අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව සහ කැෆේ සංවිධානය ඒකාබද්ධව සංවිධානය කරනු ලබන අල්ලස හා දූෂණය තුරන් කිරීමේ ජාතික වැඩසටහන යටතේ වන මහජනයා දැනුවත් කිරීමේ වැඩසටහන යාපනයෙන් ඊයේ (18) ආරම්භ විය.
මෙම වැඩසටහනට එක්වෙමින් අදහස් දැක්වූ කැෆේ සංවිධානයේ වැඩබලන විධායක අධ්යක්ෂ අහමඩ් මනාස් මකීන් මහතා සදහන් කර සිටියේ අල්ලස හා දූෂණය තුරන් කිරීම සදහා මහජන සහය අත්‍යවශ්‍ය බවයි. අල්ලස් හා දුෂණය පිළිකාවක් ලෙස සමාජය පුරා සීඝ්රයෙන් වර්ධනය වන බවත් එය වළක්වා ගැනීම සියලු දෙනාගේ යුතුකම බවත් අවධාරණය කල ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේ තම දරු දැරියන්ගේ අනාගතය වෙනුවෙන් හෙට දවසේ ඔවුන්ට උරුම වන්නේ අල්ලසින් හා දුෂණයෙන් පිරි සමාජයක් නම් එය බරපතල තත්වයක් බවයි. එමෙන්ම අල්ලස් හෝ දුෂණ සිදුවීමක් පිළිබඳ දැන දැන නිහඩව සිටීම රටට සමාජයට කරන බරපතලම හානිය බව අවධාරණය කළ මනාස් මකීන් මහතා කියා සිටියේ නාමිකව පැමිණිලි ඉදිරිපත් කළ නොහැකි නම් නිර්නාමිකව වුව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම වෙත සත්‍ය පැමිණිලි ඉදිරිපත් කළ හැකි බවයි. ඒ සදහා 1954 නැමති දුරකථන අංකය ඔස්සේ භාෂා තුනෙන්ම පැමිණිලි ඉදිරිපත් කල හැකි ක්‍රමයක් සකස් කර ඇති බවත් ඒ සදහා වන ජනතා උනන්දුව වර්ධනය විය යුතුව ඇති බවත් හෙතෙම අවධාරණය කළේය.
කැෆේ සංවිධානය සහ අල්ලස් හෝ දුෂණ විමර්ෂණ කොමිසම පසුගිය මාස 6ක් පුරා උතුර නැගෙනහිර හා මධ්‍යම යන පළාත්වල සෑම දිස්ත්‍රික්කයක්ම ආවරණය වන පරිදි රාජ්‍ය නිලධාරීන්, සිවිල් ක්‍රියාධරයින්, සහ දේශපාලන නායකයින් අල්ලස් හෝ දුෂණ මර්ධනය පිළිබඳ දැනුවත් කළ අතර එහි දෙවන පියවර යටතේ මහජනයා දැනුවත් කිරීමට අපේක්ෂිතය.
යාපනය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී ඊයේ(18) මෙම වැඩසටහනට පළාත් පාලන නියෝජිතවරියන්, සහ රාජ්‍ය නිලධාරින් ඇතුළු 300කට අධික පිරිසක් එක්වූහ.