Saturday, November 23, 2024

යතුර අතට දෙන තොරතුරු පනත

Must read


රජයක් යනු මහජනතාව විසින් තමන් වෙනුවෙන් පත්කර ගන්නා නියෝජිතයන්ගෙන් සැඳුම්ලත් ආයතනයකි. ඒ යටතේ පවතින ආයතන සමූහය මහජන ආයතන වේ. එම මහජන ආයතනවලින් තමාගේ සුබ සිද්ධිය වෙනුවෙන් ගනු ලබන පියවර හා සේවාවන් පිළිබඳ දැනගැනීමේ අයිතිය මහජනතාව සතුවේ.

එකී මහජන ආයතන පවත්වාගෙනයන ආකාරය, ඔවුන් ගනුලබන සුබසාධන ක්‍රියාමාර්ග හා සේවාවන් ගැන, ඒ සඳහා වෙන්කර තිබෙන මුල්‍ය ප්‍රතිපාදන ගැන, රජයේ නිලධාරීන්ට මහජන මුදලින් ලබා දෙන වැටුප්, දීමනා ඇතුළු වරප්‍රසාද ගැන දැනගැනීමේ අයිතිය මහජනතාවට තිබේ. ඒ අනුව එම ආයතනවල සංරක්ෂණය කර තබා තිබෙන තොරතුරු දැනගැනීමටත්, ඒවා පිටපත්කර ලබා ගැනීමටත් මහජනතාවට අයිතියක් ඇත. එම අයිතිය ‘තොරතුරු දැනගැනීමේ අයිතිය’ වශයෙන් හඳුන්වනු ලැබේ.

ලෝකයේ ප්‍රථම තොරතුරු පනත නීතිගතවන්නේ 1766 දී ස්වීඩනයේය. Freedom of press ACT හෙවත් පුවත්පත් නිදහස් පනත ලෙසින් එය හැඳින්වුණි. එමඟින් රජයේ හා පළාත් පාලන ආයතනවල ක්‍රියාකාරකම් බාධාවකින් තොරව සොයා බැලීමේ අයිතිය ජනතාවට හිමිවිය. ඊට පසු 1966 දී අමෙරිකා එක්සත් ජනපදය, 1978 දී ප්‍රංශය, 1980 දී නෙදර්ලන්තය, 1982 දී එංගලන්තය, ඕස්ට්‍රේලියාව හා නවසීලන්තය, 1983 දී කැනඩාව, 1985 දී ඩෙන්මාර්කය, 2001 දී පාකිස්ථානය, 2005 දී ඉන්දියාව, 2007 දී නේපාලය, 2009 දී බංගලාදේශය, මාලදිවයින හා භූතානය ආදී වශයෙන් රටවල් 120 ක් මේ වන විට තොරතුරු දැනගැනීමේ අයිතිය, සිය පුරවැසියාට අණපනත් ඔස්සේ නෛතිකවම ලබා දී තිබෙන අතර එම නාමාවලියට අවසන් වරට එක්වූ රට ශ්‍රී ලංකාවය.

2015 ජනාධිපතිවරණ පොදු අපේක්ෂකයා වූ මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ‘තොරතුරු දැනගැනීමේ අයිතිය’ ප්‍රතිපත්ති ප්‍රකාශනය මඟින් ප්‍රකාශ කරන ලද අතර 2015 මැයි 15 සිට බලාත්මක වූ 19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය මඟින් තොරතුරු දැනගැනීමේ අයිතිය පුරවැසියකු සතු මූලික අයිතිවාසිකමක් ලෙස නීතිගත කරනලදී. සිවිල් සමාජ ක්‍රියාකාරීන් හා විද්වත් කණ්ඩායම් සමඟ කෙරුණ පුළුල් සංවාද තුළින් සකසන ලද 2016 අංක 12 දරන තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ පනත 2016 අගෝස්තු 04 වැනි දා සිට නීතිගත වී තිබේ.

පනත අනුව පුද්ගලයකුට අමාත්‍යාංශ, රාජ්‍ය දෙපාර්තමේන්තු, පළාත්පාලන ආයතන, පොලිසිය, අධිකරණ, රජය මඟින් පිළිගත් හෝ යම්තාක්දුරට රජයේ අරමුදල් ලබන පෞද්ගලික අධ්‍යාපන ආයතන, රාජ්‍ය නොවන සංවිධාන,රජයේ අරමුදල් ලබන උසස් අධ්‍යාපන ආයතන, අර්ධ රාජ්‍ය ආයතන ආදී පොදු අධිකාරීන්ගෙන් අවශ්‍ය තොරතුරු වාචිකව හෝ ලිඛිතව ලබා ගැනීමට පුළුවන.

ඒ සඳහා ලිපි ගොනුවක, වාර්තාවක, සිතියමක, දැන්වීම් පුවරුවක දැන්වීමක හෝ වෙනත් දෙයක තබා ඇති සටහන් ද, ලිපිගොනු, ලෙජර, රෙජිස්ටර්, වාර්තා ආදී ලේඛන ද, ලැබී තිබෙන ලිඛිත සංදේශයන් ද, විද්‍යුත් තැපැල් මඟින් හුවමාරු කරගත් ඕනෑම කරුණක්ද, ලිඛිතව හෝ භෞතිකව කඩදාසියක සටහන්කර හෝ විද්‍යුත් උපකරණ මඟින් සම්ප්‍රේෂණය වන අදහස් හා මතවාද ද, පොදු අධිකාරියකට ලැබී ඇති හෝ බලධරයකු විසින් දී ඇති ලිඛිත උපදේශයන් ද, මාධ්‍ය සඳහා යවා තිබෙන නිල නිවේදන ද, පොදු අධිකාරීන් නිකුත්කර ඇති චක්‍රලේඛ ද, යම් සේවා සංවර්ධන හෝ ක්‍රියාකාරකම්වලට අදාළව පනවා ඇති නියමයන් ද, ලොග් පොත්වල තබා ඇති සටහන් ද, සම්පාදන ගිවිසුම්, අවබෝධතා ගිවිසුම් හා වෙනත් ගිවිසුම් ද පොදු අධිකාරීන් පිළි‍ෙයල කර ඇති වාර්තා ද, ආයතනය විසින් ප්‍රකාශිත ප්‍රකාශන හා පොත් ද, යම් භෞතික නිර්මාණයක හෝ භාණ්ඩයක සාම්පල් ද, භෞතික ද්‍රව්‍ය, නිර්මාණ ආදියෙහි ආදර්ශක ද,පොදු අධිකාරිය විසින් ආයතන, පෞද්ගලික හෝ සංවිධාන අතර හුවමාරු වන ලිපි, ආයතන සතු නීති කෙටුම්පත්, පිඹුරු, සිතියම්, චිත්‍ර, රූප සටහන්, රූපමය හෝ ප්‍රස්ථාරමය නිර්මාණ, ආදියද, ඡායාරූප, සේයාපට, ක්‍ෂුද්‍ර සේයාපට, ශබ්ද පටිගත කිරීම්, වීඩියෝපට, යන්ත්‍ර මඟින් කියැවිය හැකි වාර්තා සහ ආයතන සතුව පවතින මෙම ගණයට ගැනෙන සියලුම දේ තොරතුරු දැනගැනීමේ පනත මඟින් ලබා ගැනීමට අවස්ථාව ලබා දී තිබේ.

පුද්ගලයකු ඉල්ලා සිටිවිට නිලධාරියකුට ලබා නොදී සිටිය හැකි තොරතුරු ද පනතේ සඳහන්කොට තිබේ. රටේ භෞමික අඛණ්ඩතාව හෝ ජාතික ආරක්ෂාවට බරපතළ අගතිදායක වන තොරතුරු, පොදු කටයුත්තකට සම්බන්ධතාවයක් නැති හෝ තනි පුද්ගලයකුගේ පුද්ගලිකත්වය අනවසරයෙන් ආක්‍රමණය කරන්නා වූ තොරතුරු, (එහෙත් එම තොරතුරු හෙළිදරව් කිරීමට අදාළ තැනැත්තා කැමැත්ත ලබා දී ඇත්නම් හෝ එකී හෙළිදරව් කිරීම විශාල ලෙස මහජන සුබ සිද්ධියට හේතු වේනම් එකී තොරතුර හෙළිදරව් කළ හැකිය) අන්තර්ජාතික ගිවිසුම් මඟින් හෝ රජයක් විසින් හෝ රහසිගතව ලබා දුන් හෝ ලබා ගත් තොරතුරු, කලින් හෙළිදරව් වීමෙන් රජයේ ආර්ථික හෝ මුල්‍ය ප්‍රතිපත්තිවලට බලපෑම මඟින් ආර්ථිකයට බරපතල අගතියක් සිදුවිය හැකි විනිමය අනුප්‍රමාණ හා විදේශ ගනුදෙනු බැංකු හෝ ණය කටයුතු විධිමත් කිරීම බදු පැනවීම ආදී කරුණු, 2003 අංක 26 දරන බුද්ධිමය දේපළ පනත යටතේ ආරක්ෂා කර ඇති වාණිජ හෝ වෙළෙඳ, රහස්, බුද්ධිමය දේපළ තොරතුරු, යම් තැනැත්තකුගේ වෛද්‍ය වාර්තා හෙලිදරව් කිරීමට, (එම තැනැත්තා අවසර දී ඇත්නම් ගැටලුවක් නැත) නීතිපතිවරයා හෝ ඔහුගේ නිලධාරීන් හෝ වෘත්තිකයන් විසින් පොදු අධිකාරියක් අතර සන්නිවේදනය වූ තොරතුරු, භාරකාර සබඳතාමත රහසිගතවන තොරතුරු, අපරාධ වැළැත්වීම හා වරදකරුවන් අල්ලා ගැනීම හෝ නඩු පැවරීමට අගතියක්වන තොරතුරු, නීති බලගැන්වීමට හෝ ජාතික ආරක්ෂාවට අදාළ රහසිගත මූලාශ්‍රවල අනන්‍යතාවය හෙළිවන තොරතුරු, තෙවන පාර්ශ්වයක් රහසිගතව සපයා ඇති හා හෙළිදරව් කිරීමට එම පාර්ශ්වය අනුමැතිය ලබා දී නොමැති තොරතුරු, අධිකරණයට අපහාස වන ‍හෝ අධිකරණ බලයට බලපෑමක් වන තොරතුරු, පාර්ලිමේන්තු හෝ පළාත් සභා වරප්‍රසාද උල්ලංඝනය කිරීමක් වන තොරතුරු, විභාග දෙපාර්තමේන්තුව හෝ උසස් අධ්‍යාපන ආයතනවල රහසිගත විභාග තොරතුරු, තීරණයක් ගෙන නැති අමාත්‍ය මණ්ඩල සංදේශ තොරතුරු, මැතිවරණ නීති මඟින් රහසිගතව තැබිය යුතු යැයි නියමිත තොරතුරු යම් පුරවැසියකු විසින් ඉල්ලා සිටින විට තොරතුරු නිලධාරියකුට එකී තොරතුරු ලබාදීම ප්‍රතික්ෂේප කළ හැකිය. එවැනි තොරතුරු හෙළිදරව් කිරීමෙන් මුක්තකොට ඇති තොරතුරුවලට අයත්වේ.

යම් පුරවැසියකුට ආකාර කීපයකින් තොරතුරු ලබා ගත හැකිය. යම් වැඩ බිමක හෝ ස්ථානයක කෙරෙන කාර්ය නිරීක්ෂණය කළ හැකිය. යම් ලේඛනයක්, වාර්තාවක්, ලිපි ගොනුවක් කියවා බලා පරීක්ෂා කිරීමේ අයිතිය තිබෙන අතර අදාළ ලේඛන හෝ වාර්තාවලින් සටහන් හෝ උද්ධෘත පිටපත් කරගත හැකිය. ලේඛන හෝ වාර්තාවල අඩංගු ලියවිලිවලින් සහතික කළ පිටපත් ලබා ගැනීමටද පුළුවන්කම ඇත. ගබඩා භාණ්ඩයක්, කොන්ක්‍රීට් මිශ්‍රණ සාම්පලයක් නිෂ්පාදන හෝ නිර්මිතයක සාම්පලයක්, සීල් කර තැබූ සාම්පලයක් ආදී වශයෙන් ඕනෑම ද්‍රව්‍යයක සහතිකකළ නිදර්ශක ලබා ගැනීමේ අයිතිය ඇත. පරිගණකයක හෝ වෙනත් උපාංගයක තොරතුරු ගබඩාකර ඇති අවස්ථාවක ‍ෆ්ලොපි ඩිස්කට් දෘෂ්‍ය කැසට්පට හෝ වෙනත් විද්‍යුත් ක්‍රමය කින් (CD.DVD,PENDRIVE) හෝ මුද්‍රිත පිටපත් වශයෙන් ද ලබා ගැනීමේ නීතිමය අයිතිය හිමි වී තිබේ.

පුරවැසියකු අයැදුම්පතකින්, ලිපියකින්, විද්යුත් තැපෑලෙන් හෝ වාචිකව තොරතුරු ඉල්ලා සිටීනම්, සුපරික්ෂාකාරීව සළකා බලා අදාළ නිලධාරියා විසින් එය ලබා දිය යුතුය. පුරවැසියා කර ඇති ඉල්ලීම අපහැදිලිනම් නිලධාරියා විසින් එය පැහැදිලි කරගත යුතුය. යම් හෙයකින් ඉල්ලා සිටින ආකාරයට තොරතුරු සැපයිය නොහැකිනම්, එම තොරතුරු ලබාදීමේ විකල්ප ක්‍රමයක් පුරවැසියා සමඟ සාකච්ඡා කිරීම අදාළ නිලධාරියාගේ වගකීමකි. හෙළිදරව් කිරීමෙන් මුක්ත කර ඇති තොරතුරු හැර, ප්‍රවේශය ලබාදිය හැකි තොරතුරු සැපයීමටත්, අයැදුම්පතෙහි හෝ ඉල්ලා ඇති ආකාරයේ අඩු පාඩු හෝ අවිධිමත් බව මත කිසිම ඉල්ලීමක් ප්‍රතික්ෂේප නොකිරීමටත් අදාළ නිලධාරියා බැඳී සිටියි. එවැනි අවස්ථාවක එම පුරවැසියා සමඟ සාකච්ඡාකර කෙසේ හෝ අවශ්‍ය තොරතුරු ලබාදීම නිලධාරියාගේ වගකීමකි.

යම් පුරවැසියකු මුක්ත නොවූ තොරතුරුක් ඉල්ලා සිටි විට එම ඉල්ලීම RTI – 03 දරන ලේඛනයේ ලියාපදිංචිකොට කාර්යාල වැඩ දින 14ක් ඇතුළත තොරතුරු සැපයිය හැකි බව හා ඒ සඳහා අදාළවන මුද්‍රණ ගාස්තු පිළිබඳ දන්වා යැවිය යුතුය. තොරතුරු ලබාදිය නොහැකි කරුණක් නම් එයද දන්වා සිටීම කළයුතුය.

තොරතුරු ලබා දීමට තීරණය කළේනම් එදින සිට දින 14ක් තුළ අදාළ ගාස්තු අයකර තොරතුරු ලබාදීම කළයුතුවේ. කිසිදු තොරතුරු අයදුම්පතක් සමඟ ගාස්තු ගෙවීමක් සිදුනොවන අතර තොරතුරු ලබාදීමේදී වැයවන මුද්‍රණ වියදම් හා පිටපත් කිරීම් වියදම් පමණක් අදාළ පුරවැසියා විසින් ගෙවිය යුතු වේ.

තොරතුරු ලබා ගැනීමට කරන ඉල්ලීම පුරවැසියකුගේ ජීවිතය හා පුද්ගලික නිදහස ආරක්ෂා කිරීම උදෙසා අත්‍යාවශ්‍ය බව සනාථ කර තිබේනම් එම ඉල්ලීම සාධාරණ බව තොරතුරු නිලධාරියාට ඒත්තු යන්නේනම් ඉල්ලීම ලැබී පැය 48 ක් ඇතුළත එය ඉටුකළ යුතුය. තවද පුරවැසියකු විසින් කළ ඉල්ලීමට විශාල වාර්තා ප්‍රමාණයක් අයත් වේනම්, පොදු අධිකාරියේ කටයුතුවලට අසාධාරණ මැදිහත්වීමක් වේනම් හෝ වෙනත් කාර්යාලයක වාර්තා ලබා ගැනීමක් හෝ සොයා බැලීමකට අවශ්‍ය වේනම් පමාවීමට හේතු හා ලබාදීමට හැකි කාලසීමාව අයැදුම්කරුට දන්වා සිටිය යුතුවේ.

ඉල්ලා සිටි තොරතුරක් හෝ ඒ හා බැඳි විස්තරයක් අදාළ දින ගණන තුළ යම් පුරවැසියකුට නොලැබුණහොත් හෝ තොරතුරු ඉල්ලීමක් භාර ගැනීම අදාළ නිලධාරියා ප්‍රතික්ෂේප කිරීම හෝ තොරතුරු පනත මඟින් නිෂ්චිතව දක්වා ඇති කාලසීමාවන්ට අනුකූල නොවීම, සම්පූර්ණ නොවූ නොමඟ යවන, සාවද්‍ය තොරතුරු ලබාදීම, වැඩිපුර ගාස්තු අයකිරීම, ඉල්ලා සිටින ආකෘතියෙන් තොරතුරු සැපයීම නිලධාරියා විසින් ප්‍රතික්ෂේප කිරීම, එම තොරතුරුවෙත පුරවැසියා ප්‍රවේශ වීම වැළැක්වීම සඳහා තොරතුරු විකෘති කර, විනාශ කර හෝ අස්ථානගත කර ඇති බව පවසා අයැදුම්කරු නොමඟ යැවීම වැනි හේතු පිළිබඳ තොරතුරු නිලධාරියාට එරෙහිව නීතියානුකූල ක්‍රියාමාර්ග ගැනීමට පුරවැසියාට අවස්ථාව තිබේ.

ඒ සඳහා තොරතුරු ඉල්ලා දින 14ක් ඇතුළත තොරතුරු හෝ ඒ සම්බන්ධව ලියැවිල්ලක් නොලැබුණි නම් හෝ අදාළ නිලධාරියා රාජකාරිය පිළිබඳ අයැදුම්කරුවා සෑහීමට පත් නොවුණිනම් දින 14ක් තුළ අදාළ ආයතනයේ නම්කළ නිලධාරියාට අභියාචනයක් ඉදිරිපත් කළ හැකිය. ඒ සඳහා දින තුනක් ඇතුළත නම් කළ නිලධාරියා අභියාචනාකරුට එය භාරගත් බවට කුවිතාන්සියක් නිකුත් කළ යුතුය.

මෙහිදී නම්කළ නිලධාරියා විසින් එය විමර්ශනය කර සති තුනක් ඇතුළත පැහැදිලි සවිස්තරාත්මක පිළිතුරක් ලබාදීම කළයුතු වේ. තමාගේ අභියාචනයට සාධාරණ විසඳුමක් ලැබී නැත්නම් හෝ අභියාචනයට නියමිත කාලය ඇතුළත පිළිතුරු ලබාදී නොමැති හෝ වැරදි පිළිතුරක් ලබා දී ඇති විටෙක පුරවැසියාට මාස 2ක් ඇතුළත ඊට එරෙහිව කොමිෂන් සභාවට පැමිණිලි කිරීමේ හැකියාව තිබේ. ඒ අනුව කොමිෂන් සභාව විසින් නිසි පරිදි පරීක්ෂණ පවත්වා ස්වකීය තීරණ සඳහා හේතු ලිඛිතව ඉදිරිපත් කරනු ඇත.

යම් හෙයකින් ‍කොමිසම් සභාව ලබා දෙන තීරණ ගැන පුරවැසි පාර්ශ්වය අතෘප්තිමත් නම්, ඊට එරෙහිව දින 14ක් ඇතුළත අභියාචනාධිකරණයට අභියාචනයක් ඉදිරිපත් කිරීමට ද හැකියාව ඇත.

තොරතුරු දැනගැනීමේ අයිතිය සුළුවෙන් තැකිය යුතු නොවන අතර ජනතාව විසින් එහි නිසි ප්‍රයෝජන ලබාගන්නේ නම් රටේ දූෂණ, අක්‍රමිකතා බො‍හෝ අඩු වී සියල්ල විනිවිද භාවයෙන් සිදුවනු ඇත. තොරතුරු දැනගැනීමේ අයිතිය හා එහි නෛතිකභාවය පිළිබඳ විස්තර www.rti.gov.lkවෙබ් අඩවියට පිවිසීමෙන් දැනගැනීමේ හැකියාව ඇත.

සටහන
නිශාන් මෙන්ඩිස්
දුමින්ද සම්පත්
www.dinamina.lk

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article