Wednesday, November 27, 2024

අපේ ජීවිතවල අතීත සිදුවීම් අත්දැකීම් කරගෙන ජාතික සමගිය ප්‍රතිපත්තියක් සකස්කළා – අනුර

Must read

සිංහල, දෙමළ, මුස්ලිම්, බර්ගර්, මැලේ යන ජාතීන් ගණනාවක් නියෝජනය කරන බෞද්ධ, හින්දු, ඉස්ලාම්, කතෝලික කියලා ආගම් ගණනාවක් අදහන සිංහල දෙමළ කියලා භාෂා කතා කරන ඔවුන්ටම වූ ජාතික අනන්‍යතාවක් තිබෙන ශ්‍රී ලංකාව බහු ජාතික රාජ්‍යයක් යැයි ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා පැවැසීය.

ඒ මහතා මෙසේ අදහස් ප්‍රකාශ කළේ මීගමුව තලාදූව කඩොල්කැලේ 19 දා ජාතික ජන බලවේගයේ ‘ජාතික සමගිය’ පිළිබඳ ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදැක්වීම සඳහා පැවැති ජනහමුවකදීය.

එහිදී ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා මෙසේද පැවැසීය.

අපි ආවේ කවදද? ආවේ කොහෙන්ද? ආවේ මොකටද? ඒක ඉතිහාසය. මොකක් හරි විදිහකට මේ රටට එන්ඩ ඇති. ඒක අපේ ඉතිහාසයයි. එය ඉතිහාසයේ දැනුමට හොඳයි.

අද මේ රටේ ඉපදෙන මේ රටේ ආර්ථිකයට හවුල්වන මේ රටේ මියදෙන පොළොවට පස් වන ප්‍රධාන ජන කණ්ඩායම් ගණනාවක් ජීවත් වෙනවා. ඒ නිසා අපි මූලික ලෙස මේ හැම ප්‍රධාන ජන කණ්ඩායමකටම සම අයිතීන් තියන රාජ්‍යයක් ලෙස ශ්‍රී ලංකාව පිළිගන්නවා.

අපි මේ රටේ එකට ඉපදෙනවා. මේ රටේ එකට ආර්ථිකයට හවුල්වෙනවා. මේ පොළොවට පස්වෙනවා. එහෙත් අපට එකට ජීවත් වෙන්ඩ බැරි වෙලා තියෙනවා. අප එකින් එකා අතර සැකයෙන් බලනවා. අප අතර ක්‍රෝධය වෛරය නිර්මාණය වී තිබෙනවා. ඒ නිසා අවුරුදු 71 ක් ගිහිල්ලා අපේ පාලකයන්ට බැරිව ගිහිල්ලා තිබෙනවා ජාතික සමගිය නිර්මාණය කිරීමට. අපි එවැනි අවස්ථා ගණනාවක් අත්හැරලා තියන බව ඉතිහාසයේ කියනවා.

අපේ පරම්පරාව මොකද කළේ. යුද්ධ කරලා තියෙනවා. ඒ යුද්ධ ඉතිහාසය ගැන හොයලා බැලුවම මේ පාර්ලිමේන්තුව නියෝජනය කරන අයගේ කිසිම දරුවකු මේ යුද්ධවලදී මිය ගිහිල්ලා නැහැ. උතුරේ හෝ දකුණේ හෝ නැගෙනහිර පාර්ලිමේන්තුව නියෝජනය කළ කිසිදු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුගේ දරුවෙක් යුද්ධයේදී මිය ගියේ නැහැ. උතුරෙත් දකුණෙත් මිය ගියේ සාමාන්‍ය අම්මා තාත්තගේ දරුවෝ. මා දැක්කා හිටපු ජනාධිපතිතුමාගේ දරුවා නේවි එකට භාරදුන්නා. ඒක හරි. එහෙත් යුද්ධය ඉවර වෙනකම් ඔහු හිටියේ එංගලන්තයේ රෝයල් නේවි එකේ.

එතකොට මේ යුද්ධයේදී උතුරෙත් දකුණෙත් සාමාන්‍ය අම්මලා තාත්තලාගේ දරුවෝ ඕනෑ තරම් මියගිහිල්ලා තියනවා. මේ මහ පොළොව ලේ වලින් රත්වෙලා. අපේ කඳුළු එකතු කළොත් ගංඟාවක් ගලන්න තරම් පුළුවන්. දේපොළ කෝටි ප්‍රකෝටි ගණන් අහිමි වෙලා තියනවා. ජීවිත දස දහස් ගණන් අපට අහිමි වී තිබෙනවා.

අපි මේ සිදුවීම් සිදුවීම් ලෙස යටයන්ඩ දෙනවද? එතනින් අපි එහි අත්දැකීම් උකහා ගන්නවාද? අපි හිතනවා අපේ රටේ පුරවැසියන් සූදානම් විය යුත්තේ, සිදුවිය යුතු වන්නේ ඒ සිදුවීම් සිදුවීම් ලෙස සැලකීමට පමණක් නොවන බව ඒ සිදුවීම් අත්දැකීමක් බවට පත්කරගෙන මේ රටේ ජනතාව නැවත කිසිදු ජාතිවාදයකට හෝ ආගම් වාදයකට ප්‍රතිචාර නොදක්වයි කියලා මම හිතනවා.

හැබැයි අවාසනාව ජනතාවට ඒවා සිදුවීම් විතරයි. ජනතාවට ඒවා අත්දැකීම් නොවේ. ඒ නිසා අපි නැවත නැවත ජනතාවට මතක් කරන්නේ ඉතිහාසයේ සිදුවීම් කාලයේ වැලිතලාවට යටවීමට ඉඩ නොදී අපි එම සිදුවීම් අපේ ජීවිතයේ අත්දැකීම් ලෙසට උකහාගමුයි කියලයි. අන්න ඒ අනුව තමා මේ සමගිය ප්‍රතිපත්තියම යෝජනාවලිය සකස් කරලා තියෙන්නේ.

අපි මේ ප්‍රතිපත්ති ප්‍රකාශනයට ඇතුළත් කරලා තියනවා. උතුරේ ජනතාවගේ පවරාගන්නා ලද සියලුම ඉඩම් යළි ජනතාවට ලබාදිය යුතුයි කියලා. ලබාදිය යුතු පමණක් නෙමේ. රජයේ ආරක්ෂක හමුදා විසින් එම ඉඩම් අත්පත් කරගෙන තිබූ කාලයට යම් නාමික වන්දියක් ගෙවිය යුතුයි. අපි ඒ ජනතාවට අපේ පැත්තෙන් තිබෙන කනගාටුවක් තිබෙනවා නාමික වන්දියක් ගෙවන්නේ ඒ සඳහායි.

යුද්ධයේදී උතුරේ ජනතාවගේ අතුරුදහන් වූවන්ගේ ප්‍රශ්නයක් අපි දන්නවා. ඒකත් සරල එකක් නෙමේ. කෙනෙක් මිය යනවාට වඩා වේදනාකාරියි අතුරුදන්වීම. අපේ ආගමික වතාවන් අනුව මියගිය කෙනෙක් මම බෞද්ධ ආගමිකයෙක් මියයනකොටම අඬනවා දවස දෙක යනකොටම හිනා වෙනවා. හත් දවසේ දානෙ දෙනකොට සතුටු සාමිචියෙන් විසිර යනවා. ඇයි අපේ සංස්කෘතිය ඇතුලේ ඒ මියයාම අපි ක්‍රමානුකූලව දරාගන්නවා.

කතෝලික ආගම ඇතුලේ ගීතිකාවන් කියමින් ඒ මියයාම සමනයට පත්කර ගනිමින් සතියක් යනකොට සාමාන්‍ය ජන ජීවිතයට එනවා. ඉස්ලාම් ධර්මයේත් හින්දු ධර්මයේත් තමන්ගේ ආගමික වතාවත් අනුව මිය යාම ඉතාමත් කෙටි කාලයක් ඇතුළත සමනයට ලක්වෙනවා.

නමුත් අතුරුදන් වූවන්ගේ තත්ත්වය තුළ ඇතිවන සමාජ තත්ත්වය ඊට වඩා බොහෝ වෙනස්. අපි දන්නවා අතුරුදහන් වූවන්ට පසු එම දෙමව්පියන් වේදනාවට පත්වන්නේ කොහොමද කියලා. අතුරුදන්වූවන්ගේ දෙමව්පියන් ඥාතින් දසක ගණනාවක් යනතුරු එම අතුරුදහන්වූවන් නැවත එයි නැවත එයි කියලා බලාගෙන සිටිනවා. අදත් එහෙමයි.

විශාල බලාපොරොත්තුවක් තියනවා කවදා හෝ තම දරුවා නැවත එයි කියලා එය උතුරෙත් එහෙමයි. දකුණෙත් එහෙමයි. එම නිසා රජය විසින් මේ අතුරුදහන්වූවන්ගේ ප්‍රශ්නයට නිසි පිළිතුරක් ලබාදිය යුතු වෙනවා. එය කල්දාන්න බැරි පිළිතුරක්. ඒ සඳහා වූ යෝජනාවලියට අපි ඇතුළත් කරලා තියනවා. ඔවුන්ගේ දෙමව්පියන්ට තම දුක්ගැනවිල්ල ගැන කියන්න අවස්ථාවකුත් දරුවන්ට සිද්ධ වුණේ මොකක්ද කියලා නිවැරැදි ලෙස තොරතුරු ලබාදීම රජයක වගකීමක්.

ඊළඟට අත්අඩංගුවට පත්වූවන් පිළිබඳ ප්‍රශ්නය. මම එක් අත්අඩංගුවට පත් වූ අයෙක් බලන්න ගියා. ඔහු අත්අඩංගුවට පත්වීමට හේතුව තමා එල්.ටී.ටී.ඊ.ය සතු එල්.ටී.ටී.ඊ.ය විසින් නිකුත් කරන ලද හැඳුනුම්පතක් ඔහු සතුව තබාගැනීම මම ඇහැව්වා එම හැඳුනුම්පතට අත්සන් කරලා තිබුණේ කවුද කියලා. හැඳුනුම්පතට අත්සන් කරලා තිබුණේ දයා මාස්ටර්. එතකොට හැඳුනුම්පත අත්සන් කරපු කෙනා එළියේ හැඳුනුම්පත අතේ තියාගත්තු කෙනා ඇතුළේ. ඒ වගේ එල්.ටී.ටී.ඊ. සංවිධානයේ ප්‍රභාකරන් ඝාතනයෙන් පසුව නායකත්වයට පත්වුණේ කේ. පී.. කේ. පී. වගේ පුද්ගලයකු නොසිටින්න එල්.ටී.ටී.ඊ.ය බලවත් සංවිධානයක් බවට පත්වීමට තිබුණු ඉඩකඩ බොහෝ දුරට අඩු වෙනවා.

ඔහු තමා ජාත්‍යන්තර අවි ආයුධ වෙළෙඳා‍ෙම් ප්‍රධාන කොටස්කරුවකු බවට පත්වෙලා තිබුණේ. ඔහු තමා ජාත්‍යන්තර සම්බන්ධතා ජාලය නඩත්තු කළේ. ඔහු තමා අවශ්‍ය මූල්‍ය සම්පාදන සකස් කළේ. ප්‍රභාකරන් යුද්ධ පිටියේ ප්‍රධානියා වුණාට එල්.ටී.ටී.ඊ. සංවිධානයේ පැවැත්මට ප්‍රධාන පුරුක කේ. පී.. කේ. පී.ව අත්අඩංගුවට ගත්තා. ඉතින් කේ.පී.ට මොකද වුණේ කේ. පී. එළියේ. අර තරුණයා ඇතුළේ දයා මාස්ටර්ලාට, කේ.පී.ලාට සල්ලි තිබුණා නැව් තිබුණා. බැංකු ගිණුම් තිබුණා. සල්ලි, නැව්, බැංකු ගිණුම් තිබුණු අය එළියේ. අර තරුණයෝ වගේ අය ඇතුළේ. සමහර රිමාන්ඩ් බන්ධනාගාරගත කරන අයට අධිකරණයේදී නඩු අහලා උපරිම දඬුවම් දුන්නත් දඬුවම ලැබෙන්නේ වසර පහයි. එහෙත් දැන් ඔවුන්ට අවුරුදු විස්සක් රිමාන්ඩ් භාරයේ සිටීමට ඉන්න සිදුවෙලා තියෙනවා.

එම නිසා මම හිතන්නේ මේ යුක්තිය පසිඳලීමේ ක්‍රියාදාමය අතිශය අසාධාරණ ක්‍රියාදාමයක්. එබැවින් මෙම සියලුදෙනා නිදහස් කළ යුතුයි කියලා මෙම යෝජනාවලියට ඇතුළත් කරලා තියෙනවා.

අපි තර්ක කරමු. කේ. පී.ව දයා මාස්ටර්ව එළියට දැම්මේ කොහොමද? කරුණා අම්මාන්ව ප්‍රධාන සගයෙක් බවට පත්වෙලා තියෙන්නේ කොහොමද? එල්.ටී.ටී.ඊ. සංවිධානයේ බලවතුන් ලෙස සිටි අය පිට රට සිටින්නේ කොහොමද? ඒගොල්ලන්ගේ ඔලුවේ තිබෙන එක නෙමේ නීතියේ තියෙන්නේ. සෑමදෙනාටම සාධාරණය ඉටුකරන එකයි අපි නීතිය කියලා කියන්නේ. අපි මේ නිසා මේ යෝජනාවලියට මේ ගැන ඇතුළත් කරලා තියෙනවා.

මෙම ජාතික ඒකාග්‍රතාවය පිළිබඳ ප්‍රතිපත්තිය පිළිබඳ ප්‍රකාශ එළිදැක්වීමේ අවස්ථාවට ඉඩම් අමාත්‍යාංශයේ හිටපු ලේකම් සීමානිර්ණ අභියාචනා ජාතික කමිටුවේ සභාපති ජාතික සමගිය ප්‍රතිපත්ති ප්‍රකාශයේ සභාපති අශෝක පීරිස්, ජාතික ජන බලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂක අනුර කුමාර දිසානායක, කැලණි විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා පීඨයේ මහාචාර්ය චන්දන අබේරත්න, කැලණි විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය විජිත් රෝහණ, යාපනය පුරවැසි කමිටුවේ මාධ්‍ය ප්‍රකාශක ආර්. මුරලිදරන්, උතුරු පළාතේ හිටපු ධීවර සභාපති යහපාලනය සඳහා වූ ජාතික පෙරමුණේ ජාතික සංවිධායක ජගා මොහොමඩ්, ජාතික සමගිය ප්‍රතිපත්ති කොමිටියේ සාමාජික ජ්‍යෙෂ්ඨ නීතිඥ හර්ෂණ නානායක්කාර, ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පළාත් සභා මන්ත්‍රී ආචාර්ය අශෝක සපුමල් රණවල, ජ්‍යෙෂ්ඨ නීතිඥ රොබට් හීන්කෙන්ද යන විද්වත් මණ්ඩලයද එක්වූහ.

 

(dinamina.lk)

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article