Friday, September 20, 2024

ක්‍රීඩා පනතේ 13 වන වගන්තිය යටතේ හිටපු ක්‍රීඩා ඇමතිට එරෙහිව නඩු පැවරිය යුතුයි – නීතිවේදීන් කියයි

Must read

2011 ලෝක කුසලාන අවසන් ක්‍රිකට් මහ තරගය පාවා දුන් බවට පසුගියදා ආන්දෝලනාත්මක ප්‍රකාශයක් සිදුකොට ඒ සම්බන්ධයෙන් සාක්ෂි ඇති බව කියූ හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ නැගූ චෝදනා ඔප්පු කිරිමට සාක්ෂි නොමැති බව ක්‍රීඩා වැරදි පිළිබඳව පොලිස් විශේෂ විමර්ශන ඒකකය අද සඳහන් කළා.

ලෝක කුසලාන තරග පාවාදීමේ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු ක්‍රීඩා ඇමතිවරයා නැගු චෝදනාවට අදාලව සිදුකළ විමර්ශන නතර කිරිමට ක්‍රීඩා වැරදි පිළිබඳව පොලිස් විශේෂ විමර්ශන ඒකකය අද තීරණය කලේ එවැනි පසුබිමක් යටතේය.

කෙසේ වුවත් හිටපු ක්‍රීඩා ඇමතිවරයා නව ක්‍රීඩා පනතේ ඇති වගන්ති සම්බන්ධයෙන් දැනුවත් ද යන්න ගැන හිටපු ක්‍රීඩා ඇමති හරින් ප්‍රනාන්දු විමසා සිටියා. ඒ සිය ෆේස්බුක් ගිණුම ඔස්සේ සටහනක් තබමින්.

නව ක්‍රීඩා පනත යටතේ සිදුකරනු ලබන විමර්ශන වලට අදාලව අසත්‍ය තොරතුරු සපයන පුද්ගලයෙකුට වසර 03 ක කාලයක් සිර දඬුවම් ලබා දීමට හැකි බවට එම පනතේ සඳහන්ව තිබෙනවා.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් නිතිඥ තිස්ය වේරගොඩ මෙසේ ප්‍රකාශ කළා.

” මේ තියෙන්නේ 2019 අංක 24 දරන ක්‍රීඩාවලට සම්බන්ධ වැරදි වැලැක්වීමේ පනතේ 13 වන වගන්තිය.

“මේ පනතේ 16 වන වගන්තිය යටතේ හෙළිදරව් කරනු ලබන යම් තොරතුරක ඇතුලත් යම් චොදනාවක අන්තර්ගතය සාවද්‍ය බව දැන දැනම හෝ, ඒ චෝදනාව සත්‍ය නොවන බව විශ්වාස කිරීමට හේතු තිබිය දී ඒ තොරතුර මගින් යම් සාවද්‍ය චෝදනාවක් කරන යම් තැනැත්තකු මේ පනත යටතේ වරදක් සිදු කරන අතරල මහෙස්ත්‍රාත්වරයකු විසින් වරදකරු කරනු ලැබීමේ දී රුපියල් ලක්ෂ එකකට වැඩි නොවන දඩයකට හෝ අවුරුදු තුනක් නො ඉක්මවන කාලයක් සඳහා බන්ධනාගාරගත කිරීමකට හෝ ඒ දඩය සහ බනධනාගාරගත කිරීම යන දඬුවම් දෙකට ම හෝ යටත් විය යුතුය.”

16 වන වගන්තියේ දක්වා ඇත්තේ තරඟ පාවාදීම් අනීතික ඔට්ටු ඇල්ලීම් ආදිය පිළිඹඳව කරනු ලැබෙන පැමිණිලි ගැන. ඉතිං මහින්දානන්ද හිටපු ඇමතිතුමා කලේ එවැනි පැමිණිල්ලක්. දැන් විමර්ශණ කණ්ඩායම කියනවා ඒ පැමිණිල්ල ඔප්පුකරන්න සාධක නෑ කියලා. එහෙමනම් ඔය විමර්ෂණ කණ්ඩායම දැන් පනතේ 13 වන වගන්තිය යටතේ හිටපු ඇමතිතුමාට එරෙහිව නඩු පැවරිය යුතුයි. එහෙම නැතිනම් මේ විමර්ෂණය දේශපාලන උවමනාවකට කරපු දඩයමක් බවට හොඳටම පැහැදිලි වෙනවා. මීට අවුරුද්දකට කලින් එතුමාත් පාර්ලිමේන්තු මංත්‍රීවරයෙක් වෙලා හිටපු කාලේ හදපු නීතියක් නිසා එතුමා මේක ගැන නොදන්නවා කියන්නත් බෑනේ”.

(Newswire)

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article