රාජ්ය බුද්ධි අංශයේ පොලිස් කොස්තාපල්වරයකුට හිමි තෑගි වවුචරයක් අත්සන් කර ලබා දීම සඳහා රුපියල් තුන්දහස් හයසිය හතළිහක් වටිනා මත්පැන් බෝතලයක් ඉල්ලූ බව කියන කොළඹ ප්රධාන මහේස්ත්රාත් අධිකරණයේ අංක 07 මහේස්ත්රාත් අධිකරණයේ උසාවි කටයුතු භාර නිලධාරියා සහ පිරිසිදු කරන්නකු ලබන 4 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසට කොළඹ ප්රධාන මහේස්ත්රාත් තිළිණ ගමගේ මහතා ඊයේ (27) නියෝග කළේය.
මෙලෙස රක්ෂිත බන්ධනාගාරගත කරනු ලැබ තිබුණේ අංක හත මහේස්ත්රාත් අධිකරණයේ පිරිසිදු කරන අංශයේ සේවකයකු වන මොහොමඩ් ඉස්මයිල් සහ එම අධිකරණයේ උසාවි රාජකාරි කටයුතු භාර පොලිස් සැරයන් සරත් ප්
මෙම සිද්ධියට අදාළව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කරනු ලැබ තිබුණේ රාජ්ය බුද්ධි අංශයේ පොලිස් කොස්තාපල්වරයෙකි.
බීමත් රියැදුරන් අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් වන තෑගි මුදල් ලබාගැනීම සඳහා වන වවුචර් පත් සකස් කර ඒවා උසාවි භාර නිලධාරියාගේ අත්සන ලබා ගැනීම සඳහා පැමිණිලිකාර පොලිස් නිලධාරියා අලුත්කඩේ අංක 7 අධිකරණයේ උසාවි කටයුතු භාර පොලිස් නිලධාරියාට ලබාදී ඇති බවත් ඒවා අත්සන් නොකිරීම සම්බන්ධයෙන් විමසීම සඳහා ඉකුත් 18 වැනිදා අධිකරණයට ගොස් ඇති බවත් අල්ලස් කොමිසම අධිකරණයට දැනුම් දුන්නේය.
එහිදී අධිකරණයේ සිටි වැලිකඩ පොලිස් ස්ථානයේ අධිකරණ කටයුතු භාර පොලිස් කොස්තාපල්වරයා පැමිණිලිකරුට දන්වා ඇත්තේ අංක හත මහේස්ත්රාත් අධිකරණයේ නිලධාරින් හට අරක්කු බෝතල් දෙකක් පමණ දී එම අත්සන ලබා ගන්නා ලෙසට බව අල්ලස් කොමිසම අධිකරණයට කරුණු ඉදිරිපත් කළේය.
පසුව පැමිණිලිකරු නැවත ඉකුත් 26 වැනිදා අධිකරණයට ගොස් තෑගි වවුචර්පත් පිළිබඳව සැකකාර පොලිස් කොස්තාපල්වරයාගෙන් විමසා සිට ඇති අතර, එහිදී මත්පැන් බෝතලය සම්බන්ධයෙන් නැවත විමසීමක් කර ඇති බවත් පසුව පැමිණිලිකරු තම කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති බවත් අල්ලස් කොමිසම අධිකරණයට දැනුම් දුන්නේය.
ඒ අනුව පැමිණිලිකරු කළ පැමිණිල්ලට අනුව උපායදූතයකු යොදවා මත්පැන් බෝතලය ලබාදෙන අවස්ථාවේදී සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගත් බව ද එම කොමිසම අධිකරණයට කරුණු ඉදිරිපත් කළේය. ඉදිරිපත් වූ කරුණු සැලකිල්ලට ගත් අධිකරණය සැකකරුවන් ලබන 04 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර එදින තෙක් නඩුව කල් තැබීය.