Friday, September 20, 2024

රවී ,අරජුන් මහේ්න්ද්‍රන්, අර්ජුන් ඇලෝසියස් ඇතුළු 12ක් අත්අඩංගුවට ගන්නයි වරෙන්තු !

Must read

හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක , හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් , අර්ජුන් ඇලෝෂියස් ඇතුළු 12 දෙනෙකු අත්අඩංගුවට ගැනීම සඳහා නොපමාව වරෙන්තු ලබාගන්නැයි නීතිපතිවරයා වැඩබලන පොලිස්පතිවරයාට අද (03) පස්වරුවේ දැනුම් දුන්නේය.

ඒ 2016 වසරේ මාර්තු මස බැඳුම්කර ගනුදෙනුවලදී සිදුවූ අක්‍රමිකතාවලට අදාළව ඉදිරිපත්ව ඇති කුමන්ත්‍රණය කිරීම, අනුබල දීම, සාවද්‍ය පරිහරණය සහ තමන්ට වාසිදායක වන පරිදි වෙළඳපොල මිල කෘත්‍රිමව ඉහළ දැමීම යන චෝදනා මතයි.

2016 මාර්තු මස 29වනදා සහ 2016 මාර්තු 31 වනදා පැවති බැඳුම්කර වෙන්දේසී වෙළදපොල පාර්ශ්වයින් අතර දැඩි ආන්දෝලනයක් ඇතිකළේ මහබැංකුවේ ණය දෙපාර්තමේන්තුව විසින් මූලික අවස්ථාවේ ලංසු කැඳවූ අගයට වඩා කිහිප ගුණයකින් ඉහළ අගයක තිබූ ලංසු ඉහළ ඵලදායිතා අනුපාතයක් යටතේ භාරගැනීම හේතුවෙන්.

එහිදී පර්පෙචුඅල් ට්‍රෙෂරීස් සමාගමට වාසිදායක වන සේ පාර්ශ්ව කිහිපයක්ම කටයුතු කර ඇති බවට වෙළදපොළ පාර්ශ්වයින්ගෙන් චෝදනා එල්ල විය.

යහපාලන රජය යටතේ 2015 පෙබරවාරි 27 වනදා පැවති බැඳුම්කර වෙන්දේසීය සම්බන්ධයෙන්ද මෙවැනිම චෝදනා එල්ල වී තිබූ පසුබිමක 2016 මාර්තු මාසයේදී පැවති මෙම බැඳුම්කර වෙන්දේසීවල සිදුවූ බව පැවසෙන අක්‍රමිකතා සම්බන්ධයෙන්ද පාර්ශ්ව රැසකින් දැඩි විරෝධයක් එල්ල විය.

කේසේවෙතත් 2016 මාර්තු මස 29 වනදා සහ 2016 මාර්තු මස 31වනදා පැවති බැඳුම්කර වෙන්දේසීවලදී අපරාධමය වැරදි සිදුකර ඇති බවට සැකකරුවන් 12 දෙනෙක් සම්බන්ධයෙන් සාධාරණ සැකයක් මෙන්ම ප්‍රමාණවත් කරුණු ඉදිරිපත් වී ඇති බව නීතිපතිවරයා වැඩබලන පොලිස්පතිවරයාට අද දැනුම් දුන් බව නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිනී රජයේ ජ්‍යෙෂ්ඨ නීතීඥ නිශාරා ජයරත්න මෙනවිය සඳහන් කළේය.

ඒ අනුව පර්පෙචුඅල් ට්‍රෙෂරීස් සමාගම,හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක,හිටපු මහබැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන්, පර්පෙචුඅල් ට්‍රෙෂරීස් හිමිකරු අර්ජුන ඇලෝෂියස් එහි ප්‍රධාන විධායක නිලධාරී කසුන් පලිසේන අර්ජුන ඇලෝෂියස්ගේ පියාවන ජෙෆ්රි ඇලෝෂියස් යන අය සැකකරුවන් ලෙස නම් කළ යුතු බව නීතිපතිවරයා සිය ලිපිය මගින් දැනුම් දී තිබේ.

එමෙන්ම රංජන් හුළුගල්ල,මුත්තුරාජා සුරේන්ද්‍රන්,අජාන් ගාර්දිය පුංචිහේවා, රාජ්‍ය ණය දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ බුද්ධික සරත්චන්ද්‍ර,සංගරපිලේලේ පදුමනාදන්, සේවක අර්ථසාධක අරමුදලේ ඉන්දික සමන් කුමාර යන අයද සැකකරුවන් ලෙස නම් කරන ලෙස නීතිපතිවරයා පොලිස්පතිවරයාට ලබාදුන් උපදෙස්වල සඳහන්.

සැකකරුවන්ට එරෙහිව කුමන්ත්‍රණය කිරීම, අනුබල දීම, සාවද්‍ය පරිහරණය සහ තමන්ට වාසිදායක වන පරිදි වෙළඳපොල මිල කෘතිමව ඉහළ දැමීම යන වැරදී යටතේ ප්‍රමාණවත් කරුණු අනාවරණ වන බවයි නීතීපතිවරයා දැනුම් දී ඇත්තේ.

2016.03.29 පැවති බැඳුම්කර වෙන්දේසියේදී පොදු දේපලක් වූ රුපියල් බිලියන 36.98ක මුහුණත වටිනාකමකින් යුත් බැඳුම්කර සාවද්‍ය පරිහරණය කිරීම සඳහා සෙසු සැකකරුවන් සමග කුමන්ත්‍රණය කිරීම සහ ලංකා බැංකුවේ සහ මහජන බැංකුවේ නියෝජිතයින්ට වංචා කිරීම යන චෝදනා නීතිපතිවරයා විසින් හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතාට එරෙහිව ඉදිරිපත් කර තිබේ.

එමෙන්ම 2016 මාර්තු 31වනදා පැවති බැඳුම්කර වෙන්දේසියේදී පොදු දේපළක් වූ රුපියල් බිලියන 15ක මුහුණත වටිනාකමකින් යුත් බැඳුම්කර සාවද්‍ය පරිහරණය කිරීම සදහා සෙසු සැකකරුවන් සමග කුමන්ත්‍රණය කර ඇති බවට වන චෝදනාවද රවී කරුණානායක මහතාට ඉදිරිපත් කර ඇති තවත් චෝදනාවක් වේ.

ඒ අනුව කුමන්ත්‍රණය කිරීම, වංචා කිරීම, සාවද්‍ය පරිහරණය සහ තමන්ට වාසිදායක වන පරිදි වෙළඳපොල මිල කෘතිමව ඉහළ දැමීම යන චෝදනාවලට අදාළව අපරාධ නඩු විධාන සංග්‍රහ පනතේ ප්‍රතිපාදනයන්ට අනුව නියමිත මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කොට සැකකරුවන් 12 දෙනා අත්අඩංගුවට ගැනීම සඳහා නොපමාව වරෙන්තු ලබාගන්නා ලෙස නීතිපතිවරයා වැඩබලන පොලිස්පතිවරයාට නියෝග කර තිබේ.

(Adaderana)

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article