Monday, September 14, 2026
spot_img

හෑරූ මිනී වල

Must read

 

හෑරූ මිනී වල

මහා මිනී වළවල් මතින් පියමනින
දේවතාවකි නුඹත් අම්මේ
දරුවෝ සොයා අඩි තබන
මේ පොලෝගැබ
විවර නොවුනාද නුඹට

අම්මේ නුඹ මාව සෙව්වාද
මම තාම මෙතනමයි…
සාමයක් නොමැතිවම සැතපුනා..
පස් කන්දරාවක් යට අපව සැඟවූ
ඒ රහස දිවා රෑ සෙව්වාද

මහා මිනීවළවල් මතත්
තුරු ලතා වැවෙනවා – මල් පවා පිපෙනවා..
දෝරේ ගලන වැසිත් හිත හදනවා
මේ මගේ ඇටකටුය – මං නිදන්නෙ මෙතන
පුරුදු සුවඳක් දැනී – නුඹ මෙතැන හැඳිනීද……

දුහුල් ඇටකටු වැසූ රෙදි පෙරෙලි මත
මම දැනුත් පෙර දා වගෙයි
නියමලක්වත් අතගාන්නට
නුඹට සිතුනාද

මහා මිනීවළවල – සමූහ සොහොන් තුළ
සැඟවුණද ලේ කඳ
අපේ අවසන් සුසුම්
උරාගත් අහස් කුස
වලාකුළු පුරවා
වැසි හෙළයි පොලොව මත

ඒ වැසියි අම්මේ
මහීමව් නහර තුළ
ලේ මෙන් ගලන්නෙ…
ඇගේ ඉකියක සැඟව
හැඬුම් මෙන් නැගෙන්නෙ…

ඒ සුසුම් දැනුනාද
ඒ කතා ඇසුනාද…

 

කුමාරි ප්‍රනාන්දු

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article