Friday, September 20, 2024

කොරෝනා වෛරස් අර්බුදයේ චීන භූමිකාව ගැන ප්‍රංශයෙන් දැඩි විවේචනයක්…

Must read

(12.00)

කොරෝනා වසංගතය පාලනය කිරීමේ දී බීජිං පාලනය කිසිදු විනිවිද භාවයකින් යුතුව කටයුතු කර නොමැති බවත්, මෙම අර්බුදය සම්බන්ධයෙන් චීනය කටයුතු කරන පිළිවෙළ අනෙක් රටවලට වඩා යහපත් යැයි කීම ” බොළඳ ” කියමනක් බවත් ප්‍රංශ ජනාධිපති එම්මානුවෙල් මැක්‍රෝන් (Emmanuel Macron) පවසනවා.

ප්‍රංශ ජනාධිපතිවරයා මෙම ප්‍රකාශය සිදු කරනු ලැබුවේ ‘ෆයිනෑන්ෂල් ටයිම්ස්’ (Financial Times) සඟරාව  විසින් අසන ලද ප්‍රශ්නයකට පිළිතුරු වශයෙනි.

‘ෆයිනෑන්ෂල් ටයිම්ස්’ සඟරාව අසන ලද ප්‍රශ්නය වූයේ,  “කොරෝනා වෛරසය මතු කර ඇති අර්බුදයට මුහුණ දීමට ඒකාධිපති පාළන තන්ත්‍රයට හැකි වූයේ ද ? ” යන්නය.

මෙම පැනයට වැඩි දුරටත් පිළිතුරු සැපයූ මැක්‍රොන්,  “පැහැදිලිව අප නොදන්නා බොහෝ දේවල් සිදු වි තිබෙනවා” යනුවෙන් තම පිළිතුර සාරාංශ කොට ඇත.

ප්‍රංශ ජනාධිපතිවරයා චීනය පිළිබඳව මෙවැනි දැඩි විවේචනයක් සිදු කරනු ලැබුවේ, මීට පෙර වොෂින්ටනය හා ලන්ඩනය, චීනය සම්බන්ධව  අනුගමනය කළ ප්‍රතිපතිය මත පිහිටා ය.

චීනය, කොරෝනා වෛරසයට එරෙහි ජාත්‍යන්තර සමගියක් ඉල්ලයි :

ප්‍රංශ ජනාධිපතිවරයාගේ මෙම දැඩි විවේචනයත් සමඟම, චීනය කොරෝනා වෛරසයට එරෙහි ජාත්‍යන්තර සමගියක් ඉල්ලා සිටීමට අද (අප්‍රේල් 17 ) දින ක්‍රියා කොට ඇත.

කෝවිඩ් -19 වෛරස් වසංගතයට එරෙහිව සටන් කොට යුද්ධය ජය ගැනීම සඳහා සියලු රටවල් එක් විය යුතු බව චීන විදේශ කටයුතු අමාත්‍යංශයේ නව ප්‍රකාශක ෂාඕ ලිජිඅන් ( Zhao Lijian ) අද ප්‍රකාශ කළේය.

විවිධ දේශපාලන පද්ධති වල වාසි සහ අවාසි ගැන තර්ක කිරීම නිෂ්ඵල බව ෂාඕ තවදුරටත් කියා ඇත.

කෝවිඩ් -19 වෛරසය නිසා වාර්තා වූ මරණ සංඛ්‍යාව හදිසියේ වැඩිවීමෙන් පසුව, ඒ පිළිබඳව කිසිදු සැඟවීමක් චීන රජය විසින් කර නොමැති බවත්, එවැනි සැඟවීමක් කළ බවට යමෙකු පවසන්නේ නම් එය ප්‍රතික්ෂේප කරන බවත් ෂාඕ කියා ඇත.

කිසි විටෙකත් වසන් කිරීමක් සිදු නොවුනු අතර, කිසිදු වසන් කිරීමකට තම පාලනය කිසි විටෙකත් ඉඩ නොදෙන බවත් චීන විදේශ අමාත්‍යංශ ප්‍රකාශකයා පවසා ඇත.

රෝහල් වල තදබදය හේතුවෙන් වසංගතය ආරම්භයෙදීම මරණ වාර්තා කිරීමේ දී ප්‍රමාදයන්, අතපසුවීම් සහ සාවද්‍යතාවයන් සිදු වූ බව පමණක් ෂාඕ පිළිගන්නා අතර, වසංගතය වෙනුවෙන් චීනයට දක්වන ප්‍රතිචාර දෝෂ සහිත යැයි ඔහු කියා සිටී.

ABC News

කෙසේ වෙතත් වසංගතයේ කේන්ද්‍රස්ථානය වන වුහාන් මහ නගර සභාවේ මරණ සංඛ්‍යාවත්, ලෝකයේ වැඩිම ජනගහණයක් සිටින රටේ මිය ගිය සංඛ්‍යාවත් සැලකිල්ලට ගැනීමේ දී  ප්‍රංශ ජනාධිපතිවරයා පැවසූ ”පැහැදිලිවම අප නොදන්නා බොහේ දේවල් සිදු වී තිබෙනවා” යන ප්‍රකාශයත්, ”  කොරෝනා වෛරස් වසංගතයට එරෙහිව චීනය කටයුතු කරන පිළිවෙල  අනෙක් රටවලට වඩා යහපත් යැයි කීම බොලඳයි ”  යන ප්‍රකාශයත්  බෙහෙවින්ම සාධාරණ බවට යුරෝපය තුළ පොදු පිළිගැනීමකට ලක් වී තිබේ.

ළමා රැකවරණ රැකියාවේ නිරත වූවන්ට වැටුපෙන් 90% ක් 

මේ අතර ළමා රැකවරණ සේවයේහි නියතුව සිට කොරෝනා වෛරසයට ගොදුරුවීමේ අවදානම හේතුවෙන් නිවෙස් වල රැඳී සිටින අය සහ අසනීප නිවාඩු මත සිටින අය අර්ධ වශයෙන් රැකියා විරහිතයන් ලෙස සලකනු ලබන බව  ප්‍රංශ සෞඛ්‍ය අමාත්‍යංශය හා කම්කරු අමාත්‍යංශය අද නිවේදනයක් නිකුත් කොට තිබෙනවා.

රැකියාවේ නිරත වසර ප්‍රමානය නොතකා අප්‍රේල් මස අවසානය දක්වා ළමා රැකවරණ රැකියාවේ නිරත වූවන්ට වැටුපෙන් 90% ක් ගෙවන බව එම නිවේදනයේ දක්වා ඇත.

අර්ධ ක්‍රියාකාරකම් වලදී එය අර්ධ විරැකියාව ලෙස  මැයි මස 01 වැනිදා සිට හඳුන්වන ලබන අතර, දැනටමත් ප්‍රංශය තුළ මිලියන 9 කට ආසන්න සංඛ්‍යාවක් එම ඝණයට අයත්වන බවත්, මෙම තීරණය හේතුවෙන් මැයි මාසයේදි එම සංඛ්‍යාව තවත් ඉහළ යෑමට නියමිත බවත් කියැවේ.

සාමාන්‍යයෙන් අර්ධ විරැකියාවේ යෙදෙන්නන් ලෙස සලකනු ලබන පිරිස් සඳාහා වැටුපෙන්  84% ගෙවනු ලබන බවත්, අවම වැටුප ලබා ගන්නා සේවකයන් සඳහා ( Smic) එම ප්‍රමාණය 100% දක්වා ඉහළ නංවන බවත් රජය ප්‍රකාශ කොට තිබේ.

එසේ වුවත්, ඔවුන් අර්ධ ක්‍රියාකාරකම් සඳහා නොයෙදුන හොත් ඔවුන්ට ගෙවන මුදල 60% ක් වැනි ප්‍රමාණයක් වනු ඇති බව කම්කරු අමාත්‍යංශය නිවේදනය කර තිබේ.

එසේම සේවා කාලය නොතකා අප්‍රේල් 30 වැනිදා දක්වා වැටුපෙන් 90%’ක් ගෙවීමට නියමිත බවද අමාත්‍යංශය පවසනවා.

ප්‍රසිද්ධ ගායකයෙකු වන ක්‍රිස්ටෝෆ් (Christophe) අභාවප්‍රාප්ත වේ.

5472                         Christophe pictured in 2019. Photograph: Joel Saget/AFP via Getty Images

මේ අතර ප්‍රංශයේ සිටි ප්‍රසිද්ධ ගායකයෙකු වන ක්‍රිස්ටෝෆ් (Christophe ) ඊයේ (16 ) රාත්‍රියේ දී මිය ගොස් තිබෙනවා.
පසුගිය මාර්තු 26 වැනිදා පැරීසියේ බ්‍රෙස්ට් (Brest ) රෝහලට ඇතුළත් කරනු ලැබ සිටි ක්‍රිස්ටෝෆ්,  බ්‍රිතාන්‍ය යට මාරු කර යැවීමට සැලසුම් කර තිබුණ ද ඊට පෙර දැඩි සත්කාර ඒකකයේදීම ඔහු මිය ගොස් තිබෙනවා.

වයස අවුරුදු 74 ක් වූ මොහු දිගු කලක් තිස්සේ පෙනහළු රෝගයකින් පීඩා විඳි බව ඔහුගේ බිරිඳ වෙරොනික් බෙව්ලැක්වා සහ දියණිය වූ ලුසී විසින් නිකුත් කර ඇති පුවත් පත් නිවේදනයක සඳහන් වෙනවා.

කෙසේ නමුත් ‘ල පැරීසියන්’ නමැති පුවත් පත ප්‍රකාශ කර ඇත්තේ මොහු මිය ගොස් ඇත්තේ කොරෝනා වෛරසය ආසාදනයවීමෙන් බවයි.

රෝහල්ගත කරන අවස්ථාවේදි සිදු කළ පරීක්ෂණයකදී මොහුට කොරෝනා වෛරසය ධනත්මක වී තිබුණු බවට සොයා ගෙන ඇති බව පවසන ‘ල පැරීසියන්’ පුවත්පත, පවුලේ අය එය වසන් කර ඇති බව  ද කියා සිටී.

ක්‍රිස්ටෝෆ් පෙනහළු රෝගයකින් මිය ගිය බව පවුලේ අය ප්‍රකාශ කළ ද , ඔහු මිය යන තුරු පවුලේ අය කිසි විටකවත් එවැනි රෝගයක් මොහුට තිබුණ බවට තහවුරු  කර නොමැති බවද   පුවත්පත කියා තිබේ.

මේ අනුව මෙම ගායකයාගේ මරණය පිළිබඳව ප්‍රංශයේ සමාජ ජාලා වල විවිධ ප්‍රශ්න නැගීම් සිදු කර තිබේ.

අවසන් වූ පැය 24 තුළ ප්‍රංශයේ රෝගීන් 753 ක් මියගිහින් :

ප්‍රංශයේ කොරෝනා ව්‍යාප්තිය පිළිබඳව ඊයේ (16 ) එළිදැක් වූ සංඛ්‍යා ලේඛන වලට අනුව,

# ඊයේ දිනයෙන් අවසන් වූ පැය 24 තුළ රෝගීන් 753 ක් මියගොස් තිබුණි.

#  ඊයේ වන විට සමස්ත මරණ සංඛ්‍යාව 17,920 ක් වන අතර එම ප්‍රමානයෙන් 417 ක් වැඩිහිටි නිවාස වල ද, 336 ක් රෝහල් වල ද සිදු වී ඇත.

#  ඊයෙ වන විට ප්‍රංශය තුළ කොරෝනා ආසාදිතයන් ප්‍රමානය 1,65,027 කි.

#  රෝහල්ගතව සිටින පිරිස 31,305 කි. මේ වන විට දැඩි සත්කාර ඒකකයේ සිටි පිරිස 6,248 ක් වන අතර,

#  රෝගය සුව වී රෝහල් වලින් පිට වී ගොස් ඇති ප්‍රමානය 32,812 කි.

( සුනිල් ගාමිණි ප්‍රංශයේ සිට) – theleader.lk වෙබ් අඩවියේ පලවූ ලිපියකි

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article