Saturday, March 7, 2026

ඊශ්‍රායල්විරෝධී ස්ටිකරයෙන් පොලිසියට බරපතල නිර්දේශ මාලාවක්..

Must read

 

සිය සේවා ස්ථානයේ කසළ බඳුනක ඊශායල්විරෝධී ස්ටිකරයක් ඇලවී⁣මේ සිදුවීමකට අදාළව මොහොමඩ් රුෂ්ඩි නමැති තරුණයා ත්‍රස්තවාදයේ වැළැක්වීමේ පනත යටතේ අත් අඩංගුවට ගෙන රඳවාතැබීමෙන් ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය ඔහුගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇතැයි ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව තීන්දු කර ඇත.

ඒ අනුව මෙම අත්අඩංගුවට ගැනීමෙන් හා රඳවා තැබීමෙන් මොහොමඩ් රුෂ්ඩිගේ භාෂණයේ ප්‍රකාශනයේ නිදහස, ආගමක් ඇදහීමට ඇති නිදහස, හෘද සාක්ෂියේ නිදහස, අත්තනෝමතික අත්අඩංගුවට ගැනීමෙන් හා රඳවා තබා ගැනීමෙන් වැළකීමේ නිදහස හා එහා මෙහා යාමේ ඇති නිදහස ඇතුළුව මානව හිමිකම් රැසක් උල්ලංඝනය කර ඇතැයි පවසමින් එම කොමිසම විශේෂ නිවේදනයක් නිකුත් කර ඇත.

මෙම සිදුවීම පාදක කරගෙන ත්‍රස්තවාදයට අදාළ වැරදි සම්බන්ධයෙන් විමර්ශන මෙහෙයවීමේදී සාධාරණ සැකය යන්න තහවුරු වන නිර්ණායක ඇතුළත් මාර්ගෝපදේශ කඩිනමින් සකසන්නැයි මානව හිමිකම් කොමිසම පොලිස්පතිවරයාට නියෝග කර ඇත.

මූලික කරුණු නමයක් ඇතුළත් වන සේ ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව ලබා දී ඇති මෙම නිර්දේශ 2025 ජූලි 15 වැනිදාට පෙර ක්‍රියාත්මක කර ඒ සම්බන්ධයෙන් වූ වාර්තාවක් තමන්ට ලබා දෙන්නැයි ද එහි සඳහන් කර තිබේ.

ඊශ්‍රායාලය විසින් පලස්තීනයට එල්ල කරනු ලබන ප්‍රහාරවලින් සිදුවන මිනිස් ඝාතනවලට විරෝධය දක්වමින් කොම්පඤ්ඤ වීදිය සුපිරි සාප්පු සංකීර්ණයක ප්‍රවේශ ශාලාවේ කසල බඳුනක ස්ටිකරයක් ඇලවීමේ සිදුවීමට මොහොමඩ් රුෂ්ඩි අත්අඩංගුවට ගනු ලැබුවේ පසුගිය මාර්තු 22 වැනිදාය.

ඉන්පසුව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රැඳවුම් නියෝගයක් ලබාගෙන ඔහු ත්‍රස්ත විමර්ශන කොට්ඨාශයේ රඳවා ගනු ලැබීය.

මෙම අත් අඩංගුවටගැනීම අදහස් ප්‍රකාශ කිරීමේ අයිතියට බරපතල තර්ජනයක් බව කියමින් මාධ්‍ය හා සිවිල් සංවිධාන ඊට විරෝධය පළ කළේය.

By Bingun Menaka Gamage

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article