රාජපක්ෂ පවුල ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සමග එක්ව සිදු කර තිබෙන බව පෙනෙන රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණය සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂය විසින් සාධාරණ අභියෝගයක් කර තිබේ. එනම්, පාර්ලිමේන්තුව වහා කැඳවා බහුතර බලය පෙන්වන ලෙසයි.
මෙය වර්තමාන ගැටලුව විසඳාගැනීමට තිබෙන හොඳම මාර්ගයයි. රාජපක්ෂ පවුලට පාර්ලිමේන්තු බහුතරය හෝ පෙන්වා බලය තහවුරු කරගැනීමට හැකි නම්, ඔවුන් බලය ඩැහැගත් ආකාරය කුමක් වුවත් එතනින් එහාට ආණ්ඩුව කරගෙන යන්නට පුළුවන.
ඇත්ත ගැටලුව ඇත්තේ රාජපක්ෂ පවුල් පාලනය සමග නොව, 62 ලක්ෂයකගේ ජනවරම පාවා දුන් ජනාධිපති සිරිසේනගේ තුච්ඡ, නින්දිත හැසිරීමෙහි ය. ඔහුගෙන් බලාපොරොත්තු වූ නායකත්වය රටට නොලැබුණි. ඒකට එජාපය පළි නැත. ඔහු වැනි අපරිණත, දැක්මක් නැති, අවිශ්වසනීය පුද්ගලයකු මෙහෙයවා ගැනීමට තරම් බුද්ධිමත් නායකත්වයක් එජාපයට ද නැත. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට එරෙහිව එන දෝෂාභියෝගයකට සහයෝගය දී ඔහු දේශපාලනයෙන් ඉවත් කරගැනීම රාජපක්ෂ පවුල් පාලනයට වුව නරක නැත. මෙවැනි අස්ථාවර, දීන පුද්ගලයන් සමග ඉදිරියට යාමේ අවදානම රාජපක්ෂ පවුල හෝ ගත යුතු නැත.
කෙසේ වෙතත්, මේ බල අරගලය අප නම් දකින්නේ ප්‍රජාතන්ත්‍රවාදයට එල්ල වූ තියුණු අභියෝගයක් ලෙසයි. ඇත්තෙන් ම එය රාජපක්ෂ පවුලෙන් එල්ල වූ අභියෝගයකටත් වඩා පවත්නා ක්‍රමයෙන් ම මතු වූ අභියෝගයක් ලෙස සැලකිය හැකි ය.
රනිල් වික්‍රමසිංහගේ නායකත්වයෙන් යුත් පාලනය විසින් පසුගිය වසර තුනහමාර තුළ ඇත්තෙන් ම ක්‍රියාත්මක කරමින් සිටියේ ගතානුගතික එජාප දේශපාලනයකට වඩා සිවිල් සමාජයේ යහපාලන වැඩසටහනයි. මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදී පදනම් ශක්තිමත් කිරීමට ඉවහල් වූ රාජ්‍ය ප්‍රතිසංස්කරණ රැසක් සිදු වූයේ එහි ප්‍රතිඵලයක් ලෙසයි. 19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය, තොරතුරු දැනගැනීමේ පනත, අතුරුදහන් කිරීම සම්බන්ධ නීති, හානිපූර්ණය සම්බන්ධ නීති, සාක්ෂිකරුවන් හා වින්දිතයන් ආරක්ෂා කිරීම සම්බන්ධ නීති, ජාතික සංහිඳියාව ඇති කිරීම සඳහා ගත් සුළු හෝ පියවර, ජාතිවාදී ප්‍රවණතා පසුබැස්වීම ආදිය උදාහරණ ලෙස දැක්විය හැකි ය.
රනිල් වික්‍රමසිංහගේ නායකත්වයට අප ගරු කළ යුත්තේ ගතානුගතික එජාප දේශපාලනය යටපත් කරගෙන ප්‍රජාතාන්ත්‍රික පදනම් ශක්තිමත් කිරීමට ඔහු ඇතුළු පිරිස කළ කැපකිරීම වෙනුවෙනි. එහෙත්, මේ වන විට එජාප ම එය අතහැර දමන තැනකට තල්ලු වී හමාර ය. මෙම අර්බුදයෙන් ජයගත නොහැකි වුවහොත් රනිල්ගේ සමස්ත දේශපාලන ගමන ම අනතුරේ ය. දේශපාලනික තුලනය නිර්මාණය කරගැනීමට නොහැකි වීම ඔහුගේ ගැටලුවකි. මහ බැංකු බැඳුම්කර මගඩිය වැනි දේ සමග පැටලීම වැනි බරපතල වැරදි සම්බන්ධයෙන් අදාළ වන්දි ඔහු ගෙවා ගත්තාට අපට නම් කිසිම ගැටලුවක් නැත.
මේ වන විට ප්‍රජාතන්ත්‍රවාදය පවත්නා ක්‍රමයට දරුණු අභියෝගයක් වී තිබේ. ඵලදායී නොවන, අකාර්යක්ෂම, අසාර්ථක රාජ්‍ය අංශයක් නඩත්තු කිරීමට සෑම මසකම ගෙඩි රුපියල් බිලියනවලින් ම සීයක් හෙවත් රුපියල් කෝටි 10,000ක් පමණ සෙවිය යුතු ආණ්ඩුවක් කරගෙන යන එක ලේසි වැඩක් නොවේ. එසේ කළ යුතු වන්නේ සියල්ල රජයෙන් නොමිළේ ඉල්ලා සිටින, බදු ගෙවන්නට ද අකැමැති, වැඩ කරන්නට ද සූදානම් නැති වාමාංශික ගොබ්බ සංස්කෘතියකට යට වී තිබෙන රටක ය. රාජ්‍ය දේපල නොවිකුණා, බදු වැඩි නොකර, ණය නොගෙන, සල්ලි අච්චු නොගසා ඔය වැඩේ සක්කරයාටවත් කරන්නට බැරි ය. මේ මොහොතේ ආණ්ඩු පාලනය යනු ජනප්‍රිය වීමේ මාර්ගයක් නොවේ.
අමතක නොකළ යුතු කාරණය වන්නේ ආණ්ඩුවට එරෙහිව මුලින් ම නැගිටින බලවේගය රජයෙන් ම යැපෙන අය බවයි. මේ මොහොතේ ලංකාව මුහුණ දී සිටින බරපතල ම ගැටලුව මෙකී රාජ්‍ය විනයයි. එය ඇති කරන්නට එක්සත් ජාතික පක්ෂයට හැකියාව නොතිබුණ අතර, එකී සමාජ බලවේගය විසින් ම ප්‍රජාතාන්ත්‍රික පදනම් දැඩි ලෙස අභියෝගයට ලක් කරන ලදී. හෙම්බිරිස්සාවටත් වර්ජන කරන, පාරට බැස මහජන පීඩාවන් ඇති කරන සමාජයක් විනයගත කර ගැනීමේ අභියෝගය රාජපක්ෂ පවුල විසින් දැන් භාරගෙන තිබේ.
කවුරු බලයට ආවත්, මේ රටට අර්බුදයෙන් ගොඩඑන්නට නම්, වැඩ කරන ජනයා හා ව්‍යවසායකයන් දිරිගැන්විය යුතු ය. දැවැන්ත රජයක් හා අධි පාරිභෝජනවාදී දේශපාලක හා ඉහළ නිලධාරි පැළැන්තියක් නඩත්තු කරමින්, ව්‍යවසායකයන්ට ලාභ ද උපයා දෙමින්, තමන් ද යන්තම් හෝ දිවිගැටගසා ගන්නා අන්දමට මේ රටේ වැඩකරන ජනයා වැඩ කළ යුතු ය. තවදුරටත් ඇත්ත කියනවා නම්, මැදපෙරදිග රැකියා කරන ගැහැණුන්, වතු කම්කරුවන්, ඇඟලුම් ශ්‍රමිකයන් ආදී වැඩ කරන ගැහැණුන් මරවා හෝ මේ රජය නඩත්තු කරන්නට සල්ලි හම්බ කර ගත යුතු ය. ඒ සඳහා රටේ නව ව්‍යවසාය ඇති කළ යුතු ය. ආයෝජකයන් ගෙන්වා ගත යුතු ය. ජාත්‍යන්තරය සමග ෂේප් එකේ සිටිය යුතු ය. බැරි නම් ආනයන සීමා කළ යුතු ය. පටි තද කරගත යුතු ය. පරිභෝජනය සීමා කර ගත යුතු ය.
ඔය වැඩේට මේ රටේ දැඩි මහජන විනයක් අවශ්‍ය ය. පසුගිය ආණ්ඩුව එය ඇති කරන්නට අසමත් විය. ප්‍රජාතාන්ත්‍රික සමාජයක වගකීම්සහගත පුරවැසිභාවය පිළිබඳ මේ රටේ ජනතාවට තිබූ නොදැනුම හා උවමනාවක් නැතිකම ද එයට හේතු විය. ක්‍රමයේ පැවැත්ම සඳහා අවශ්‍ය වුණේ මහජන විනය ඇති කළ හැකි දැඩි පාලනයකි. ක්‍රමයට අවශ්‍ය දෙය දැන් ලැබී ඇත.
අප වනාහි සිල්ලර ක්‍රම විරෝධී වාමාංශිකයන් නොවේ. අප විශ්වාස තබන්නේ මනෝරාජික විප්ලව නොව, විප්ලවීය සමාජ පරිණාමයන් ය. දෘෂ්ටිවාදීමය ලෙස අපි ප්‍රජාතන්ත්‍රවාදය විශ්වාස කරන්නෙමු. එහෙත්, ප්‍රජාතන්ත්‍රවාදය එකම දෘෂ්ටිවාදය නොවන බව ද, ඉතිහාසය විසින් හැමවිට ම ප්‍රජාතන්ත්‍රවාදය පමණක් තෝරාගෙන නැති බව ද අපි දන්නෙමු. එහෙත්, අපි අද මෙන් ම හෙටත් ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් පෙනී සිටින්නෙමු. ඒ සඳහා අරගලය බාලගිරි දෝෂය මෙන් අද නොවේ හෙට පන්නයේ එකක් නොවේ. එය අද, මෙතන ම කළ යුතු දෙයකි. සමාජවාදයට මග සැලසෙන්නේ අප අද සමාජ ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් කරන අරගලය ඔස්සේ ය.
ලංකාවේ රාජපක්ෂ පවුල් පාලනය නැවත ස්ථාපිත වීම රටට හොඳක් වෙන්නට නම්, රාජපක්ෂ පවුල ඉතිහාසයෙන් පාඩම් ඉගෙන ගත යුතු ය. අඩු තරමේ ප්‍රජාතන්ත්‍ර විරෝධයේ හා කෑදරකමේ සීමාවන් හෝ වටහා ගත යුතු ය. ලංකාවේ දේශපාලනය තුළ සුපිරිසිදු නායකත්වයන් බලාපොරොත්තු විය නොහැකි මුත්, අඩු තරමේ අවම විකාරරූපිත්වයක් හෝ බලාපොරොත්තු වීමේ අයිතිය මේ රටේ ජනතාවට තිබේ.