Friday, November 1, 2024

GSP + සහනය නැවත ලබා ගැනීමට රජය එකගවූ බව කියන කොන්දේසි බොරුවක්?

Must read

GSP.Plus_

GSP + සහනය නැවත ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකා රජය මේ වනවිට නිල වශයෙන් අයඳුම් කර අවසන්. GSP + නැවත ලබාගැනීමේ ක්‍රියාවලියට කොපමණ කාලයක් ගතවේවිද?

ශ්‍රී ලංකාව පසුගිය ජූනි 29 වනදා නිල වශයෙන් මේ සම්බන්ධයෙන් අයදුම් කළා. යුරෝපා සංගමය ශ්‍රී ලංකා රජයේ මේ ඉල්ලීම සම්බන්ධයෙන් අවධානය යොමුකරාවි. ඒක සිදුවෙන්නේ බොහොම විධිමත් සහ සංවිධිත ක්‍රියාවලියක් හරහායි. ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මානව හිමිකම් සම්මුතීන් සම්බන්ධයෙන් කොතරම් දුරට එකඟව කටයුතු කරනවාද කියන කාරණය මේ යටතේ ඇගයීමට ලක්කෙරෙනවා. මේ ක්‍රියාවලිය සම්පූර්ණ වෙන්න අවම වශයෙන් මාස 06 ක් පමණ ගත විය හැකියි.

මේ ඇගයීම්වල ප්‍රතිඵල අනුව ශ්‍රී ලංකාවට GSP + නැවත ලබාදීමට අනුමැතිය ලබාදෙන ලෙස සාමාජික රාජ්‍යයන් 28 කගෙන් සමන්විත යුරෝපා කවුන්සිලයට සහ යුරෝපා පාර්ලිමේන්තුවට නිර්දේශයක් ඉදිරිපත් විය යුතුයි. සමස්ත ක්‍රියාවලිය සඳහා දළ වශයෙන් මාස 08 ත් 10 ත් අර කාලයක් ගතවීමට නියමිතයි.

මෑතකදී යුරෝපා සංගමය මේ ආකාරයේම ඇගයීම් ක්‍රියාවලියකට පසුව පිලිපීනය සඳහා GSP + නැවත ලබාදුන්නා. ඒ සඳහා මාස 09 ක කාලයක් ගතවුනා.

මේ කාරණය එක්ක පටලැවුණු වැරදි තොරතුරු ගණනාවක්ම තිබෙනවා. මූලික වශයෙන්ම GSP + සඳහා අයඳුම් කරන ඕනෑම රටක් පහළ මධ්‍යම ආදායම් කාණ්ඩයේ රටක් (lower middle income country) වියයුතුයි. යම් රටක ආදායම් තත්ත්වය අනුව මේ වර්ගීකරණය සිදුකරන්නේ ලෝක බැංකුව විසින්. මේ මූලික කොන්දේසියට අනුව නිශ්චිත රටවල් සමූහයක් තීරණය වෙලා තිබෙනවා – මේ සඳහා අයඳුම්කිරීමේ අවස්ථාව තිබෙන්නේ ඒ රටවල්වලට පමණයි.

යුරෝපා කොමිසම විසින් අදාළ ඉල්ලීම් සලකා බැලීමේදී මානව අයිතිවාසිකම් සහ කම්කරු අයිතිවාසිකම් යන ද්විත්වය සම්බන්ධයෙන් ප්‍රමුඛ අවධානයක් ලබා දෙනවා. ඒ ප්‍රමුඛතාවලට එකඟව කටයුතු කරන රටවලට ලෝකයේ විශාලතම වෙළඳපොල සහ ලෝකයේ විශාලතම ආර්ථිකය තිබෙන යුරෝපා කලාපයට විශේෂිත සහන සහිතව පිවිසෙන්න අවස්ථාව හිමිවෙනවා.

වැදගත්ම කාරණය වන්නේ ඒ ඒ රටවල් විසින් එකඟව කටයුතු කළ යුතුයැයි ප්‍රමුඛතාවයක් ලබා දෙන කාරණා කිසිවක් යුරෝපා සංගමය විසින් පනවන කොන්දේසි නෙවෙයි. ඒවා ඒ ඒ රටවල් විසින්ම ක්‍රියාත්මක කරන්න එකඟ වෙලා අත්සන් තබපු ජාත්‍යන්තර සම්මුතීන්.

 

නමුත් GSP + සහනය නැවත ශ්‍රී ලංකාවට ලබාදීමට නම් ඉටු කළ යුතු කාරණා කොන්දේසි 58 ක් යුරෝපා සංගමය විසින් රජයට ඉදිරිපත් කර තිබෙනවා යැයි චෝදනාවක් තිබෙනවා නේද?

ඒක මෙතැනදී ඇත්තටම සිදුවෙන ක්‍රියාවලිය සම්බන්ධයෙන් ඉදිරිපත්වුණු කිසිසේත්ම නිවැරදි නොවන අර්ථකථනයක් විතරයි. GSP + වෙළඳ සහනය ලබාදීම තීරණය වෙන්නේ නිශ්චිතවම සහ පැහැදිලිව තීරණය කර තිබෙන සම්මුතීන් 27 ක් මත පදනම්ව. ඒ සම්මුතීන් 27 මේ වෙළඳ සහනය ලබාගැනීමට බලාපොරොත්තුවන සියලු‍ම රටවලට එකසේ අදාළ වන සම්මුතීන්.

ශ්‍රී ලංකාවට එල්ලවන මානව හිමිකම් උල්ලංඝන චෝදනා අතුරෙන් විශේෂ චෝදනා 15 ක් සම්බන්ධයෙන් පමණක් අවධානය දක්වමින් සිටින බව යුරෝපා සංගමයේ විදේශ සබඳතා සහ ආරක්ෂක ප්‍රතිපත්ති පිළිබඳ ප්‍රධාන නියෝජිතවරිය 2010 වර්ෂයේදී ශ්‍රී ලංකා රජයට ලිඛිතව දැනුම්දී තිබෙනවා. ඒ වගේම ඉහතින් සඳහන් කළ සම්මුතීන් 27 සහ ඒවා සම්බන්ධයෙන් වන සෙසු තොරතුරු යුරෝපා සංගම් වෙබ් අඩවියේ සඳහන්ව තිබෙනවා.

2010 වසරේදී විදේශ සබඳතා සහ ආරක්ෂක ප්‍රතිපත්ති පිළිබඳ ප්‍රධාන නියෝජිතවරියගේ ලිඛිත දැනුම්දීමට ශ්‍රී ලංකා රජය ප්‍රතිචාර දැක්වූවේ අදාළ මානව හිමිකම් උල්ලංඝනයන් සම්බන්ධයෙන් කිසිඳු ආකාරයක සාකච්ඡාවකට ඔවුන් එකඟ නොවන බව කියමින්. ඔවුන්ගේ අදහස වුනේ එවැන්නක් සිදුවුනොත් ඒක ශ්‍රී ලංකාවට සිදුවන විදේශීය අතපෙවීමක් වෙයි කියන එකයි. ඒක පැහැදිලිවම ඔවුන්ගේ තීරණයක්. ඒ තීරණය මත පදනම්ව යුරෝපා සංගමය තීරණය කළා ශ්‍රී ලංකාවට එතෙක් ලබාදෙමින් තිබූ GSP + සහනය ඉවත් කරගන්නට.

යුරෝපා සංගමයේ මේ ක්‍රියාකාරීත්වය කිසියම් ආකාරයකට මේ රටේ ස්වෛරීත්වය උල්ලංඝනය කිරීමක්, එහෙමත් නැත්නම් එය යම් ආකාරයක නව යටත්විජිතවාදී ප්‍රවේශයක් වශයෙන් හැඳින්වෙන හැම අවස්ථාවකම මට ඒක හරිම හාස්‍යජනක කතාවක් වගෙයි දැනෙන්නේ. මේක හරියට ක්‍රීඩා සමාජයක් හෝ වෙනත් එවැනි සමාජයකට බැනෙවා වගේ දෙයක්. ඔබට දිගටම සාමාජිකත්වය පවත්වාගෙන යන්න අවශ්‍යයි නම් ඒක නිකන්ම කරන්න බැහැ. යම්කිසි නීතිරීති ප්‍රමාණයකට එකඟව ඒ අනුව කටයුතු කළොත් පමණයි සාමාජිකත්වය දිගටම පවතින්නේ. කිසිම කෙනෙක් ශ්‍රී ලංකාවටවත් වෙන කිසිම රටකටවත් GSP + සහනයට අයඳුම් කරන්න කියලා බලපෑමක් කරන්නේ නැහැ.

නමුත් GSP + කියන්නේ වෙළඳ සහනයක්, එවැන්නකට බාහිර කොන්දේසි එකතුකිරීම සාධාරණ නැහැ කියන චෝදනාවත් ඉදිරිපත් වෙනවා නේද? යුරෝපා සංගමය නිදහස් වෙළඳාම කියන සංකල්පය වෙනුවෙන් පෙනී සිටින පුරෝගාමී ආයතනයක්. මේ ලබාදෙන්නේ සහන ණයක් හෝ ආධාරයක් නෙවෙයි. එසේ තිබියදීත් එයට කොන්දේසි අදාළකිරීම කොතරම් සාධාරණද?

ඔව්, යුරෝපා සංගමය පැහැදිලිවම නිදහස් වෙළඳ සංකල්පයන් වෙනුවෙන් පෙනී සිටින්නෙක්. නමුත් ඔබ මෙතනදි විශේෂයෙන් අවබෝධ කරගතයුතු කාරණයක් තිබෙනවා. යුරෝපා සංගමය තමන්ගේ කලාපයෙන් පිට කිසිම රටකට තමන්ගේ වෙළඳපොලට නිදහසේ පිවිසීමේ අවස්ථාව ලබාදෙන්න මොනයම් ආකාරයකින් හෝ බැඳිලා නැහැ. මම කලිනුත් සඳහන් කළ ආකාරයට යුරෝපා වෙළඳපොල තමයි ගෝලීයව දැවැන්තම වෙළඳපොල. මේක එක්සත් ජනපදය, චීනයේ හෝ ඉන්දියාවේ වෙළඳපොලවලටත් වඩා විශාලයි. ඔබ මේ වෙළඳපොලට බාධා රහිතව ප්‍රවේශ වෙන්න බලාපොරොත්තු වෙනවා නම් අන්ත එතනදි අපි තිරණය කරන යම් යම් කරුණු කිහිපයකට එකඟව කටයුතු කරන්න සිදුවීම අනිවාර්යයි.

මේ කරුණු කිසිසේත්ම අපි අපේ ඒකාධිකාරී අභිමතය අනුව තීරණය කර පනවන කොන්දේසි නෙවෙයි. මේවායින් කියවෙන්නේ ඒ ඒ රටවල් විසින්ම තීරණය කර එකඟවුණු වගකීම් ඉටුකරන්න කියන දේ පමණයි. මේ කොන්දේසි හරහා අපි කරන එකම කාර්යය ජාත්‍යන්තරව සම්මුති ගතවුණු යාන්ත්‍රණයකට සහයෝගය දීමක් පමණයි. අපි GSP + සහනය ලබාදීමේදී මානව හිමිකම්වලට ප්‍රමුඛතාවය දක්වනවා මොකද අපිට අනුව ඒවා අපේ සමාජ ක්‍රමයේ හරයාත්මක වටිනාකම්.

z_pii-unfounded-01

අපි මේ විදියට උපකල්පනය කළොත් යම් කොන්දේසියකින් කියවෙනවා ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත සම්පූර්ණයෙන්ම අහෝසිකර දැමිය යුතුයි යනුවෙන්. මේ වනවිට රට ඇතුලේ ඇතැම් ප්‍රශ්නකාරී සිදුවීම් සිදුව තිබෙනවා, සමහර ප්‍රදේශවලින් LTTE සංවිධානය භාවිත කළ ආකාරයේ මරාගෙන මැරෙන ඇඳුම් කට්ටල අලු‍තෙන් සොයා ගෙන තිබෙනවා. LTTE සංවිධානයේ ක්‍රියාකාරීත්වය මුලු‍මනින්ම අවසන්ව නැතිබවකුයි එයින් ගම්‍ය වෙන්නේ. එවැනි වටපිටාවක් ඇතුලේ ත්‍රස්තවාදය වැළැක්වීමේ නීති ඉවත් කරන්න කොන්දේසි ඉදිරිපත්කිරීම බරපතල තත්ත්වයක් නේද?

GSP + සහනය සඳහා වන කොන්දේසි අතරේ ඔබ ඔය කියන ආකාරයේ කොන්දේසියක් නැහැ. යුරෝපා සංගමය මේ GSP + සහනය සඳහා වන ක්‍රියාවලියෙන් මුලු‍මනින්ම පරිබාහිර වෙනත් ක්‍රියාවලියක් හරහා රජයට යම්කිසි පෙළඹවීමක් ඇතිකරන්නට උත්සාහ කරනවා. ඒක එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේදී ශ්‍රී ලංකා රජය සම-දායකත්වය දැක්වූ යෝජනාවලියේ එන එකඟතා ක්‍රියාත්මක කරවා ගැනීමට ගැනෙන උත්සාහයක්. ශ්‍රී ලංකා රජය තමන් විසින් කරන්නට බලාපොරොත්තු වනවායැයි සඳහන් කළ සාධනීය කාරණා රාශියක් මේ සඳහන් කළ යෝජනාවලිය ඇතුලේ තිබෙනවා එයින් එක් කාරණයක් තමයි ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත මුලු‍මනින්ම අහෝසි කර ජාතික ආරක්ෂාව සඳහා ඒ වෙනුවට නව පනතක් ගෙන ඒම.

ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත වෙනුවට වෙනත් පනතක් ගෙන ආ යුතු ආකාරය සම්බන්ධයෙන් යුරෝපා සංගමය සහ ශ්‍රී ලංකා රජය අතරේ සංවාදයක් ක්‍රියාත්මක වෙනවා. නමුත් ඒ සංවාදය සහ GSP +සහනය අතර සබඳතාවයක් හෝ අදාළත්වයක් නැහැ.

GSP + සහනය නැවත ලබාගැනීම සම්බන්ධයෙන් ඉදිරිපත්ව තිබෙන ඇතැම් කොන්දේසි සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා දැනුවත්ව නොසිටි බවත්, ඇතැම් කොන්දේසි අග්‍රාමාත්‍යවරයාගෙන් සඟවා තැබූ බවක් යම් යම් වාර්තාවල සඳහන්ව තිබෙනවා. මේ ගැන ඔබේ අදහස කුමක්ද?

ඒ ගැන නම් ඔබ ඇසිය යුත්තේ ආණ්ඩුව ඇතුළේ ඉන්න අයගෙන්. අග්‍රාමාත්‍යවරයා සහ මා අතර සිදුවූ සංවාදවලදී මා ඔහු හඳුනා ගත්තේ හුදෙක් GSP +සහනය ලබාගැනීම වෙනුවෙන් පෙනී සිටිනවා පමණක් නොව ශ්‍රී ලංකාවේ GSP + සහනය නැවත ලබාගැනීමේ උත්සාහය බොහොම ක්‍රියාකාරී විදියට ජයග්‍රහණය කරවීමට කටයුතු කරන, ඒ වෙනුවෙන් ජාත්‍යන්තර ප්‍රජාව සමග නැවත සහසම්බන්ධ වීමේ අවශ්‍යතාවය අවබෝධකරගත් පුද්ගලයෙකු වශයෙනුයි .

ජාත්‍යන්තර වශයෙන් හුදෙකලාව සිටීම රටේ ඉදිරිගමනට එතරම් සුබදායක නොවන තත්ත්වයක් බව රජය ඉතාම පැහැදිලිව තීරණය කර අවසන්. ඒ නිසාම ඔවුන් යුරෝපා සංගමය සමග පමණක් නෙවෙයි, ඉන්දියාව සහ චීනය වැනි පාර්ශව ගණනාවක් සමගත් නිදහස් වෙළඳ ගිවිසුම්වලට සහ වෙළඳ එකඟතාවයන්ට එළැඹෙමින් සිටිනවා.

බ්‍රිතාන්‍ය යුරෝපා සංගමයෙන් ඉවත්ව යාම GSP +සහනය කොයිතාක් දුරකට බලපානවාද?

මේ මොහොතේ එවැනි බලපෑමක් ඇත්තේම නැහැ. අපිට පුරෝකථනය කළ හැකි ඉදිරිය තුළ දළ වශයෙන් ඉදිරි වසර 2 සහ 3 ක කාලය දක්වාම එක්සත් රාජධානියේ යුරෝපා සංගම් සාමාජිකත්වය ක්‍රියාත්මක වේවි.

බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයේ සාමාජිකත්වය දරන්නේ යුරෝපා සංගමය හා සන්ධානගතවීම සඳහා තිබෙන එකඟතාවයට (Treaty agreement) අනුව. මේ එකඟතාවයෙන් ඉවත් වෙන්න නම් බ්‍රිතාන්‍යයට එකඟතාවයේ 50 වන වගන්තිය ක්‍රියාත්මක කරන්නට සිදුවෙනවා. ඒ වගන්තිය ක්‍රියාත්මකකිරීම හරහා ආරම්භ වන ක්‍රියාවලිය දළ වශයෙන් වර්ෂ දෙකක් පමණ දීර්ඝ විය හැකියි. ඒ වගේම සාමාජික රාජ්‍යයන්ගේ එකඟතාවය මත මේ වර්ෂ දෙකක කාලය ඊටත් වඩා දීර්ඝ වීමත් සිදුවිය හැකියි.

සාමාජික රාජ්‍යයක් ඉවත්ව යාම යුරෝපා සංගමය තුළ මින් පෙර කිසිඳු අවස්ථාවක සිදුව නැහැ. ඒ නිසා නිශ්චිතවම සිදුවෙන්න නියමිත කුමක්ද කියන කාරණය සම්බන්ධයෙන් තවමත් පැහැදිලිභාවයක් නැහැ. එක්සත් රාජධානිය යුරෝපා සංගමයෙන් ඉවත්ව යාම සත්‍ය වශයෙන්ම සිදුවීමෙන් අනතුරුව එතෙක් යුරෝපා සංගමය වශයෙන් ඇතිකරගත් වෙළෙඳ එකඟතාවයන්ට අනුකූලව තවදුරටත් කටයුතු කරනවාද නැද්ද යන්න ඔවුන් අලු‍තෙන් තීරණය කළ යුතුයි. ඒ අනුව තමයි යුරෝපා සංගමයෙන් වෙන්ව යාමට බ්‍රිතාන්‍යය ගත් තීරණය GSP + සහනයට කොයිතරම් බලපානවාද යන්න තීරණය කළ හැකිවෙන්නේ. බ්‍රිතාන්‍යයේ ඉවත්ව යාමෙන් පසුව වුනත් යුරෝපා සංගමය ලෝකයේ සුවිශාලතම වෙළඳපොල වීමෙහි කිසිඳු වෙනසක් ඇති වෙන්නේ නැහැ.

මේ සියලු‍ම කාරණා නොතකා හැරියත් යුරෝපා වෙළඳපොල ශ්‍රී ලංකාවේ අපනයනවලට තිබෙන විශාලතම වෙළඳපොල. ඒ කාරණය තුළ අතිශය පැහැදිලි ආර්ථිකමය වටිනාකමක් තිබෙනවා. ශ්‍රී ලංකාව සැබෑම උනන්දුවකින් සිදු නොකරන කිසිවක් සිදු කරන්න අපි බල කරන්නේ නැහැ. අපි කොන්දේසි පනවනවා නෙවෙයි, හුදෙක්ම දැනටමත් එකඟතාවය ප්‍රකාශවෙලා තිබෙන කාරණා කිහිපයක් ඉටු කරන්න අවශ්‍ය පෙළඹවීම සපයනවා පමණයි. මම මේවා දකින්නේ හුදෙක් වෙළඳ ගනුදෙනුවක කොටස් වශයෙන් නොවෙයි. ඔබ ජාත්‍යන්තර වශයෙන් වැදගත් සම්මුතීන් යම් ප්‍රමාණයකට එකඟතාවය පළකරලා තිබෙනවා. ඒ එකඟතාවයන් සැබෑ වශයෙන් ක්‍රියාත්මක කරන්න ඔබ දක්වන කැපවීමේ ප්‍රමාණයට අනුව අපි ඔබට විශේෂ අවස්ථාවක් සලසනවා.

රජය විදේශීය බලපෑම් සම්බන්ධයෙන් විශේෂයෙන් බටහිර රටවල් සම්බන්ධයෙන් දක්වන්නේ උවමනා ප්‍රමාණයට වඩා වැඩි ලිහිල් පිළිවෙතක් බව විපක්ෂය රජයට එල්ල කරන ප්‍රධාන චෝදනාවක්. යුරෝපා සංගමය ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් මේ දක්වා පෙන්වා තිබෙන අවධානයට හේතුව රජය තුළ බටහිර රටවල් සම්බන්ධයෙන් තිබෙන මේ නම්‍යශීලීත්වය බව ඔබ සිතනවාද?

මගේ අවබෝධයේ හැටියට ජාත්‍යන්තර ප්‍රජාව සමග මේ රටට තිබූ සම්බන්ධතාවයන් යළි ඇතිකරගැනීමට මේ රජය භාරදූර පියවර ගණනාවක්ම අරගෙන තිබෙනවා. මීට පෙර පැවති රජයට තිබුනේ අතිශය සීමාසහිත ජාත්‍යන්තර සම්බන්ධකම් ප්‍රමාණයක්. ඕනෑම ආකාරයක විදේශීය සම්බන්ධතාවයක් දිහා ඔවුන් බැලු‍වේ ඒවා මේ රටට තර්ජනයක් කියන වපර ඇසින්. වර්තමාන රජයේ ක්‍රියා පිළිවෙත මීට වඩා වෙනස්. ඔවුන් බොහොම විවෘත විදියට ජාත්‍යන්තර ප්‍රජාව සමග තමන්ගේ ගනුදෙනු පවත්වාගෙන යනවා. ඒ වගේම ඒ සම්බන්ධතාවයන්වලදී ඔවුන් හුදෙක්ම බටහිරට පමණක් සීමා වෙලත් නැහැ. චීනය සහ ජපානය සමග වගේම සිංගප්පූරුව වැනි අග්නිදිග ආසියා කලාපීය රටවල් (ASEAN රටවල්) සමගත් ඔවුන් තමන්ගේ සම්බන්ධතාවයන් පවත්වාගෙන යනවා.

මීට දින කිහිපයකට ඉහතදී පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගැනීමට විරුද්ධව ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් ජාත්‍යන්තර පාර්ලිමේන්තු සංගමයට පැමිණිලි කරන්න කටයුතු කළා. මේ සිදුවීම මගේ සිතේ සෑහෙන්න තරම් උනන්දුවක් ඇති කරපු සිදුවීමක්. සමහර අවස්ථාවන්වලදී ජාතිකවාදී යැයි කියවෙන කඳවුරුවලට පවා මේ බටහිර ආයතනවල සහයෝගය ලබාගන්න සිදුවෙනවා.

LTTE ත්‍රස්තවාදයට එරෙහි යුද්ධයේ අවසන් අදියරේදී දරුණු ගණයේ මානව හිමිකම් උල්ලංඝණයන් සිදුකළා යැයි ශ්‍රී ලංකාවට එල්ලවූ චෝදනා සම්බන්ධයෙන් නිසි වගවීමේ ක්‍රියාවලියක් ඇතිකළ යුතුයැයි විවිධ පාර්ශවවලින් ඉල්ලීම් ඉදිරිපත්වුණා. එසේ ඉල්ලා සිටි කණ්ඩායම් අතරින් ඉදිරියෙන්ම සිටියේ යුරෝපා සංගමය, මහා බ්‍රිතාන්‍යය සහ ඇමරිකා එක්සත් ජනපදය. 2003 වර්ෂයේ සිදුවූ ඉරාක ආක්‍රමණය සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට පත්කරන ලද ශ්‍රීමත් ජොන් චිල්කොට් තමන්ගේ වාර්තාවෙන් ඉරාක ආක්‍රමණය අනවශ්‍ය දෙයක් වශයෙන් හඳුන්වලා එය දරුණු ලෙස විවේචනය කර තිබෙනවා. එහෙම තිබියදී පවා ශ්‍රී ලංකාවේ සිදුවූවායැයි කියන මානව හිමිකම් උල්ලංඝනයන් සම්බන්ධයෙන් පමණක් වගවීමේ ක්‍රියාවලියක් ඉල්ලාසිටීම කොයිතරම් දුරට සාධාරණද?

පළමුවැනි කාරණය යුරෝපා සංගමය හෝ ඔබ සඳහන් කළ සෙසු රටවල් ශ්‍රී ලංකාවට පමණක් වගවීමේ යාන්ත්‍රණයක් ඉල්ලා සිටීමක් මෙතන සිදුවෙන්නේ නැහැ. නිසි විමර්ශන සිදුකිරීම සඳහා බලපෑම්කිරීම යුධ අපරාධ හෝ මානව හිමිකම් උල්ලංඝනයන් සිදුවුණා යැයි සැක කෙරෙන ඕනෑම තැනෙක සිදුවෙනවා. යුරෝපා රටක් වන බොස්නියාවේ එය සිදුවුණා. ශ්‍රී ලංකාවේ වගේම කාම්බෝජයේ සහ රුවන්ඩාවෙත් මේ විමර්ශන සිද්ධවෙනවා. ඒ වගේම ඉදිරියේදී සිරියාවෙත් අනිවාර්යයෙන්ම මෙවැනි පරීක්ෂණයක් සිදුවෙනවා. මෙවැනි විමර්ශන සම්බන්ධයෙන් මූලිකත්වය ගෙන කටයුතුකිරීමේ වගකීම සහිත ජාත්‍යන්තර ආයතන ගණනාවක් ලෝකය පුරාම ක්‍රියාත්මකයි. මේ අයාතනවල ගෝලීය නියාමනය සිද්ධ වෙන්නේ එක්සත් ජාතීන්ගේ සංවිධානය හරහා. ශ්‍රී ලංකාවට පමණක් විශේෂිතව මේ පරීක්ෂණ සිදුවනවායැයි කියා දෙයක් නැහැ.

ඉරාකයේ ඇතිවූ තත්ත්වය සම්බන්ධයෙන් ශ්‍රීමත් ජෝන් චිල්කොට්ගේ මූලිකත්වයෙන් නිල විමර්ශනයක් සිදුවුණා. ඒ වගේම ඉරාක යුද්ධය සිදුවූ ආකාරය සහ ඒ සම්බන්ධ තීන්දු තීරණ ගත් ආකාරයත් මේ විමර්ශනයේ වග විභාගයට ලක්වුණා. මෙයම එක්තරා ආකාරයක ධනාත්මක ලක්ෂණයක් වශයෙනුයි මම දකින්නේ. බ්‍රිතාන්‍යය තමන්ගේ ජාත්‍යන්තර වගවීම් සම්බන්ධයෙන් කොයිතරම් නම් බැරෑරුම් ලෙස සිතනවාද යන්න ඒ තුළ පැහැදිලිවම පෙන්නුම් කර තිබෙනවා. ශ්‍රීමත් චිල්කොට්ගේ පරීක්ෂණයේ වාර්තාව සම්බන්ධයෙන් ගතයුතු මීළඟ පියවර කුමක්ද කියන එක බ්‍රිතාන්‍යයයේ අදාළ වගකිවයුතු ආයතන විසින් තීරණය කළයුතු දෙයක්.

2015 ජිනීවා යෝජනාවලියෙන් කියවෙනවා ශ්‍රී ලංකාව තුළ සත්‍ය සෙවීමේ යාන්ත්‍රණයක් ස්ථාපිත විය යුතු බව. මේ යාන්ත්‍රණය තුළට විදේශීය විනිසුරුවරුන් සහභාගී විය යුතුද නැද්ද යන කාරණය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව තුළ තිබෙන්නේ පැහැදිලිවම විභේදනය වුණු මත දෙකක්. විදේශීය විනිසුරුවන්ගේ සහභාගීත්වය සම්බන්ධයෙන් රට තුළ දැවැන්ත ප්‍රතිවිරෝධයක් තිබෙනවා. මේ කාරණයේදී යුරෝපා සංගමය නියෝජනය කරන්නේ කුමන මතයද?

යුරෝපා සංගමය මානව හිමිකම් මහ කොමසාරිස් සයීඞ් කුමරුගේ මතය වෙනුවෙන් පැහැදිලිවම පෙනී සිටිනවා. ඔහු මුල් යෝජනාවලිය සම්බන්ධයෙන් විශේලේෂණයකින් පසුව තීරණයකට එළැඹුනා සත්‍ය සෙවීමේ ශ්‍රී ලාංකික දේශීය යාන්ත්‍රණයක් තුළට පොදු රාජ්‍ය මණ්ඩලයේ සහ වෙනත් විදේශීය රටවල විනිසුරුවන්ගේ ප්‍රමාණවත් දායකත්වයත් තිබීම අත්‍යවශ්‍ය බව.

යුරෝපා සංගමයේ මූලිකම ප්‍රමුඛතාවය හිමි වෙන්නේ එවැනි ක්‍රියාවලියක ගුණාත්මකභාවය සහ විශ්වාසනීයත්වය සම්බන්ධයෙන්. LTTE සංවිධානයේ කෲර ක්‍රියාවන්වලට ගොදුරු වූවන් ද ඇතුළත්ව රටේ සෑම තැනකම ජීවත්වන සියලු‍ම ආකාරයේ වින්දිතයන්ට ප්‍රමාණවත් පරිදි අවධානය දක්වන්න මේ ක්‍රියාවලිය සමත්විය යුතුමයි. මේ ඇතිවන ක්‍රියාවලිය සම්බන්ධයෙන් ඔවුන් තුළ නිසි විශ්වාසයක් පැවතීමත් අත්‍යවශ්‍යයි.

සමහර අයෙකුගේ අදහසට අනුව ක්‍රියාවලිය සම්බන්ධයෙන් එවැනි විශ්වාසනීයත්වයක් තහවුරු වෙන්නේ අදාළ ක්‍රියාවලිය තුළ යම් ආකාරයක ජාත්‍යන්තර මැදිහත්වීමක් ක්‍රියාත්මක වුවහොත් පමණයි. නමුත් අපි මෙතැනදි රජය ඉදිරිපත් කරන්න යන්නේ කුමන ආකාරයක වැඩපිළිවෙලක්ද යන්න පිළිබඳ ඉවසීමෙන් බලා සිටිය යුතුයි. ඒ වගේම ඒ යෝජනා වන ක්‍රියාවලියේ මූලික අංග ප්‍රවේශමෙන් සලකා බැලීමෙන් අනතුරුව අවශ්‍යවන තැන්වලදී අපේ සහයෝගය ලබාදෙන්නත් අපි ඉදිරිපත්විය යුතුයි.

සංහිඳියා යාන්ත්‍රණයක් ගොඩනැගීමේ ක්‍රියාවලිය තුළ රජය බොහෝ සෙයින් ප්‍රමාද බවත් ඒ නිසාම අදාළ ක්‍රියාවලිය තුළ කිසියම්ම වූ ප්‍රගතියක් සැලකිය යුතු ප්‍රමාණයකින් මෙතෙක් ඇතිවී නොමැති බවත් සමහර පාර්ශ්වයන්ගෙන් කියවෙනවා. යුරෝපා සංගමය විදියට ඔබ සිටින්නෙත් මේ මතයේමද?

අපි විශ්වාස කරනවා ඇතැම් විෂයන් සම්බන්ධයෙන් දැනට වඩා වැඩි ශීඝ්‍රතාවයකින් කටයුතු කරන්න රජයට හැකියාව තිබිය යුතුයි කියලා. නමුත් සංක්‍රාන්තික යුක්තිය යනු අතිශය සංකීර්ණ විෂයක්. මේ වැඩ කටයුතු හදිස්සියේ සම්පූර්ණ කර අවසන් කරනවාට වඩා නිසි පරිදි සම්පූර්ණ කර අවසන්කිරීම වඩාත් වැදගත් බව අපි පැහැදිලිවම දන්නවා.

සංක්‍රාන්තික යුක්ති ආකෘතිය ඇතුළේ තමන් විසින් කළ යුතු සෙසු වැඩ ප්‍රමාණය දෙන ලද කාල රාමුව ඇතුලේ නිසි පරිදි හඳුනාගන්නට රජය සමත් වෙනවා නම් අපි විශ්වාස කරන විදියට එය ඉතාම හොඳ තත්ත්වයක්.

GSP-

 

 

 

 

උපුටාගැනීම – www.samabima.com

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article