Friday, September 20, 2024

කැලෑ කොල්ලකරුවන් ගැන හෙලිදරව් කළ මාධ්‍යවේදීන් නිසා, මහා වන විනාශයක් එළිවේ

Must read


මුලතිවු දිස්ත්‍රික්කයේ නීතිවිරෝධී තේක්ක දැව ජාවාරමක් ගවේෂණය කරමින් සිටි මාධ්‍යවේදීන් දෙදෙනකුට පහර දුන් බව පිළිගත් සැකකරුවන් ඇප ලබා නිදහස් වෙද්දී, පහරදීම සිදු වු ස්ථානය සමීපයේ පිහිටි  වන රක්ෂිතයක්  දැව ජාවාරම්කරුවන් විසින් විනාශ කර ඇති බව අධිකරණය හමුවේ හෙළි වී තිබේ.
මාධ්‍යවේදීන් දෙදෙනාට පහර දීම පිළිබඳ මුල් විමර්ශන පිළිබඳ වාර්තාවේ අඩුපාඩු සම්බන්ධයෙන් මීට ඉහතදී අධිකරණයේ දෝෂ දර්ශනයට ලක්වූ පොලිස් නිලධාරීන් අලුතින් තොරතුරු ගවේෂණය කර නොවැම්බර් 17 අඟහරුවාදා පොලීසිය අධිකරණයට දැනුම් දී ඇත්තේ මාධ්‍යවේදීන් දෙදෙනා පහර කෑමට ලක්වු ස්ථානය ආසන්නයේ පිහිටි නාගන්චෝලේ රක්ෂිතයේ අක්කර 180 ක භුමියක් දැව ජාවාරම්කරුවන් විසින් විනාශ කර ඇති බවයි.එම අපරාධයට වගකිවයුත්තන් කවුරුන්දැයි පොලිසිය හෙළි කරගෙන නැත.

කනපතිපිල්ලෙයි කුමනන්
ශන්මුගම් තවසීලන්

මාධ්‍යවේදීන් දෙදෙනාට පහරදුන් බව නොවැම්බර් 3 දා නඩු වාරයේදී  පිළිගත්  ප්‍රධාන සැකකරු යෝගේෂ්වරන් අනුජන් සහ සෙසු සැකකරුවන් දෙදෙනා  වීඩියෝ තාක්ෂණය ඔස්සේ අද දිනයේ  අධිකරණ කටයුතු වලට සම්බන්ධ වී තිබේ.

හඳුනාගැනීමේ පෙරෙට්ටුවක් සඳහා ඉදිරිපත් කිරීමට කැඳවා තිබුනු කුමාරවේල් සෞන්දකුමාර් සහ මහේන්ද්‍රන් ලෝකීසන් යන සෙසු සැකකරුවන් දෙදෙනා රටේ පවතින වසංගත අවදානම හමුවේ ගෙන ආ නොහැකි බව පවසමින් ඔවුන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥයන් අධිකරණයට දැනුම් දී ඇත්තේ පහර දීම සිදු වු ස්ථානයේ සිටි බව සැකකරුවන් විසින් පිළිගන්නා බවයි.

ඒ අනුව ඔවුන් තිදෙනාට ඇප ලබා දෙන ලෙස සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥයන් අධිකරණයෙන් ඉල්ලා තිබේ.

සැකකරුවන් තිදෙනාගෙන් කරුණු විමසු මුලතිව් දිසා විනිසුරු එස්. ලෙනින්කුමාර්, එක් අයකුට රුපියල් ලක්ෂ දෙක බැගින් වු ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට නියෝග කර තිබේ.

පහර කෑමට ලක්වු මාධ්‍ය වේදීන් දෙදෙනාට නැවත තර්ජනය කිරීම් නොකරන ලෙස අවවාද  කළ විනිසුරුවරයා යෝගේෂ්වරන් අනුජන්, කුමාරවේල් සෞන්දකුමාර් සහ මහේන්ද්‍රන් ලෝකීසන් යන සැකකරුවන් තිදෙනාට වැඩි දුරටත් නියෝග කර ඇත්තේ සෑම මසකම අවසන් සිකුරාදා දිනයේ මුලතිව් අධිකරණයට පැමිණ අත්සන් තබන ලෙසයි.

නැවත නඩු විභාගය 2021 පෙබරවාරි 2 දිනට කල් තැබූ අධිකරණය විසින් වැඩිදුර පරීක්ෂණ පවත්වන ලෙස පොලිසියට සහ වන සංරක්ෂණ බලධාරීන්ට නියෝග කර තිබේ.

කැලෑ කොල්ලයේ තොරතුරු අනාවරණය කිරීමේ යෙදී සිටි  දෙමළ මාධ්‍යවේදීන් දෙදෙනාට පහර දීම සම්බන්ධයෙන් ඔවුන් සමග අත්අඩංගුවට ගෙන  රිමාන්ඩ් ගත කර සිටි නෝර්වේ පුරවැසියකු  වු ඔස්ලෝ වාසී තිශාන්තන් රාජේන්ද්‍රන්ට  මුලතිව් උසාවිය විසින් මීට ඉහතදී  ඇප නියම කර තිබුනි.

කනපතිපිල්ලෙයි කුමනන් සහ ශන්මුගම් තවසීලන් යන මාධ්‍යවේදීන් දෙදෙනාට ඔක්තෝබර් 12 වැනි දා  අමානුෂික ලෙස පහර දීම, ඔවුන්ට මරණ තර්ජන එල්ල කිරීම හා වන රක්ෂිතය තුළ නීතිවිරෝධී දැව ජාවාරම සම්බන්ධයෙන් පටිගත කොට ඇති වීඩියෝ සාක්ෂි ඉවත් කිරීම යන චෝදනා සැකකරුවන්ට එරෙහිව එල්ල වී  තිබේ.

මුහුදුබඩපත්තු ප්‍රදේශිය ලේකම් කාර්යාලය වෙත තොරතුරු දැනගැනීමේ පනත යටතේ අයදුම්පතක් ඉදිරිපත් කරමින් යෝගේෂ්වරන් අනුජන්ට අයත් බව පවසන කම්බි ගැසු  තේක්ක දඬු වැටකින්  වටකළ එළි පෙහෙළි කළ ඉඩමක්  සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් දෙදෙනා කළ විමසීමකදී  පසුගියදා අනාවරණය වී තිබුනේ  එම ඉඩම හෝ ඒ අවට කිසිදු ඉඩමක අයිතියක් ඔහුට නොමැති  බවයි.

ඒ සම්බන්ධ තොරතුරු දිසා විනිසුරු වෙත වාර්තා කිරීමටත් පසුගිය නඩු වාරයේදී  මාධ්‍යවේදීන් වෙනුවෙන් පෙනී සිටි  නීතිඥයන් කටයුතු කර තිබුනි.

තවසීලන් සහ කුමනන් වෙනුවෙන් එස්. ධනංජයන්, කනගරත්නම් පාර්තීපන් සහ දුශ්‍යන්ති සිවකුමාර් යන නීතිඥ මණ්ඩලය පෙනී සිටියේය.

ප්‍රදේශයේ සිදුව ඇති මහ  වන විනාශය පිළිබදව පොලීසිය කරුණු අනාවරණය කරගෙන ඇතත් එයට වගකිවයුතු කිසිවකුත් මේ දක්වා අත්අඩංගුවට ගැනීමට අසමත්වීම ගැන ප්‍රදේශවාසීහු පොලීසියට චෝදනා කරති.

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article