කූඹියෝ අවසාන වීමත් සමඟ ඒ ගැන වර්ණනා වගේම ඒ ගැන විවේචනත් ගොඩක් දකින්න ලැබෙනවා. හැබැයි වැඩේ කියන්නේ කූඹීයොන්ට පට්ටපල් බණින අය පවා කූඹියෝ පැල් බැඳගෙන බලපු අයයි.
විවේචන පැත්තකින් තිබ්බොත් අවසාන කොටස බැලුවාම හිතපු තරම් හිත පිරුණු ගතියක් දැනුණු නැති බව හැමෝටම පිළිගන්න වෙනවා. අවසාන එපිසෝඩ් එකක් කියන්නේ ක්ලයිමැක්ස් එකක්. ඒත් අපි අවසාන එපිසෝඩ් එකකට සැදී පැහැදී බලාගෙන හිටියේ ක්ලයිමැක්ස් එකෙන් බාගයක් ඉවරවෙලා, වෙන දේ අපි දැනගත්තාට පස්සෙ. ඉතින් හිත පිරෙන්නේ නැති එක සාමාන්‍ය දෙයක්. කොහොමවුණත් මේ සටහන ලියන්නේ කූඹියෝ ගැන කතාකරන්න නෙවෙයි. කූඹියෝ ඉෆෙක්ට් එක ගැන කතාකරන්නයි.
කූඹියෝ
ලක්මාල් ධර්මරත්න ලොකු ගේම් කාරයෙක් විදියට දකින්න මම කැමති නැහැ. හේතුව එහෙම දකින්න හේතු නැති හින්දා. කූඹියෝ කියන්නේ ඩීසන්ට් වැඩක්. මම බොහොම ආසාවෙන් රසවින්දා. කාස්ට් එකට තුමිඳු, කලණ ඇතුළු වෙනස් මුහුණු රැසක් තෝරාගැනීම කියන වැඩේ විතරක් ගත්තත් ඒක මාරයි. ටෙලිඩ්‍රාමා එකේ වැඩි කොටස ගෙවල්, හොටෙල්, පබ්ලික් ස්පේසස් වෙනුවට දැවැන්ත පරණ ගබඩාවකට ගෙනියන එකත් මාරයි. ඩයලොග් හොඳ තත්වයේ තියෙනවා. ඒ වගේම දැන් කාලේ ඉන්න තකහනියක් දුවන ප්‍රේක්ෂකයන්ට, ඕනෑ තරම් තෝරාගැනීම් තියෙන ප්‍රේක්ෂකයන්ට දිරවාගන්ඩ පුලුවන් කන්ටෙන්ට් එකක් කූඹීයෝ ටෙලිඩ්‍රාමා එකට තියෙනවා.
හැබැයි ලක්මාල් ධර්මරත්නව වර්ණනා කරන තරම් ඔහු මාර ගේම් කාරයෙක් නම් තමන්ගේ ටෙලිඩ්‍රාමා එක අවුරුදු ගාණක් තිස්සේ පෙන්වන්න බැරිවෙන්නේ නැහැ. ඔහු මාර ගේම් කාරයෙක් නෙවෙයි. හොඳ කලාකාරයෙක්. ඔහු අපට තියෙන සම්පත් පාවිච්චි කරලා නියම වැඩක් කරලා පෙන්වුවා. මෑත කාලෙ මේ වැඩේ කරපු පළවැනියා ලක්මාල්ද? මෑත කාලයෙ මාර ඇක්ටින් පෙන්වපු රංගන ශිල්පියා තුමිඳු හෝ කලණද? මම හිතන්නෙ නැහැ.
අසංක සායක්කාර හෙවත් සායා කියන්නෙ මෑත කාලයෙ නියම ස්ක්‍රිප්ට් ටිකක් කරපු කෙනෙක්. කලණට අමතරව නියම වැඩ ටිකක් කරපු රංගන ශිල්පියො කිහිපදෙනෙක්ම ඉන්නවා. දැනටමත් හොඳ වැඩ ටිකක් එළියට දාපු ඩිරෙක්ටර්ස්ලා ටිකකුත් ඉන්නවා. ලක්මිණි අමරදේවගෙ ඒලෙවල් ඉවරයි වගේ වැඩක් ගත්තොත් ඒක වෙනම රහක් තියෙනවා. ගොළු තාත්තා වගේ ටෙලිඩ්‍රාමා එකක් කරපු ඔක්ෂාන් විජේරත්නත් මෑත කාලයෙ හැකියාව පෙන්වපු දක්ෂයෙක්.
ඒ විතරක් නෙවෙයි තමන්ගේ ක්‍රියේටිව් මොළ පාවිච්චි කරලා වැඩ නොකරපු හෝ කරපු වැඩ එළියට නොදාපු සෙට් එකකුත් ඉන්නවා. ඩෙනිස්, කසුන් පතිරණ, උදය, චින්තා, මාලක වගේ කොච්චර කට්ටය ඉන්නවද? ඇත්තටම අපට මාර සම්පත් තොගයක් තියෙනවා.
හැබැයි මෑත කාලයෙ අනෙක්වා කිසිවක් නැතිව කූඹියෝ හිට් වෙනවා. ඒකට කූඹියෝ ටෙලිනාට්‍යය අයිතිවෙන ෂෝනර් එක ප්‍රධාන හේතුවක් වෙන්න ඇති. ටෙලිඩ්‍රාමා එකේ ගතිගුණ හේතුවෙන්න ඇති. ඒත් ඒ සියල්ලට වඩා තිබුණ බැක්ග්‍රවුන්ඩ් එක හේතුවුණා. එක්කෙනෙක් දෙන්නෙක් කූඹියෝ ගැන කතාකරද්දී ඒ වෙද්දී සෝෂල් මීඩියා ට්‍රෙන්ඩ් අතරට ප්ලග් වෙන්න තරම් කූඹියෝ වාසනාවන්ත වුණා.
හැබැයි කොහොමින් කොහොමහරි සිද්ධවුණේ හොඳ දෙයක්. මගේ අදහස් නිවැරදි වුණත්, වැරදි වුණත්. පිටරට එව්වම බලපු අපේ ඉන්ටර්නෙට් තරුණ ප්‍රජාව ලංකාවේ නිර්මාණයක් ගැන පිස්සු වැටුණා.
දැන් කූඹීයෝ ලොකු ඉෆෙක්ට් එකක් කරලා ඉවරයි. දැන් ප්රේක්ෂකයො වගේම ලංකාවේ ටී.වී. කාරයොයි කසිකබල් ටෙලිනාට්‍ය අධ්‍යක්ෂවරුයි තව කූඹියෝ වගේ වැඩ දුසිම් ගනං කරන්න උත්සාහ කරයි. කොටින්ම මේ ෂෝනර් එක වනසයි.
ඉතින් අපි බලන්න ඕනෙ කූඹියෝ ඉෆෙක්ට් එක සහ ඒකෙන් ප්‍රයෝජන ගන්න විදිය ගැන. මේකේ ඉෆෙක්ට් එක අපි නිවැරදිව තේරුම් ගන්න එක වටිනවා.
සීසන් 2
අපි පැහැදිළිව තේරුම් ගන්ඩ ඕනෙ. මේක ලංකාවෙ ටෙලිඩ්‍රාමා එකක්. මේක ටී.වී. සීරීස් කියන ඉන්ටර්නැෂනල් කොලිටියට අයිති එකක්ම නෙවෙයි. අපි අපිටම ටී.වී. සීරීස් ආතල් එකක් ගන්න ඕනෙ හින්දා මේක ඒ ලෙවල් එකට උස්සාගත්තා. ඉන්ටර්නැෂනල් වගේ මේකෙත් සීසන් 2 ගැන අපි බලාපොරොත්තු වෙන්නෙත් ඒ නිසයි.
හැබැයි මගෙ අදහස නම් ලක්මාල් හේ මේ කණ්ඩායම හෝ කූඹියෝ සීසන් 2 ගැන නොහිතන තරමට හොඳයි. මේ තියෙන තත්වයන් ආයේ ඩිවලොප් කරලා හදන සීසන් 2 එකක් මාර ආතල් වැඩක් වෙන එකක් නැහැ. දැන් ප්‍රියන්ත මහඋල්පත කියන්නේ පරණ ආතල් කැරැක්ටර් එක නෙවෙයි. ජෙහාන් සහ ප්‍රියන්ත කලින් වගේ එකතුවෙන එකක් නෑ. අනෙක සස්පෙන්ස් එක තියාගන්නත් අමාරුයි. ඒ නිසා ඔය කැරැක්ටර් වලට යන්න ඇරලා තවත් හොඳ ස්ක්‍රිප්ට් එකක් ගැන කල්පනා කරන එක හොඳයි. සමහරවිට වෙන ෂෝනර් එකක?
ඉන්පස්සේ සීසන් කිහිපයකට ගැලපෙන හොඳ ‘ටී.වී. සීරීස්.’ කියන කොලිටියට අයිති වැඩක් කරන්න පුළුවන්. එහෙම කරන්න ඕනෙ පළවැනි ස්ක්‍රිප්ට් එක කරද්දීමයි. ඒ ලෙවල් එකේ වැඩක් ප්ලෑන් කරන්න පුළුවන්.
ටී.වී. සීරීස්
ටෙක්නිකලි ගත්තාම කූඹියෝ ටී.වී. සීරීස් එතත් කමයි. පබා වුනත් ටී.වී. සීරීස්. දෙවැනි ඉණිමත් ටී.වී. සීරීස්. හැබැයි අපි කූඹියෝ ටෙලිඩ්‍රාමා එකට ටෙලිඩ්‍රාමා නොකියා ටී.වී. සීරීස් කීවේ ඒකේ ඊට වඩා ග්‍රෑන්ඩ් ගතියක් දැනුණු හින්දා.
ඉතින් අපි ටී.වී. සීරීස් කියලා කියන ටයිප් එකට කූඹියෝ අයිති නොවෙන්න හේතු කිහිපයක් තියෙනවා.
එකක් විතරක් කීවොත්, කූඹීයෝ නිර්මාණය කරලා තිබුණේ විනාඩි විස්සක එපිසෝඩ් ජාතික ටී.වී. නාළිකාවල පැයභාගේ වීකෙන්ඩ් බෙල්ට් එකක් අල්ලාගනෙ විකාශය කිරීපේ බලාපොරොත්තුවෙන්. එතැනදීම ගැටලු ටිකක් පැනනඟිනවා. ඒවා පුළුල් විදියට කතා නොකර සරල උදාහරණයක් ගමු. මේ සටහන පටන්ගනිද්දීම අපි කියපු කතාව ගත්තොත් කූඹියෝ අවසාන කොටසේදී අපි ඒ තරම් උද්දාමයට පත්වුණේ නැහැ.
මොකද ටී.වී. සීරීස් විදියට ෂූට් කළානම් අවසාන එපිසෝඩ් එකේදී තමයි ජෙහාන් ප්‍රියන්ත සහ ආනන්ද එක්ක විපක්ෂ නායක නිල නිවසට යන්න ඕනෙ. එතැන ඉඳන් අවසාන හෙළිදරව්ව අග වෙනතුරු කරලා, වාමාංශික පක්ෂයේ කැමැත්ත අරගෙන ජෙහාන්ගේ ජීවිතයගේ ගැන තීන්දුව ලැබෙන තැන වෙනකන්ම සිදුවීම් අවසාන එපිසෝඩ් එකට අයිති ඒවා. හැබැයි මෙයාලාට ලැබෙන විනාඩි විස්සේ බෙල්ට් එක ඒ තරම් ලොකු හෙළිදරව්වක් කරන්න ප්‍රමාණවත් නැහැ.
කතාවේ මැද වුණත් එහෙමයි. එක එපිසෝඩ් එකකට අයිතිවෙන්න ඕනේ කොටස් සති ගණන් බලන්න වෙනවා. සමහර තැන්වල සස්පෙන්ස් එක නැතිවෙනවා. සමහර තැන් සති ගණන් බෝරින් වෙනවා.
ටී.වී. සීරීස් එපිසෝඩ් එකක් කියන්නේ චිත්‍රපටියක් වගේ. ආරම්භය, ගලායෑම පිළිවෙලකට කෙරෙන්න ඕනෙ. කතාවට අවශ්‍ය දිග ගන්න ඕනෙ. හැබැයි මෙතැන ලැබෙන විනාඩි දාහතක වගේ වෙලාව ආරම්භයක් හෝ අවසානයක් ගන්න තරම් ප්‍රමාණවත් නෑ. ඇත්තටම පුළුවන්. කෙටි චිත්‍රපටි කියලා ජාතියකුත් තියෙන්නෙ. ඒත් කූඹීයෝ සැලසුම් කරලා තිබුණෙ එහෙම නෙවෙයි. ටෙලිඩ්‍රාමා ටයිප් එකට.
ඇත්තටම කූඹීයෝ සමහර චරිතවලට සලකලා තිබුණේත් ලංකාවේ ටෙලිඩ්‍රාමා ටයිප් එකට. සෙටප් සහ පේඕෆ් ඒ තරම් පර්ෆෙක්ට් නැහැ. දෙබස් කොහෙටවත් සේවය නොකරන වෙලාවල් තිබුණා.
සාමාන්‍යයෙන් අන්තර්ජාතික නාලිකාවල එපිසෝට් එකකට නියමිත කාලයක් නියම කරලා බෙල්ට් එකක් දෙන්නෙ නැහැ. ඒ වෙනුවට එපිසෝඩ් එක කරන්නේ කියන්න තියෙන කතාවේ හැටියට. එකිනෙක එපිසෝඩ් අතර කාලසීමාවේ ලොකු වෙනස්කම් තියෙනවා. උදාහරණයක් විදියට ගේම් ඔෆ් ත්‍රෝන්ස් ගන්න. එක් එක් සීසන් එකට විවිධ දිගින් යුතු එපිසෝඩ්. එකිනෙක අතර ලොකු වෙනස්කම් තියෙනවා. හැබැයි ලංකාවේ ටෙලිඩ්‍රාමා පෙන්වන ටී.වී. අවකාශයේ මේ වැඩේ කරන්න බෑ. අපි විකල්පයක් හොයන්න ඕනෙ.
විකල්පය
මෙතැනට එන්නයි මේ සටහන ලීවේ. විකල්පය කියන තැනට. අපි මේ මොමෙන්ටම් එක අපේ ආට්වල දියුනුවට පාවිච්චි කරන්නෙ කොහොමද? මිනිස්සු රොද බැඳගෙන බලන, සෝෂල් මීඩියාවල ට්‍රෙන්ඩ් වෙන, සල්ලි හොයන්න පුළුවන්, ආයෝජකයො එන, නිර්මාණශීලීත්වයට ඉඩ තියෙන නිර්මාණවලට වේදිකාවක් නිර්මාණය කරගන්නෙ කොහොමද? ඇත්තටම අපි වෙන වෙන හේතු රැසක් නිසා කූඹීයෝ බැලුවත් දැන් තියෙන විදියේ රූපවාහිනී අවකාශයක හැම ටෙලිඩ්‍රාමා එකක්ම මේ වගේ හිට් වෙයි කියලා හිතන්න බෑනේ.
අර ප්‍රශ්ණවලට පිළිතුර අප ඇස් ඉදිරිපිට තියෙනවා. ලංකාවේ වගේම ලෝකයේත්. ඒ තමයි අන්තර්ජාලය. උදාහරණයක් විදියට යූටියුබ් එක. ලංකාවේ බලලා වැඩක් නැති ටෙලිඩ්‍රාමා ටික පවා බලන්න මිනිස්සු අන්තර්ජාලයට දුවනවා.
මේ වෙද්දී ඉන්දියාවේ සාර්ථක ලෙස දුවපු බ්රීත් කියන සීරීස් එක ටී.වී. එක වෙනුවට අන්තර්ජාලයෙන් පෙන්වූ එකක්. ඒ ඇමසන් ප්‍රයිම් හරහා. ලංකාවේත් එහෙම වේදිකාවක් නිර්මාණය කරගන්න බැරිවේවිද? නෙට්ෆ්ලික්ස් වගේ? දැනටත් ඩයලොග් වගේ වලින් ආයතනවලින් නිර්මාණය කරපු වේදිකා තියෙනවා. විනෝදේ වගේ. තව ටිකක් ඩිවලොප් වෙන්නයි ඕනෙ.
අඩු තරමේ ලංකාවේ කලාකරුවන්ට යූටියුබ් හරහා නොමිලේ ටෙලිනාට්‍යය පෙන්වන අතරේ මැදට ඇඩ්වර්ටයිසින් කරලා මුදල් උපයන්න හෝ යූටියුබ් හරහා මුදලක් උපයලා වියදම කවර් කරගන්න බැරිවේවිද? තවත් විකල්ප හොයාගන්න බැරිවේවිද? කවුරුහරි මේ ක්ෂේත්රයේ විප්ලවයක් කරන එක වටිනවා. නැත්නම් දැනටමත් අතේ ඇති මුදලින් විප්ලවය කරපු මුවිඳු බිනෝයිලාට සපෝට් කරන එක වටිනවා. මහා ලොකු වියදමකින් නොවුණත් ආරම්භයක් විදියට ඒ වැඩ නියමයි. ලොකු වියදමකින් වැඩක් කරන එකයි වටින්නේ. ( දැනටත් මුවිඳු බිනෝයිලා එක ළඟ කොටු නමින් වෙබ් සීරීස් එකක් කරලා තියෙනවා. )
කූඹියෝ ටෙලිනාට්ය්ය බොහෝ දෙනෙක් විඳින අතරේ කලා අවකාශයේ ඉන්න මිත්‍රයො තදින්ම කල්පනා කරන්න ඕනෙ මේ විවෘත වුණ දොරටුව පාවිච්චි කරන්නෙ කොහොමද කියලා. ටී.වී. එකේම ටෙලිඩ්‍රාමා පෙන්වීම හෝ විනාඩි විස්සේ හුන්ඩු කෑලි පෙන්වීමෙන් ආයෙමත් මේ ෆේස්බුක් මිතුරු කැල තම තමන්ගේ වෙන වැඩවලට යොමුවෙයි. මේ ටෙලිඩ්‍රාමා අමතක වෙයි. කවුරුහරි නිර්භීත ආයෝජකයෙක් අල්ලාගෙන අන්තර්ජාලය වෙනුවෙන් යමක් කරන්න.
බයවෙන්න එපා, මේ එකතුවෙච්ච ෆේස්බුක් මිතුරු කැල හොඳ ට්‍රෙන්ඩ් එකක් හදාගන්න උදව් වෙයි. මිනිස්සුන්ට දිරවන්න පුලුවන් හොඳ කතාවක් කිරීමයි වැදගත් වෙන්නෙ.
ලීව්වේ උඩුවා දිනය March 18, 2018
/uduwaage.blogspot.com