Thursday, November 28, 2024

MCC ගිසුමෙන් මාර සුරංගනා ලෝකයක් හැදෙන්නෙත් නැහැ… බිල්ලෙක් හැදෙන්නෙත් නැහැ…

Must read

“‘මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන්’ එම්.සී.සී. කියන ගිවිසුම අත්සන් කරන මංගල සමරවීරලා ඇතුළු සජිත් ප්‍රේමදාසගේ කඳවුර කියනවා මේක මාර ගිවිසුමක්. මේකෙන් අපිට රුපියල් මිලියන 88,000ක් ලැබෙනවා කියලා. අපේ රටේ මාර්ග සංවර්ධනය උතුරා යනවා කියලා. ගිවිසුම ප්‍රතික්ෂේප කරන මහින්ද රාජපක්ෂගේ පාර්ශ්වය කියනවා, ඒ කියන්නේ රාජපක්ෂලගේ කසකරුවෝ කියනවා මේ ගිවිසුමෙන් අක්කර විසිලක්ෂයක වගේ විශාල ප්‍රමානයක් පර්චස් එක රුපියල් 180 ගානේ ඇමෙරිකාවට පවරන්න හදන්නේ. ලංකාව මැදින් තාප්පවලින් වෙන්කරපු කොරිඩෝවක් හදනවලු කියලා පට්ටපල් බොරු කථාවක්. මේ දෙකම බොරු. මේ ගිවිසුමේ තිබෙන වර්ගයේ මාර සුරංගනා ලෝකයක් හැදෙන්නෙත් නැහැ. අර පෙන්වන වර්ගයේ බිල්ලෙක් හැදෙන්නෙත් නැහැ.

.” යැයි ජාතික ජන බලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කරයි.

ඒ මහතා මේ බව අවධාරනය කර සිටියේ ඊයේ (06) අනුරාධපුර නගරයේ පැවති ජන රැලිය අමතමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජාතික ජන බලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා

“මේ මැතිවරණ සමයත් එක්ක දැන් අලුත් සාකච්ඡාවක් පටන් අරගෙන. ඒ තමයි ඇමෙරිකා එක්සත් ජනපදයත් එක්ක අත්සන් කරන්න යනවයි කියන ‘මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන්’ එම්.සී.සී. කියන ගිවිසුම. මේ ගිවිසුම මොකක්ද? ඒ ගැන අපේ ස්ථාවරය කුමක්ද කියලා බොහෝ දෙනෙක් මගෙන් අහනවා. අපේ පක්ෂයේ ප්‍රධාන ලේකම් සහෝදරයා, පසුගිය 03 වැනිදා මාධ්‍ය සාකච්ඡාවක් තබලා මේ ගිවිසුම පිළිබඳව අපේ ස්ථාවරය පැහැදිලි කළා. ඊට පසුව අපේ බිමල් රත්නායක සහෝදරයා මාධ්‍ය සාකච්ඡාවක් තියලා මේ ගිවිසුමේ අඩංගුව ගැනත් ඒ පිළිබඳ අපේ ස්ථාවරයත් පැහැදිලි කළා.

දේශපාලන ව්‍යාපාරයක් වන අපි රටවල් අතර, රටක් තව රටක් අතර අත්සන් කරන ද්විපාර්ශ්වික ගිවිසුම් හෝ රටවල් ගණනාවක් සමග අත්සන් කරන බහු පාර්ශ්වීය ගිවිසුම් ප්‍රතික්ෂේප කරන්නේ නැහැ. අපි සෑම ගිවිසුමකටම අපේ විවේචනය, අපේ ප්‍රතික්ෂේප කිරීම හෝ අනුමත කිරීම කරනු ලබන්නේ එම ගිවිසුමේ තිබෙන අඩංගුවට අනුවයි. ඒ අනුව ගත්තොත් චන්ද්‍රිකා කුමාරණතුංග මැතිණිය තමන්ගේ පාලන කාලයේදී ඇමෙරිකාවත් එක්ක අත්සන් කළා ‘සෝෆා’ කියන ගිවිසුම. ඒ ගිවිසුම එසේ තිබියදීම, මහින්ද රාජපක්ෂ මහත්මයා අවුරුදු 10ක් රට පාලනය කළා. අපි දකිනවා ඒ ගිවිසුම රටට අහිතකර ගිවිසුමක්. 2007 ඇමෙරිකන් එක්සත් ජනපදයත් ශ්‍රී ලංකාවත් අතර ආරක්ෂක ගිවිසුමක් අත්සන් කළා. ඒක අත්සන් කළේ ඒ කාලේ ඇමෙරිකානු තානාපති, රොබට් ඕ බ්ලේක් මහතාත්, අපේ රටේ ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් ගෝඨාභය මහතාත් යන දෙදෙනා අතරයි. ඒක ශ්‍රී ලංකාව සහ ඇමෙරිකාව අතර ගිවිසුමක්. අන්තිමට අත්සන් කරලා තිබෙන්නේ ඇමෙරිකන්කාරයෝම දෙන්නෙක්. ඒ ගිවිසුමෙන් ඇමෙරිකාවට අවස්ථාව ලැබුණා මේ කලාපයේ ඇතිවන ඕනෑම යුද්ධයකදී ඇමෙරිකාව ඊට මැදිහත් වෙනවා නම් ඇමෙරිකන් හමුදාවට, අපේ ගුවන, අපේ ගොඩබිම, අපේ මුහුද ලබාදිය යුතුයි. ආහාර, ජලය, තෙල් වැනි යටිතල පහසුකම් ද සැපයිය යුතුයි. ඒක ඉතාමත් අහිතකර ගිවිසුමක්. ඒක ඇමෙරිකන් එක්සත් ජනපදය ලෝකයේ ඇති කරගන්නා ලද ඒ වර්ගයේ පළමු ගිවිසුම. යුද්ධයකදී නිතැතින්ම ඒ ගිවිසුම අනුව, අපි ඇමෙරිකන් පාර්ශ්වය වෙනවා.

මෙම ගිවිසුමට විරුද්ධව 2007 ගිවිසුම අත්සන් කරන්න පෙර සිටම අපි ඒ ගැන ජනතාව දැනුවත් කළා. පාර්ලිමේන්තුව තුළත් පිටතත් අපි විරෝධය පෑවා. උද්ඝෝෂණ කළා. ඒ ගිවිසුමට අවුරුදු 10ක් පිරුණු විට ඒ කියන්නේ 2017 දී නැවත රනිල්ගේ ආණ්ඩුව එම ගිවිසුම දීර්ඝ කිරීමේ ගිවිසුමක් අත්සන් කළා. ඒකටත් අපි එරෙහිව කටයුතු කළා. ඒ අතර ඊට පෙර අත්සන් කරන ලද සෝෆා ගිවිසුමට තවත් වගන්ති ඇතුළත් කරලා අලුත් සෝෆා ගිවිසුමක් අත්සන් කිරීමටත් රනිල් වික්‍රමසිංහ කැසකවමින් ඉන්නවා. අපි ඒ ගැන පාර්ලිමේන්තුවේ ලොකු විරෝධතාවක් පටන් අරගෙන තිබෙනවා. ඒ අතරතුර තමයි මේ මිලේනියම් ගිවිසුම අත්සන් කරන්න යන්නේ. මේ ගිවිසුම ගැන දෙපැත්තක විශාල සාකච්ඡාවක් ඇතිවී තිබෙනවා. ගිවිසුම අත්සන් කරන මංගල සමරවීරලා ඇතුළු සජිත් ප්‍රේමදාසගේ කඳවුර කියනවා මේක මාර ගිවිසුමක්. මේකෙන් අපිට රුපියල් මිලියන 88,000ක් ලැබෙනවා කියලා. අපේ රටේ මාර්ග සංවර්ධනය උතුරා යනවා කියලා. ගිවිසුම ප්‍රතික්ෂේප කරන මහින්ද රාජපක්ෂගේ පාර්ශ්වය කියනවා, ඒ කියන්නේ රාජපක්ෂලගේ කසකරුවෝ කියනවා මේ ගිවිසුමෙන් අක්කර විසිලක්ෂයක වගේ විශාල ප්‍රමානයක් පර්චස් එක රුපියල් 180 ගානේ ඇමෙරිකාවට පවරන්න හදන්නේ. ලංකාව මැදින් තාප්පවලින් වෙන්කරපු කොරිඩෝවක් හදනවලු කියලා පට්ටපල් බොරු කථාවක්. මේ දෙකම බොරු. මේ ගිවිසුමේ තිබෙන වර්ගයේ මාර සුරංගනා ලෝකයක් හැදෙන්නෙත් නැහැ. අර පෙන්වන වර්ගයේ බිල්ලෙක් හැදෙන්නෙත් නැහැ.

මේ ගිවිසුවේ ඩොලර් මිලියන 400 ලබාදීම සඳහා ප්‍රධාන යෝජනා 03ක් තිබෙනවා. එකක් රටේ ප්‍රවාහන පද්ධතිය දියුණු කිරිම සඳහා මුදල් සැපයීම. දෙක අපේ මාර්ග පද්ධතියට යම් මුදල් ප්‍රමාණයක් සැපයීම. තුන අපේ රටේ ඉඩම් නීති ප්‍රතිසංස්කරණය. අපේ ප්‍රශ්නය තිබෙන්නේ අන්න ඒකත් එක්ක. අපේ රටේ ඉඩම් නීතිය වෙනස්කරන්න කියලා ඇමෙරිකාව අපට සල්ලි දෙනවා. එතන ප්‍රශ්නයක් තිබෙනවා. අපේ රටේ ඉඩම් නීතිවල ප්‍රශ්නයක් තිබෙනවා. අපේ රටේ ඉඩම් නීති පනත් 1930 ගණන්වල ඒව. අවුරුදු 90කට වඩා පැරණි ඉඩම් පනත් තිබෙන්නේ. ඒ නිසා ඉඩම්වල නිරවුල්නොවීමේ ගැටලුවක් තිබෙනවා. ගොවි ජනතාව තම ඉඩම් නිරවුල් කර ගැනීම සඳහා විශාල ප්‍රයත්නයක යෙදී සිටිනවා. මේ රටේ ඉඩම් හිමිකම බොහෝ විට පැවරී යන්නේ පිරිමි දරුවන් අතරේ පමණයි. දුවෙකුට ඉඩම් හිමිකම නැහැ. ඒක අසාධාරණයි. ඒ නිසා මේ ඉඩම්වල තිබෙන සංකීර්ණතාවය ලිහිල්වෙන්න ඕනැ. ඒ වගේම අපි තේරුම් ගන්න ඕන අපේ රටේ තාම අපේ ගම්වල ඉන්න ජනතාවට මොනතරම් දේපොළ නැතත් ඉඩමක් තිබෙනවා. අපි ඈත ගමකට ගියොත් ගේ ලොකුවට නැහැ. ගේ ඇතුලේ ෆ්‍රිජ් එකක් ටී.වී. එකක් නැහැ. නමුත් ගේ හදාගන්න ඉඩමක් හා ගොවිතැන් කරන්න ඉඩමක් තිබෙනවා. ඉඩම් කියන්නේ අපේ රටේ ගැමි ජනතාවට දේපොළක් නොවයි. ඉඩම කියන්නේ ඔවුන්ට ඥාතිත්වයක්. කරාබු දෙකක් විකුණන විධියට, චේන් එකක් උකස්කරන විධියට අපි කවුරුවත් ඉඩමක් විකුණන්නේ නැහැ. ඉඩමක් එක්ක බැඳීමක් තිබෙනවා. ඒ නිසා තමයි අපි බොහෝ අය අවුරුද්දට මහගෙදර යන්නේ. මේක යුරෝපා රටවල නැහැ. ඒක ඒ ගොල්ලන්ගේ සංස්කෘතිය. නමුත් අපේ සංස්කෘතිය ඇතුලේ ඉඩම අපිට ඥාතිත්වයක්. ඒ නිසා අපේ රටේ ජනතාව අතේ මේ ඉඩම් රැඳී තිබුණා. ඒ නිසා තමයි නීති සම්පාදනය වන්නේ.

ඒ වගේම ජනතාවගේ ඉඩම් නිරවුල් නොවීමේ ගැටලුවටත් උත්තර ඕනැ. ඒ වගේම එම ඉඩම් නිරවුල් කිරීම මගින් බහුජාතික සමාගම්වලට ඉඩම් මිලදී ගැනීමට තිබෙන හැකියාවත් අපි නතර කරමු. ඉඩම් නීති සංශෝධනය කරන්න ඇමෙරිකාව කරන යෝජනාවට අපි එකඟ නැහැ. ඒකේ යටි වුවමනාවක් තිබෙනවා. මේ ඉඩම් සම්පත ඔවුන්ගේ සමාගම් අතට ගන්න. ඒ වගේම ඔවුන් අපේ ඉඩම් සම්පත ගත්තේ මේ ගිවිසුම් තියාගෙන නොවෙයි. මහින්ද රාජපක්ෂ සෝමාවතී චෛත්‍යය ගාව අක්කර 5000ක් ඇමෙරිකානු ඩෝල් සමාගමට දුන්නා. පැලවත්තේ සීනි සමාගම ගාව අක්කර 2000ට වඩා වැඩි භූමි ප්‍රමාණයක් ඇමෙරිකාවේ ඩෝල් සමාගමට වික්කා. ඉඟිනිමිටියෙ විශාල ඉඩම් ප්‍රමාණයක් ඩෝල් සමාගමට වික්කා. කල්පිටියේ දුපත් 14ක් තිබෙනවා. මේ දූපත් 14ම බැසිල් රාජපක්ෂ විකුණන්න සැලසුම් කරලා තිබ්බා. ආණ්ඩුව වැටෙන්න කලින් දුපත් 02ක් වික්කා. එකක් ඉන්දියානු සමාගමකට. අනෙක ඩෙන්මාර්ක් සමාගමකට. දුපත් වික්ක රාජපක්ෂලා, ගොවි ජනතාවගේ ඉඩම් වික්ක රාජපක්ෂලා. අක්කර දහස් ගණන් ඇමෙරිකානු කොම්පැනිවලට පවරපු රාජපක්ෂලා මේ ගිවිසුමක් ගැන කුලප්පු වෙලා තිබෙන්නේ ඇයි? මේ තමයි දේශපාලනය.

අපි මේ ගිවිසුමට ඉඩම් පිළිබඳ වගන්තිය ඇතුළත් කර, අත්සන් කිරීමට කිසිසේත්ම ඉඩ නොදෙන බව අපි මේ රටේ ජනතාවට සහතිකයක් දෙනවා. සමහරු අහනවා ඔබගොල්ලෝ ආවොත් මේ ගිවිසුමට මොනවා වෙයිද කියලා. ඒ ගිවිසුමේම තිබෙනවා වගන්තියක් ඇමෙරිකා එක්සත් ජනපදයට අවශ්‍ය නම් දින 03ක් ඇතුළත ගිවිසුමෙන් අයින්වෙන්න පුළුවන් කියලා. අපි ආවොත් අයින් කරන්න ඕන නැහැ. අයින් වෙනවා. මොකද ඔය ඉඩම් ප්‍රතිසංස්කරණවලට එකඟ නොවෙන විටම ඒ ගොල්ලෝ අයින් වෙනවා. මේ ගිවිසුම විතරක් නොවෙයි. අපි ඔබලාට සහතිකයක් දෙනවා සෝමාවතියේ චෛත්‍යය ළඟ අක්කර 5000ක්, පැලවත්තේ සීනි සමාගම ළඟ තිබෙන ඉඩම්, ඉඟිනිමිටියේ දීල තිබෙන ඉඩම්, ඒ වගේම මොනරාගල පෞද්ගලික සමාගම් වෙත දෙන්න සැලසුම් කරලා තිබෙන අක්කර දහස් ගණන් ඉඩම් සියල්ල යළි පවරාගෙන ගොවි ජනතාවගේ දූ දරුවන්ට බෙදාදෙනවා. පුළුවන්නම් ගෝඨාභය ඒක කියන්න. සජිත්ට පුළුවන් නම් කියන්න. ඒවට ඒ ගොල්ලෝ නෝ කතා. නෝ සිනා. දැන් කසකරුවෝ දාලා බොරු සෙල්ලමක් කරනවා.

අපි ඔබට කියන්නේ අපේ රටට ඇත්තටම අලුත් නායකයෙක්, ඇත්තටම අලුත් පාලනයක් මේ නොවැම්බර් 16 වැනිදා තෝරා ගන්න කියලා. ගෝඨාභයලා ආවොත් ඒක නව පාලනයක්ද? නැහැ. පැරණි කට්ටියමයි. සජිත්ලා ආවොත් ඒත් එහෙමයි. පරණ ඒවම තෝරා ගන්න ජනතාව ඡන්දය දිය යුතු නැහැනේ. මේ ජනාධිපතිවරණයෙන් අලුත් පාලනයක් අලුත් පාලකයෙක් තෝරා ගන්න ඕන නම් ඒ සඳහා ඔබට තියෙන එකම බලවේගය ජාතික ජන බලවේගය පමණයි.”

 

(lankatruth)

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article