Friday, September 20, 2024

උදයංග වීරතුංග නඩුව: “CID බබා වෙලා ද? බබා කරලා ද?”

Must read

මිග් යානා මිලදී ගැනීමට සහ මුදල් විශුද්ධිකරණයට අදාළව ඇමෙරිකානු ඩොලර් මිලියන 7.833 කට ආසන්න මහජන මුදල් අවභාවිත කර ඇති බවට නැගුණු චෝදනාවන්ට අදාළව රුසියාවේ සහ යුක්රේනයේ හිටපු තානාපති උදයංග වීරතුංග සම්බන්ධ විමර්ශන මෙහෙයවන අපරාධ පරීක්ෂණ නිලධාරියා සම්බන්ධයෙන් අඟහරුවාදා (පෙබ: 18) පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කෙරිණි.

ඊට හේතුවුයේ අදාළ නඩුව සම්බන්ධයෙන් කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේදී ඊයේ (පෙබරවාරි 17) ඇති වූ තත්ත්වය හා එහිදී වැඩ බලන පොලිස්පතිවරයාට නිකුත් කෙරුණු නියෝගය පදනම් කරගෙනය.

වසර 05 කට අධික කාලයක් පුරා එම සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන කර අධිකරණයට කරුණු වාර්තා කළ ප්‍රධාන පොලිස් පරීක්ෂක නිහාල් ෆ්‍රැන්සිස් හා ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි පී. දයාරත්න ඉදිරි විමර්ශන සඳහා යෙදවීමට හැකිදැයි ඊයේ (පෙබරවාරි 17 ) විමසූ කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක, එලෙස නොකරන්නේ නම් ඒ කුමන හේතුවක් මත ද යන කරුණ සම්බන්ධයෙන් වහා ම අධිකරණයට දැනුම් දෙන්නැයි වැඩබලන පොලිස්පතිවරයාට නියෝග කර තිබිණි.

ඊට අදාළව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය චමල් රාජපක්ෂ වෙත අද පාර්ලිමේන්තුවේදී අතුරු ප්‍රශ්නයක් යොමු කරමින් කරුණු විමසුවේ ජනතා විමුක්ති පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී නලින්ද ජයතිස්ස ය.

“මේ සම්බන්ධයෙන් අවුරුදු 5ක් තිස්සෙ පරීක්ෂණ කරපු සී අයි ඩී නිලධාරියා මාරු කරල තියෙනවා. අලුත් නිලධාරියෙක් ඇවිල්ල උසාවියට කියනව මං මේ ගැන මුකුත් දන්නෙ නෑ කියල. ඔහු උසාවියෙන් අහල තියෙනව උදයංග වීරතුංගට චෝදනා ගොනු කරන්නෙ මොන පනතෙන් ද කියල. ඒ නිලධාරියා මේ ෆයිල් එක ගැන දන්නෙත් නෑ. ඉතිං මේ සී අයි ඩී එක දැන් බබා වෙලා ද? නැත්නම් තමුන්නාන්සේලා සී අයි ඩී එක බබා කරල ද කියල තමයි අපිට අහන්න වෙන්නෙ?”ෆ්

ඊට පිළිතුරු දුන් අමාත්‍ය චමල් රාජපක්ෂ ප්‍රකාශ කළේ, “කරුණු අධ්‍යයනය කර පිළිතුරක් දෙන,” බවය.

“මේ පිළිබදව කරුණු හරියට අධ්‍යයනය කරල තමයි පිළිතුරක් දෙන්න තියෙන්නෙ. ඉතිං මේ හැම එක්කෙනා ම පැමිණිලි ගොතන හැටිත් ලියන හැටිත් මටත් පොඩ්ඩක් දැනුමකුත් තියෙනව. හොද අත්දැකීමකුත් තියෙනව. ඒ නිසා මට මේ පිළිබදව කෙනෙකුට චෝදනා කරන්න බෑ පැමිණිල්ලක් දාපු පළියට. ඒ සදහා පරීක්ෂණ පවත්වන්න ඕන. ඒ පරීක්ෂණ සාධාරණව කෙරෙන්න ඕන. ඉන්පසුව තමයි ඉතුරු කටයුතු කරන්න ඕන. ඒ නිසා පැමිණිල්ලක් දාපු පරිදි ම මං හිතන්නෙ නෑ කෙනෙක් වැරදි කාරයෙක් වෙනව කියල. සී අයි ඩී එකේ නිලධාරීන් පැමිණිලි විභාග කරපු ආකාරය පිළිබදව තවත් පැමිණිලි ගොඩක් තියෙනව. උසාවියෙදි දීපු කරුණු පිළිබදව මම කරුණු හොයල බලන්නම්.”

වසර 05 ට අධික කාලයක් පුරා එම සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන කර අධිකරණයට කරුණු වාර්තා කළ ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා මෙම නඩුවෙන් ඉවත් කිරීමට හේතුව කුමක් ද? යනුවෙන් කොටුව මහේස්ත්‍රාත්වරයා ඊයේ දින නැගූ ප්‍රශ්නයට ලද පිළිතුර වූයේ, “එම නිලධාරියාට ස්ථාන මාරුවක් ලැබී ඇති,” බවය.

මෙහිදී පොලිසිය මෙම නඩුව මෙහෙයවන ආකාරය සම්බන්ධයෙන් කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායකගේ දැඩි විවේචනය එල්ල විණි.

කවුද මේ උදයංග?


හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ මව, උදයංග වීරතුංගගේ මවගේ වැඩිමහල් සොහොයුරිය වේ. වීරකැටිය, මැදමුලනේ උපත ලබා හැදී වැඩුණු ඔහු පසුව කොළඹ නාලන්දා විද්‍යාලයේ අධ්‍යාපනය හැදෑරීය.

ඉන් අනතුරුව උසස් අධ්‍යාපනය සඳහා සෝවියට් දේශයෙන් ලැබුණු ශිෂ්‍යත්වයක් මත උදයංග වීරතුංග යුක්රේනයේ කීව් අගනුවර පිහිටි ඉංජිනේරු විශ්වවිද්‍යාලයකට ඇතුළත් විණි.

උසස් අධ්‍යාපනය හදාරන අතරවාරයේම ඔහු ව්‍යාපාරික කටයුතුවල ද නිරතව සිටියේය.

යුක්රේනයේදී විද්‍යාපති උපාධිය ලබාගැනීමෙන් අනතුරුවත් ඔහු දිගටම කීව් අගනුවර නතර වී ව්‍යාපාරික කටයුතුවල නිරත වූ අතර, තවත් ශ්‍රී ලාංකික මිතුරෙකු සමග එක් වී එහි ශ්‍රී ලාංකික බොජුන්හලක් ද පවත්වාගෙන ගියේය.

2005 දී මහින්ද රාජපක්ෂ ශ්‍රී ලංකාවේ විධායක ජනාධිපතිවරයා වශයෙන් දිවුරුම් දීමෙන් අනතුරුව 2006 වර්ෂයේදී ඔහු රුසියාවේ ශ්‍රී ලංකා තානාපතිවරයා වශයෙන් පත්කරනු ලැබිණ.

එවක් පටන් වත්මන් ආණ්ඩුව බලයට පත්වන තුරු 2015 මුල භාගය දක්වාම ඔහු එම තනතුර දැරුවේය.

තානාපති පදවිය හෙබැවූ සමයේ ඔහු මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ රුසියානු සහ යුක්රේන සංචාර ද සංවිධාන කළ අතර, මොස්කව් නුවර සංචාරයේදී පැට්‍රිස් ලුමුම්බා මිත්‍රත්ව විශ්වවිද්‍යාලය විසින් ජනාධිපති මහින්ද රාජපක්ෂට සම්මාන ආචාර්ය උපාධියක් ද පිරිනමන ලදී.

චෝදනා මොනවා ද?

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට MiG-27 ප්‍රහාරක ගුවන් යානා මිලදී ගැනීමේදී බරපතළ මූල්‍ය වංචාවක් සිදු වී ඇති බව පොලිස් මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය අධිකරණයට දැනුම් දී තිබේ.

එහිදී උදයංග වීරතුංග විසින් මුදල් විශුද්ධිකරණයට අදාළව ඇමරිකානු ඩොලර් මිලියන 7.833 කට ආසන්න මහජන මුදල් අවභාවිත කර ඇති බවට පොලිසිය ඔහුට චෝදනා කර තිබිණි.

 

(බීබීසී)

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article