නොවැම්බර් 16 වැනිදා ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජයග්‍රහණය ස්ථිර බවත් ජනාධිපති ගෝඨා – අගමැති මහින්ද සහෝදර සමාගම සිංහල බෞද්ධයාගේ දෛවයේ ලියැවී ඇති දායාදයක් බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී. දිසානායක මහතා පවසනවා. ඒ නිසා නොවැම්බර් 18 වැනිදා වනවිට එස්.බී. දිසානායකලා, මහින්දානන්ද අළුත්ගමගේලා කැබිනට් ඇමතිවරුන් වන නව ආණ්ඩුවක් බිහිවනු ඇති බවයි දිසානායක මහතා සඳහන් කරන්නේ.
එස්.බී. දිසානායක මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේ නාවලපිටිය ප්‍රදේශයේ පැවති රැස්වීමක් අමතමිනි.
මන්ත්‍රීවරයා පවසන්නේ කඩා වැටී තිබෙන රට ගොඩනැගීමට ජනතාවට ලැබුණු තුටු පඬුරක් ලෙස ගෝඨාභය රාජපක්ෂ මහතා හැඳින්විය හැකි බවයි.
පාස්කු ප්‍රහාරයට සම්පූර්ණ වගකිව යුත්තේ වත්මන් ජනාධිපතිවරයා සහ අගමැතිවරයා බවත්, ඔවුන් අතර පැවති ගොං පොරය නිසා බුද්ධි අංශ තොරතුරු ලැබී තිබියදීත් පාස්කු ප්‍රහාරය වලක්වා ගැනීමට නොහැකි වූ බවත් දිසානායක මහතා පවසනවා. ඔවුන් දෙදෙනාගේ ගොං පොරය හේතුවෙන් මේ වනවිට රට අන්තයටම පිරිහී තිබෙන බව ද ඔහු පවසයි.
යම් හෙයකින් ජනතාවගේ අවාසනාවකට හෝ සජිත් ප්‍රේමදාස මහතා ඉදිරි ජනාධිපතිවරණයේදී ජයග්‍රහණය කළහොත් පැවති ගොං පොරය මී ගොං පොරයක් බවට පත්වනු ඇති බැවින්, රටත් ජාතියත් ආගමත් ජනතාවත් බේරා ගැනීම වෙනුවෙන් ගෝඨාභය රාජපක්ෂ මහතා ජයග්‍රහණය කරවීම අනිවාර්යයක් වී ඇති බව ද එස්.බී. දිසානායක මහතා පවසනවා.
(LNW)