Sunday, November 24, 2024

“හෙලන්” තවත් මනරම් මලයාලම් සිනමා සිතුවමක්!

Must read

කේරලයේ නාගරික පරිසරයක හෙලන් ඇයගේ පියා සමග ජීවත් වෙයි. ඇයගේ අම්මා මියගොස් ඇත්තේ දැඩි අසනීප තත්ත්වයක් නිසාය. ඇයගේ ප්‍රතිකාර සදහා පියා දැඩිසේ ණයවී සිටින අතර හෙලන් පෞද්ගලික රෝහලක සාත්තු සේවිකාවක් ලෙස සහ ආපනශාලාවක වේටර්වරියක් ලෙස අර්ධකාලීන රැකියාවක් කරයි. ණය වලින් මිදීමට ඇය කැනඩාවේ සාත්තු සේවිකාවක් ලෙස රැකියාවක් කිරීමට අපේක්ෂාවෙන් සිටින අතර ඇයගේ පියා ඒ ගැන එතරම් කැමත්තක් දක්වන්නේ නැත්තේ ඇයගේ වෙන්වීම ඔහුට දරාගත නොහැකි නිසාය.

“හෙලන්” ත්‍රාසජනක චිත්‍රපට වලට නව අරුතක් ගෙන දෙයි. ත්‍රාසජනක වචනය ඇසු විගස අපේ සිතේ මැවෙන සටන් ජවනිකා, වෙඩි තැබීම්, වාහන වේගයෙන් ධාවනය කිරීම් හෝ උස ගොඩනැගිලි වලින් බිමට පැනීම් වැනි කිසිම ජවනිකාවක් මෙම චිත්‍රපටියේ නැත.
එහෙත් චිත්‍රපටියේ දෙවන භාගය පුරාවට අනපේක්ෂිත ලෙස හෙලන්ව තමන් සේවය කරන ආපනශාලාවේ ශිතාගාරය තුළ සිරවීම සහ ඍණ අංශක 17 ක් තරම්වූ අසාමාන්‍ය සීතලක් සමග සිරවී කිසිවකුගේ උදව් නැතිව මිය නොයා ජීවත්වීමට ඇය කරන අරගලය ප්‍රේක්ෂකයන් ත්‍රාසජනක අත්දැකීමක් තුළ තබයි.


මේ චිත්‍රපටියේ තවත් සුවිශේෂී බවක් වන්නේ මිනිස් සබදතාවයන් ඉතා ගැඹුරින් නිරූපණය කර තිබීමයි. එහිදී හෙලන් සහ ඇයගේ පියා අතර හැගීම් හුවමාරු කර ගැනීම ඉතා සංවේදී ලෙස ඉදිරිපත් කර ඇත.
හෙලන් ඉතා සුන්දර සහ කරුණාවන්ත තරුණියක් වන අතර ඇයට සැමදෙනාම දැඩිසේ ආදරය කරති.
ඇය ආපනශාලාවේ ශිතාගාරයේ සිරවී සිටින බව කිසිවකු දන්නේ නැත. ඇයට කුමක් සිදුවී දැයි නොදැන පියා ඇයගේ අතුරුදහන් වීමට පෙම්වතාව සැක කරයි. තම දරුවා සොයා ගැනීමට පියා පොලීසියේ සහය පැතුවත් පොලීසිය තුළ සමහර නිළධාරීන් හැසිරෙන අකාරය සාමන්‍ය ජනතාවට කෙතරම් පීඩාවට පත්කරන්නේද යන වගද චිත්‍රපටියේ සාකච්ඡා කරයි.
අවසානයේදී හෙලන් තමා සේවය කරන ආපනශාලාවේ ශිතාගාරය තුළ සිරවී සිටිය හැකි බවට සැක කරන්නේ ආපනශාලාව ඇති වෙළද සංකීර්ණයේ ප්‍රධාන දොරටුවේ සිටින ආරක්ෂක නිළධාරීයාය.
චිත්‍රපට අවසන් වන්නේ හෙලන්ව බේරා ගැනීමෙන් පසුව ඔහු හෙලන් ගේ පියා සමග කරන මේ සංවාදයෙනි;
පියා;
“ඔයාට කොහොමද හිතුනේ මගේ දරුවා ඇතුලේ ඉන්නවා කියලා?

ආරක්ෂක නිළධාරීයා;
” මම මේ රස්සාව පටන් අරන් දැන් අවුරුදු තිහක් විතර වෙනවා. මම දවසකට මිනිස්සු සිය ගානක් දකිනවා.අපි මේ වෙනකම් එකිනෙකා කතා කරලවත් නැහැ.
ඒත් හැමදාම ඔයාගේ දුව ඇතුල්වෙන වෙලාවටයි පිටවෙලා යන වෙලාවටයි මාත් එක්ක කිසිම පැකිලීමක් නැතුව හිනා වෙනවා.එයා මට අත වනනවා.
ඊයෙ එයා ඇතුලට යද්දි ඒ හිනාව මට ලැබුණා.ඒත් හවස ඒක මට ලැබුණේ නැහැ.
කිසි කෙනෙක් අපිව මතක තියාගන්නේ නැති එකේ කවුරු හරි අපිව මතක තියා තියාගත්තොත්, අපිට ඒ මූණ කවදාවත් අමතක වෙන්නේ නැහැ නේද සර්? ඇත්තටම අද කාලේ මිනිස්සුන්ට උගන්වන්න ඕනේ බිම බලාගෙන ඇවිදිනවා වෙනුවට මුහුණු දිහා බලාගෙන ඇවිදින්න.

අරුණ ශාන්ත නෝනිස්
අශානෝ
2023.11.02.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article