“ස්වකීය ප්‍රචණ්ඩ ඉතිහාසය අරබයා පියවර ගැනීමේ සැබෑ උවමනාවක් ශ්‍රී ලංකාව සතුව ඇතිනම්, ඒ සඳහා වන ලිට්මස් පරීක්ෂාව වන්නේ යුද අපරාධ සහ මානව වර්ගයාට එරෙහි අපරාධ සම්බන්ධයෙන් ගෝඨාභය රාජපක්ෂ සාපරාධී වගඋත්තරදායකත්වයෙන් බැඳ තැබීමයි,” යනුවෙන් සත්‍යය සහ යුක්තිය සඳහා වන ජාත්‍යන්තර ව්‍යාපෘතියේ (ITJP) විධායක අධ්‍යක්ෂිකා යැස්මින් සූකා ප්‍රකාශ කළාය.
ITJP විධායක අධ්‍යක්ෂිකා යැස්මින් සූකා
2009
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ආරක්ෂක ලේකම් සමයේ යුද බිමේ සෙන්පතියන්ට අණ දීම හා සම්බන්ධ කෙරෙන සවිස්තර සාක්ෂි ජනවාරි 30 දා ජොහැන්නස්බර්ග් නුවරින් ප්‍රකාශයට පත් කෙරුණු අලුත් වාර්තාවෙන් ඉදිරිපත් කෙරෙන බව ITJP ප්‍රකාශ කරයි.
යුද හමුදාපති නොවුවත් ආරක්ෂක සේනාවලට අණදීමේ සහ පාලනය කිරීමේ බලය ගෝඨාභය සතුව තිබුණි. ජාත්‍යන්තර මානුෂීය නීතිය හා ජාත්‍යන්තර අපරාධ නීතිය උල්ලංඝනය කිරීම් පිළිබඳව ඒ කාලයේම අවබෝධයක් තිබුණු ඔහු, ඒවා වලක්වන්නට හෝ තමන්ගේ විධානය යටතේ සිටියවුන් වගඋත්තරදායකත්වයෙන් බැඳ තබන්නට හෝ කිසිදු පියවරක් ගැනීමට අසමත් වූ බව එම සාක්ෂි පදනම් කොටගෙන චෝදනා කෙරේ.
ගොරතර මානව හිමිකම් උල්ලංඝන පිළිබඳ චෝදනා විශ්වසනීය ලෙසින් විභාග කොට දඬුවම් පැනවීම සඳහා ඔහුට මෙන්ම යුද්ධාවසානයේ සිට මේ දක්වා පැවති ආණ්ඩුවලටත් අනේක විධ අවස්ථා උදා වී තිබුණි. සත්‍යය හෙළිදරව් වීමට මග පාදනු වෙනුවට ගෝඨාභය සහ ඔහුගේ අනුප්‍රාප්තිකයන් සිදුකර ඇත්තේ මෙකී උල්ලංඝනවලට ආරක්ෂක සේනාවල ඇති සම්බන්ධය දිගින් දිගටම ප්‍රතික්ෂේප කරමින්, අපරාධ චූදිතයන්ට වරදාන දෙමින් ඔවුන් ආරක්ෂා කිරීමයැ’ යි ITJP පවසයි.
නිරායුද වැසියන්ට රැකවරණ සැලසීමට පිහිටුවන ලද යුද මුක්ත කලාපවලට ප්‍රහාර එල්ල කිරීමට ගෝඨාභය රාජපක්ෂ සම්බන්ධ වීම සහ ඒ පිළිබඳ දැන සිටීම, නඩු නැති ඝාතන, බලහත්කාර අතුරුදහන් කිරීම්, වධබන්ධන, ලිංගික දුෂණ, අත්තනෝමතික රඳවා තැබීම් සහ සාමාන්‍ය වැසියන්ට මානුෂික ආධාර නොදී සිටීම වැලැක්වීමට සහ ඒ ගැන විමර්ශනය කිරීමට ඔහු අසමත් වීම ආදිය ගැන සාක්ෂි පිටු 74 කින් යුත් ලියවිල්ලෙන් විභාග කෙරේ.
1989
අසූව දශකය අග භාගයේ ශ්‍රී ලංකාව ප්‍රචණ්ඩත්වයේ ගිලී සිටි වකවානුවක මහා පරිමාණයෙන් අතුරුදහන් කිරීම්වලට ගෝඨාභය රාජපක්ෂගේ සම්බන්ධයක් ඇති බවට එල්ල වන චෝදනා මීට ඉහත 2022 දී ITJP විසින් පල කරන ලද වාර්තාවකින් විභාග කරන ලදී.
තරුණ හමුදා නිලධාරියකු ලෙස ගෝඨාභය රාජපක්ෂ 1989 මාතලේ දිස්ත්‍රික්කයේ අණසක පවත්වාගෙන යද්දී, සිංහල බහුතරයකින් යුත් 700 කට වැඩි පිරිසක් ඔහුගේ පරිපාලනය යටතේ අතුරුදහන් කර තිබේ. ඔහුත්, ඒ සමයේ ඔහු යටතේ සිටි නිලධාරිනුත් උසස්වීම් ලබා 2009 යුද්ධයේ කේන්ද්‍රීය භූමිකාවක් ඉටු කළ අතර, ඉන් එක් අයකු බරපතල මානව හිමිකම් උල්ලංඝන සම්බන්ධයෙන් එක්සත් ජනපදය විසින් නම් කරනු ලැබ තිබියදීත්, කාර්ය මණ්ඩල ප්‍රධානියා ලෙසින් දැනටත් සේවයේ යෙදී සිටී.
ITJP වාර්තාවට ප්‍රතිචාර දක්වන එක්සත් ජාතීන්ගේ විශේෂඥයන් 2022 දී වර්තමාන ආණ්ඩුවෙන් ලිඛිතව විමසා තිබුනේ අසූව දශකය අග භාගයේ ප්‍රචණ්ඩ ක්‍රියා හා සම්බන්ධ ගෝඨාභය රාජපක්ෂගේ භූමිකාව විමර්ශනය කිරීමට කුමක් කර තිබේද යන්නයි. අද වනතුරුත් ඊට ප්‍රතිචාරයක් නැත. මෙසේ සිදුවන්නේ අතීතය සම්බන්ධයෙන් කටයුතු කිරීම සඳහා 2015 දී පොරොන්දු වූ සත්‍ය කොමිසමක් දැන් පිහිටුවීමට අවශ්‍ය බව ලංකාණ්ඩුව කියා තිබෙද්දීය.
“දෙමළ සහ සිංහල දෙපිරිසටම එරෙහි ප්‍රචණ්ඩතාවට සම්බන්ධ බවට වඩාත් කුප්‍රකට අපරාධ චුදිතයා ගෝඨාභය රාජපක්ෂයැයි තර්ක කළ හැකිය. 1989 සිට 2009 හරහා අද දක්වාත් දිවෙන දණ්ඩ මුක්තියේ සෘජු රේඛාවක් ඇත,” යි යැස්මින් සූකා පැවසුවාය.
“වාර්තා පළ නොකෙරුණු සහ නිර්දේශ ක්‍රියාත්මක නොකෙරුණු කොමිසන් සභා ගණනාවක් තිබුණි. එයින් සිදුවී ඇත්තේ පීඩිතයන්ගේ ඥාතීන් බොහොමයක් ආණ්ඩුව සම්බන්ධයෙන් මුලාවෙන් හා අවිශ්වාසයෙන් යුතුව පසුවීමයි. යුද ගැටුමකින් අනතුරුව සමාජවලට අවශ්‍යව පවතින නැවත සිදු නොවීම පිළිබඳ සහතිකය සාපරාධී වගඋත්තරදායකත්වයකින් තොරව කොමිසම් වලින් පමණක් ලබා ගත නොහැකි බව පුළුල් ලෙස පිළිගන්නා කරුණකි.”
වගඋත්තරදායකත්වය සඳහා දරන ලද වෑයම්
වධහිංසාව සම්බන්ධයෙන් ගෝඨාභය රාජපක්ෂට එරෙහිව එක්සත් ජනපදයේ සිවිල් නඩුවක් පැවරීම සඳහා ITJP සංවිධානය 2019 දී දෙමළ හා සිංහල වින්දිතයන් එකොලොස් දෙනකුට උපකාර වූ නමුත්, ජනාධිපති ලෙස ඒ අවුරුද්දේ ඡන්දය දිනාගැනීමෙන් ඔහු රාජ්‍ය නායක මුක්තිය හිමිකරගත්තේය. තවත් නඩුවකින් ඔහුට සන්ඩේ ලීඩර් පුරෝගාමී කතුවර ලසන්ත වික්‍රමතුංගගේ ඝාතනයට සම්බන්ධ බවට චෝදනා නගන ලදී.
ආර්ථිකය වැරදි ලෙස කළමනාකරණය නිසා කෝපයට පත් විරෝධතාකරුවන් විසින් 2022 දී ගෝඨාභය බලයෙන් පලවා හරින ලදී. යුද සමයේ ඔහුගේ භූමිකාවට අදාලව සාපරාධී චෝදනා නගා ඔහු පලාගිය සිංගප්පුරුවේ ITJP විසින් පැමිණිල්ලක් ගොනු කරන ලදී. එහෙත්, කඩිනමින් ශ්‍රී ලංකාවට පෙරලා පැමිණි ඔහු ජනාධිපති ධුරයේ වෙනසක් සිදුවී තිබුනත්, දිගටම රැකවරණය භුක්ති විඳිමින් සිටී.
කෙසේවෙතත්, ගෝඨාභය රාජපක්ෂට සහ ඔහුගේ සහෝදරයාට කැනඩාව මෑතදී තහංචි පනවා තිබේ. එසේ වුවද, වෙනත් රටවල් ඒ මග ගැනීමට මැලිකමක් දක්වන බවට ITJP දෝෂ දර්ශනයට ලක්ව සිටී. ශ්‍රී ලංකාවේ වගඋත්තරදායකත්වය සම්බන්ධයෙන් කටයුතු කිරීම සඳහා එක්සත් ජාතීන්ගේ ව්‍යාපෘතියක් ස්ථාපිත කිරීමට එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලයේදී ඡන්දය දුන්නවුන්ද ඊට ඇතුලත්ය.
“ආර්ථික අර්බුදයකට විසඳුම් සොයන අතරවාරයේ මහා පරිමාණ අපරාධ සම්බන්ධයෙන් ආරක්ෂක හමුදා වගඋත්තරදායකත්වයෙන් බැඳ තැබීම සිදු කළ නොහැකි බවට වර්තමාන ශ්‍රී ලංකා රජය තර්ක කරමින් සිටී. එම තර්කයම අතීතයේද නැගුනු අතර එයින් සිදුවූයේ දණ්ඩ මුක්තිය තවත් මුල්බැස ගැනීම පමණකි,” ITJP නිවේදනය වැඩිදුරටත් පවසයි.
theleader.lk