL 1, PL 2, PL 3) සහ කළමනාකරණ සේවා නිලධාරින්ගේ (MN 1, MN 2) වැටුප් ඉහළ යනු ඇතැයිද මංගල සමරවීර මහතා පැවැසීය.

සියයට 107 ක ඉහළ වැටුප් වැඩිවීම සමඟ රුපියල් 24250 මාසික වැටුපක් හිමිවන කාර්යාල කාර්ය සහයකයකුගේ (PL 1) නව වැටුප් වසර 2020 ජනවාරි වනවිට රුපියල් 27250 දක්වා රුපියල් 3000 කින් ඉහළ යන බව මුදල් අමාත්‍යාංශ‍යේ ලේකම් ආචාර්ය ආර්. එච්. එස්. සමරතුංග මහතා පෙන්වා දුන්නේය. මුදල් අමාත්‍යාංශයේ ඊයේ (25) සවස පැවැති විශේෂ මාධ්‍ය හමුවේදී මුදල් ලේකම්වරයා මේ බව සඳහන් කළේය.

රාජ්‍ය සේවයේ සංවර්ධන නිලධාරි වැටුප් තලයේ (PL 2) සිටින සේවකයකුගේ වැටුප රුපියල් 25250 වන මුදල ලබන වසරේ ජනවාරි වනවිට රුපියල් 28530 දක්වා වැඩිවනු ඇත. මේ වැටුප් වැඩිවීම රුපියල් 3280 ක් තරම් වන බවද මුදල් ලේකම්වරයා කීය.

සියයට 107 ක වැටුප් වැඩිවීමත් සමඟ රාජ්‍ය සේවයේ PL 3 වැටුප් තලයේ සිටින අයෙකුගේ මාසික වැටුප රුපියල් 25790 ක් වේ. ඊට අමතරව ලබන ජනවාරි මාසයේ සිට ඔවුන්ගේ වැටුප රුපියල් 29225 ක් දක්වා රුපියල් 3435 ක් දක්වා වැඩිවනු ඇත.

ප්‍රාථමික මට්ටමේ කළමනාකරණ මට්ටමේ පමණක් නොව විධායක මට්ටමේ නිලධාරින්ගේද වැටුප් නව ක්‍රමවේදය අනුව ඉහළ යන බව මුදල් ලේකම්වරයා පැහැදිලි කළේය.

ශ්‍රී ලංකා රාජ්‍ය සේවයේ වැටුප් සංකේත 35 ක් යටතේ විවිධ තලයන් ඔස්සේ වැටුප් ලබන සේවකයෝ සිටිති. කළමනාකරණ සහායක, වෛද්‍ය, හෙද, හෙදියන්, නීතිපති, ගුරු සේවය, ආරක්ෂක අංශ ඇතුළු මේ සියලුදෙනාගේම වැටුප් ඉහළ යන අතර, ඔවුන්ගේ ඉහළ වැටුප් ලබාදීම් වෙනුවෙන් විශාල අභියෝගයක් භාරගනිමින් ආණ්ඩුව මේ තීරණය ගත් බව මුදල් ඇමැති මංගල සමරවීර මහතා කීය. මේ මාධ්‍ය හමුවට මුදල් රාජ්‍ය ඇමැති ඉරාන් වික්‍රමරත්න, මහා භාණ්ඩාගාරයේ නියෝජ්‍ය ලේකම් ඒ. කේ. සෙනෙවිරත්න, කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් තමරා ඩී. පෙරේරා යන මහත්ම මහත්මීහු එක්ව සිටියහ.

(www.dinamina.lk)

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article