2012 වසරේ වැලිකඩ බන්ධනාගාරයට බලහත්කාරයෙන් ඇතුළු වී එහි සිටි රැඳවියන් 27 දෙනෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළව අත්අඩංගුවට ගත් හිටපු බන්ධනාගාර කොමසාරිස් එමිල් රංජන් ළමාහේවා සහ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයේ හිටපු පොලිස් පරීක්ෂක නියෝමාල් රංගජීව යන දෙදෙනා ජූලි 03 දක්වා තවදුරටත් බන්ධනාගාර ගතකරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා ඊයේ (19) නියෝග කර ඇත.
ඊයේ දිනයේදී අධිකරණය හමුවේ කරුණු දක්වමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සදහන් කර ඇත්තේ මෙම සිද්ධියට සම්බන්ධ බවට සැකකරන තවත් පුද්ගලයින් 12 දෙනෙකුගේ තොරතුරු අනාවරණය වී ඇති බවයි. ඒ හේතුවෙන් ඔවුන්ගේ දුරකතන සම්බන්ධ විස්තර ලබාදෙන ලෙස නියෝගයක් නිකුත් කරන ලෙසත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයෙන් ඉල්ලා ඇත. එම ඉල්ලීම සලකා බැලූ අධිකරණය මාසයක කාලයක් ඇතුළත සැකකරුවන්ගේ දුරකතන සම්බන්ධ තොරතුරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත බාරදෙන ලෙස දුරකතන සමාගම් කිහිපයකට නියෝග කර ඇත.