Friday, September 20, 2024

දෙමළ දේශපාලන සිරකරුවන්ගේ නිදහස වෙනුවෙන් පාර්ලිමේන්තුවේ ඉල්ලීමක්

Must read

දේශීය හා විදේශීය වශයෙන් දැඩි ලෙස දෝෂ දර්ශනයට ලක්ව තිබෙන ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යොදා ගනිමින්,අත්අඩංගුවට ගෙන දීර්ඝ කාලයක් තිස්සේ සිරගත කොට සිටින දෙමළ පිරිසක් නිදහස් කිරීමට කටයුතු කරන මෙන් උතුරේ දෙමළ ජනතා නියෝජිතයකු පාර්ලිමේන්තුවේදී ඉල්ලා තිබේ.
යාපනයේ තිරුනෙල්වේලියෙන් ආරම්භ කර රට පුරා රාජ්‍ය අනුග්‍රහයෙන් හතලිස් එක් අවුරුද්දකට පෙර දියත් කළ කළු ජූලියේ දෙමළ 53ක් එකතැන මරා දැමු වැලිකඩ බන්ධනාගාරයට ගොස් සිරකරුවන්ගේ සුවදුක් විමසීමෙන් අනතුරුව දෙමළ ජාතික ජනතා පෙරමුණේ ප්‍රධාන ලේකම්, සෙල්වරාසා ගජේන්ද්‍රන් එදිනම පාර්ලිමේන්තුව හමුවේ කියා සිටියේ වර්තමාන සිරකරුවන්ගේ අපේක්ෂාව පොදු සමාව හෝ ඇප මත නිදහස් වීම බවයි.
“ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ මේ තරුණයන් අත්අඩංගුවට අරගෙන රදවා තබලා තියනවා. පුද්ගලයන් 11 දෙනකු වසර 15 සිට 29 දක්වා සිරගතව සිටිනවා. ඔවුන් අතර ෂන්මුගලිංගම් සූර්යකුමාර්, ආනන්ද සුදාකරන්, තංගවේල් නිමලන්, උමර් ගඩාපි, රාමචන්ද්‍රන් සහ කෙලන් වැලන්ටිනෝ දඩුවම් නියමකළ සිරකරුවෝ. සිවකුමාර් සහ පාර්තීපන් වසර 29ක් සිරගතව සිටිනවා. එලෙසම නඩේසන් කුගදාසන්, තම්බියියා ප්‍රකාශ් සහ සෙල්වරාසා කිරුබාකරන් රිමාන්ඩ් සිරකරුවන් ලෙස වසර 15ක් රඳවාගෙන ඉන්නවා. ඔවුන්ගේ අපේක්ෂාව පොදු සමාව හෝ ඇප මත නිදහස් වීමයි. ඒ නිසා ඔවුන් නිදහස් කිරීමට කටයුතු කළ යුතුයි.”
ආණ්ඩුවේ සැලසුම් සහගත ක්‍රියාමාර්ග නිසා දෙමළ තරුණයන්ට ආයුධ අතට ගැනීමට සිදුවු  බව සිහිපත් කළ මන්ත්‍රීවරයා මෙතෙක් සිදුව ඇති අපරාධවලට වගවීමක් අවශ්‍ය බවද කියා සිටියේය.“මේ ආණ්ඩුවේ සැලසුම් සහගත ක්‍රියාමාර්ග නිසා තමයි අපට සන්නද්ධ අරගලයක් ආරම්භ කරන්න සිදු වුණේ. ඒ නිසා මේ ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත අහෝසි කළ යුතුයි. මෙතෙක් සිදුවී ඇති දෙයට වගවීමක්  අවශ්‍යයි. වැරදි කරුවන්ට දඩුවම් දිය යුතුය.”

සෙල්වරාසා ගජේන්ද්‍රන් මන්ත්‍රීවරයා තව දුරටත් පාර්ලිමේන්තුව හමුවේ ඉල්ලා  සිටියේ ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත ඉවත් කර, දෙමළ ජනයාගේ ස්වයංපාලනය සඳහා පියවර ගන්නා ලෙසයි.

“ඊට වඩා අපි මේ රටේ දේශයකට අයිති අය, අපි අපිවම පාලනය කරලා තියෙනවා. අපේ දේශය පිළිගත යුතුයි. අපගේ ස්වයං නිර්ණය පිළිගත යුතුය. අපේ දේශපාලන අයිතිවාසිකම් පිළිගත යුතුයි. ෆෙඩරල් දේශපාලන ක්‍රමයක් ගෙන ආ යුතුයි. ඉතින් මේ ආණ්ඩුව කරපු වැරැද්ද නිසා අපිට ආයුධ අතට ගන්න සිද්ධ වුණා. ඉතින් ඔයාලා ඒක පාලනය කරන්න ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ගෙනාවා. ඒ නීතිය අපේ සමාජය විනාශ කරලා. ඒ නිසා වැරදි පිළිඅරගෙන ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ඉවත් කර අපේ දේශපාලන අයිතිවාසිකම් පිළිගෙන වැරදිවලට දඬුවම් දීමට ඉදිරිපත් විය යුතුයි.”

දෙමළ ජාතික ජනතා පෙරමුණේ ප්‍රධාන ලේකම්, සෙල්වරාසා ගජේන්ද්‍රන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා සමගම දේශපාලන සිරකරුවන්ගේ සුවදුක් විමසාබැලීම සදහා ජුලි 23 වැනිදා කොළඹ, මැගසින්  බන්ධනාගාරයට ගොස් සිට මානව හිමිකම් ක්‍රියාධර මාරිමුත්තු සතිවේල් පියතුමා කළු ජූලියේ 41 ක් වැනි වසර අනුස්මරණය කිරීම සදහා “උතුර – දකුණ සහෝදරත්වය” විසින් බොරැල්ල කනත්ත ඉදිරිපිටදී සිදු කළ අනුස්මරණයට එක්වෙමින් අවධාරණය කර තිබුනේ දීර්ඝ කාලයක් තිස්සේ රදවාගෙන සිටින දේශපාලන සිරකරුවන්ගේ නඩු කල් හැරීම තුලින් ද සිදු වන්නේ ඔවුන් මානසිකව මරණයට පත් කිරීමක් බවයි.

“අද අපි ගියා බන්ධනාගාරයට ඉන්න දේශපාලන සිරකරුවන් බලන්නට. එතන අවුරුදු 29 ක් සිරගෙදර ඉන්නවා. ඇයි ඔවුන්ට යුක්තිය ඉටු කරන් නැත්තේ. ඥානසාරට ඇප දුන්නා. හිරුනිකාට ඇප දුන්නා. ඇයි අවුරුදු 29 ක් සිරගතවෙලා ඉන්න මේ තරුණයන්ට දෙන්න බැරිව ඉන්නේ. එහෙනම් මේකත් ඝාතනයක්. 58 දෙනෙක් ඝාතනය කළා වගේම අද ඉන්න දේශපාලන සිරකරුවන් පවා ඝාතනය කරනවා. ඒ නඩුව ඔවුන් අසන්නේ නැහැ. කල් දානවා. කල් දානවා. කල්  දානවා කියන්නේ ඔවුන් මානසිකව මරණවා.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ  අත්අඩංගුවට ගෙන දීර්ඝ කාලයක් තිස්සේ සිරගත කොට සිටින දෙමළ ජාතිකයන් නිදහස් කරන ලෙස සෙල්වරාසා ගජේන්ද්‍රන් මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවේදී කළ ඉල්ලීමට ප්‍රතිචාර දක්වමින් අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය  ජනාධිපති නීතිඥ ආචාර්ය  විජයදාස රාජපක්ෂ සදහන් කළේ මරණීය දණ්ඩනය සහ ජීවිතාන්තය දක්වා සිරදඩුවම් නියමු වු සිරකරුවන්ට මෙන්ම දීර්ඝ කාලීනව රදවා සිටින සිරකරුවන්ට ද යහපත් කල්ක්‍රියාව මත නිදහස ලැබීමේ ක්‍රමවේදයක් සකස් කර ඇති බවයි.

එම රීතීන් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ විට ඒවා සම්මත කර දෙන ලෙසත් විජයදාස අමාත්‍යවරයා සෙල්වරාසා මන්ත්‍රීවරයාගෙන් ඉල්ලා තිබුනි.

“ඒ දිගු රේගුලාසි, රිතී අපි හදලා ඉදිරියේ දී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවා. ඒ රීති සම්මත උනාට පස්සේ ඔබතුමා ඔය කියන හුගාක් දෙනෙක්ගේ ප්‍රශ්න විසදෙනවා. ඒක ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත සම්බන්ධයෙන් විතරක් නෙමෙයි. රටේ සමස්ථයක් විදිහට අපිට තෝරලා බේරලා සිංහල, දෙමළ කියලා වෙන් කරලා නිදහස් කිරීමේ ක්‍රමයක් නැහැ. ඒක කවුරුත් පිලිගන්න ක්‍රමයක් නෙමෙයි. පොදුවේ ක්‍රම වේදයක් විදිහට, සාධාරණ ක්‍රම වේදයක් විදිහට අපි ඉදිරිපත් කරන්නම් පාර්ලිමේන්තුවට. ඔබතුමාලා ඒක සම්මත කරලා දෙන්න.”

theleader.lk

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article