එළඹෙන නත්තල නිමිත්තෙන් හා 2020 නව වසර උදාව නිමිත්තෙන් කොළඹ සිට සිය ගම්බිම් බලා ගමන් කරන මගී ජනතාවගේ පහසුව සදහා ලංකා ගමනාගමන මණ්ඩලය, ශ්‍රී ලංකා දුම්රිය සේවය මෙන්ම අධිවේගී මාර්ග වල ප්‍රවාහන සේවා ශක්තිමත් කරන ලෙස ප්‍රවාහන කළමනාකරණ, විදුලිබල හා බලශක්ති අමාත්‍ය මහින්ද අමරවීර මහතා නිලධාරීන්ට දැනුම් දී ඇති බව වාර්තා වෙයි.
ඒ අනුව කොළඹ සිට දිවයිනේ සෑම ප්රදේශයකටම අමතර බසු රථ යෙදවීමට තීරණය කර ඇති අතර අධිවේගී මාර්ගයේ මාකුඹුර, කොට්ටාව, කඩවත, කඩුවෙළ, මාතර, ගාල්ල, මීගමුව, පර්යන්තර කරා උත්සව සමයේ උපරිම බස් රථ සේවාවක් යෙදවීමට කටයුතු යොදා තිබේ.
පවතින අයහපත් කාලගුණ තත්වය හේතුවෙන් දුම්රිය ගමනාගමනයට බාධා ඇති වුවහොත් ඒ සදහා අමතර බස් රථ යෙදවීමටද කටයුතු යොදා ඇත. විශේෂ සුඛෝපපභෝගී දුම්රියක් 23වනදා සිට කොළඹ නුවර දක්වා ධාවනය වන අතර 24,27 හා 29 යන දිනයන්හි දී බදුල්ල සිට කොළඹ දක්වාත්, කොළඹ සිට බදුල්ල දක්වාත් දුම්රිය ධාවනය වීමට නියමිතය.