රටට අහිතකර විදේශ විස අපද්‍රව්‍ය ආනයනය කිරීමට මඟ සැලැසී ඇත්තේ මහින්ද රාජපක්ෂ මුදල් හා සැලසුම් ඇමැතිවරයා වශයෙන් කටයුතු කළ අවස්ථාවේ
ඔහු සතුව පැවැති බලතල යොදාගෙන 2013 අංක 1818-30 ගැසට් පත්‍රයෙන් සිදුකළ නිවේදනය නිසා යැයි සමස්ත ලංකා රේගු නිලධාරීන්ගේ සංගමය පවසයි.
එම සංගමයේ ප්‍රධාන ලේකම් ජේ. ඒ. ගුණතිලක ප්‍රකාශ කළේ මේ ගැසට් නිවේදනය නිසා විදේශවලින් මෙරටට ආනයනය කරන අපද්‍රව්‍ය ගැන පරීක්ෂා කිරීමට ශ්‍රී ලංකා රේගුවට අවසර නොලැබෙන බවයි.
එසේම මේ ආකාරයෙන් රටට එන නීති විරෝධී බහලුම් ගැන විමර්ශන කිරීමටත් අඩුම තරමේ ඒවා පරීක්ෂා කර බැලීමටවත් රේගුවට ඉඩ නොලැබෙන බව ද ඔහු වැඩිදුරටත් කීවේය.
ඔහු මේ බව ප්‍රකාශ කළේ එක්සත් රාජධානියේ සිට කොළඹට අපද්‍රව්‍ය අඩංගු බහලුම් 102ක් ආනයනය කිරීම සම්බන්ධ මාධ්‍ය හමුවක් අමතමිනි.
බ්‍රිතාන්‍යයේ සිට ශ්‍රී ලංකාවට එවූ කසළ අඩංගු බව කියන කන්ටේනර් තොගයෙන් 5ක් රේගුවේ නිලධාරීන් ජුලි 10 දා ද විවෘත කළේ ය. මූලික විමර්ශනයෙදී අනාවරණය වී ඇත්තේ ඒවායේ කසළ අඩංගු බව ය.
මෙවැනි කන්ටේනර් 102ක් දිවයිනට ගෙන්වා ඇති අතර එයින් 94ක් මේ වන විට හඳුනාගෙන තිබේ.
ජාවාරමුන්ගේ නම් හෙළි කරනු!:
ඉදිරි පරපුර සඳහා පරිසරය රැක ගැනීමට 2013 අංක 1818-30 දරන ගැසට් නිවේදනය අහෝසි කර අහිතකර අපද්‍රව්‍ය ආනයන කිරීම තහනම් කරන මෙන් සමස්ත ලංකා රේගු නිලධාරීන්ගේ සංගමයේ ලේකම්වරයා මෙම මාධ්‍ය හමුවේදී වත්මන් මුදල් ඇමැති මංගල සමරවීර ගෙන් ඉල්ලා සිටියේය.
මේ අහිතකර අපද්‍රව්‍ය ආනයනය කිරීම පිටුපස සිටින අයගේ නම් හෙළි කරන ලෙසද ඔහු මේ අවස්ථාවේ දී මුදල් අමාත්‍යාංශ නිලධාරීන්ගෙන් ඉල්ලා සිටියේය.
‘රේගු ආඥා පනත, ආනයන අපනයන පාලන පනත සහ හුවමරු පාලන පනත 2013 අංක 1818-30 දරන මෙම ගැසට් නිවේදනයෙන් නිදහස් කර තිබෙනවා. මේ ගැසට් නිවේදනයට අනුව නීති විරෝධීව සිදු කෙරෙන ආනයන සම්බන්ධයෙන් රේගුවට කටයුතු කිරීමට නොහැකි කර තිබෙනවා’ යැයි ඔහු වැඩිදුරටත් කීවේය.
2013 වසරේ සිට මේ ආකාරයෙන් අපද්‍රව්‍ය ආනයනය කිරීම සිදු වී ඇති අතර මෙම කසළ තොගය අතර රෝහල් අපද්‍රව්‍ය, ශාඛ කොටස්, සත්ත්ව ශරීර කොටස්, ආපනශාලා අපද්‍රව්‍ය, පාවිච්චි කළ මෙට්ට, ඇඳ ඇතිරිලි ඇතුළු අපද්‍රව්‍ය බහලුම් 102ක් කොළඹ අන්තර්ජාතික බහලුම් පර්යන්තයේ ගබඩා කර ඇත. ඒ අතර ඒ හා සමාන අපද්‍රව්‍ය පිරුණු තවත් බහාලුම් 122ක් වරායෙන් නිෂ්කාශනය කර රැගෙන ගොස් තිබේ.
ඒ අවස්ථාවේ මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් ඔහු වැඩිදුරටත් කියා සිටියේ වරායෙන් ඉවතට රැගෙන ගොස් ඇති කසළ තොගය කටුනායක නිදහස් වෙළෙඳ කලාපයේ කඳුගැටි සහිත ස්ථානයක දමා තිබෙන බවයි.
මීතොටමුල්ලක් වීමට ඉඩ නොතැබිය යුතුයි :
මෙවැනි අපද්‍රව්‍ය ආනයනය කිරීම තහනම් කිරීමට ගෙන ඇති පියවර මොනවාදැයි ඇසූ විට ඔහු වැඩිදුරටත් කියා සිටියේ අහිතකර කසළ ආනයනය තහනම් කරන බාසල් සම්මුතියට ශ්‍රී ලංකාව ද අස්සන් කර ඇති නිසා ඒ සම්මුතිය අනුව කවර හේතුවක් නිසාවත් අහිතකර කසළ ආනයනය කළ නොහැකි බවයි.
මේ රට තවදුරටත් ලෝකයේ අනිත් රටවල්වල කසළ දමන මීතොටමුල්ලක් වීමට ඉඩ නොතැබිය යුතු බවත් රේගු නිලධාරීන්ගේ සංගමයේ සභාපති ඇන්ටන් ප්‍රියශාන්ත කීවේය.
කිසිම රාජ්‍ය ආයතනයකට මෙවැනි අපද්‍රව්‍ය පරීක්ෂා කිරීමට අවසර නැති වීම විශාල අනතුරක් බවත් මෙවැනි කසළ සමඟ න්‍යෂ්ටික අපද්‍රව්‍ය හෝ බිහිසුණු බැක්ටීරියාවන් තිබුණොත් ඉතා අහිතකර බවත් ඔහු පෙන්වා දුන්නේය.
බ්‍රිතාන්‍යයේ සිට ලංකාවට කුණු ගෙනා සමාගම?
බ්‍රිතාන්‍යයේ සිට ලංකාවට ප්ලාස්ටික්, පොලිතීන් ඇතුළු රෝහල් අපද්‍රව්‍ය අඩංගු කන්ටේනර් ලංකාවට රැගෙන ආවේ ප්‍රකට ව්‍යාපාරිකයකුට කොටස් හිමි ලංකාවේ ප්‍රසිද්ධ සමාගමක් විසින් බවට වාර්තා පළ වී තිබේ.
එලෙස ගෙන ආ කසල තොගයක් දැනට එම සමාගමේ උප සමාගමක භූමිය තුළ ගොඩගසා ඇති ආකාරය දැක්වෙන ගුවන් ඡායාරූප ද නිකුත් වී ඇත.
මෙම ජාවාරම මගින් අදාළ සමාගම අතිවිශාල ධනස්කන්ධයක් උපයා ඇති අතර රේගු භාරයට ගත් කන්ටේනර් නැවත හරවා යැවීමට කටයුතු කළ ද ඊට පෙර ලංකාවට සූක්ෂ්ම ලෙස ගෙන ආ කසළ බැහැර කිරීමට හෝ එම ජාවාරම නතර කිරීමට කිසිදු පියවරක් ගෙන නොමැත.
(ඡායාරූපය :emanisa.lk)
(උපුටාගැනීම – https://theleader.lk)