Saturday, November 23, 2024

මනුෂ්‍යත්වය සහ ආදරය තියෙන්නේ හැම දේකටම ඉහළින් සම්මානනීය සාහිත්‍යවේදීනී සඳරැසී සුදුසිංහ

Must read

සාහිත්‍ය නිර්මාණයකින් හඬක් නඟන්න බැරි මිනිස්සු වෙනුවෙන් හඬ අවදි කිරීම
– ‘ගිනි වැදුණු පියාපත්’ බිහිවු‍ෙණ් යාපනය පුස්තකාලයට දැක්වූ අසීමිත ආදරය නිසයි

“මනුෂ්‍යත්වය සහ ආදරය තියෙන්නේ හැම දේකටම ඉහළින් කියල මං විශ්වාස කරනවා. ඒ හින්දා මං ලියන්නේ ඒ වෙනුවෙන්. අනිත් කාරණය තමයි මම මනුෂ්‍යත්වය සහ ආදරය ගැන ලියන්නෙ මගේ ශෛලියට. ඒක මට ආවේණික වුණු ශෛලියක්.”

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යාව පිළිබඳ ගෞරව උපාධිධාරිනියක වන සඳරැසී සුදුසිංහ නිර්මාණවේදිනිය මෑත කාලයේ සාහිත්‍ය උපයෝගී කරගෙන විශාල සමාජ ශෝධනයක් සිදු කළ සාහිත්‍යවේදිනියකි. පුරාවිද්‍යාවත්, සාහිත්‍යයත් අපූරුවට ස්වකීය නිර්මාණ කාර්යය සඳහා යොදා ගත් සඳරැසී සුදුසිංහ,ඇයට ම ආවේණික වූ ලේඛන ශෛලියකින් නිර්මාණ කාර්යයේ නියැළෙන්නී ය. ඇය විසින් රචනා කරන ලද ‘ගිනි වැදුණු පියාපත්’ කාව්‍ය සංග්‍රහයට 2022 විද්‍යෝදය සහ රජත පුස්තක සම්මාන උලෙළවල දී වසරේ විශිෂ්ටත ම කාව්‍ය සංග්‍රහයට හිමි සම්මානය හිමි විය. අද අප සමඟ කථා බහට එක් වන්නේ, ඒ සොඳුරු නිර්මාණවේදිනියයි. 

ඔබ මනුෂ්‍යත්වය සහ ආදරය සාහිත්‍ය නිර්මාණවලට අරන් එන්න පටන් ගන්නේ කොයි කාලෙද?

“මට මතක ති‌යෙන විදිහට පහ වසර, හය වසර වගේ ඉඳන් මම කවි, රචනා වගේ දේවල් ලියුවා. උසස් පෙළ කාලේ වෙනකොට මගේ නිර්මාණ නිසා මම පාසලේ ගොඩක් ජනප්‍රිය කෙනෙක් වුනා. ගුරුවරු පවා මට කථා කළේ ‘කවිකාරී’කියල. (සිනාසී)මං හිතන්නේ ඒකට මට ආභාසය ලැබෙන්නෙ මගේ තාත්තගෙන්.මනුෂ්‍යත්වය, ආදරය එක්ක සාහිත්‍ය නිර්මාණ කරන්න මට කියල දුන්නෙත් තාත්තා. ඒ හින්දා පොඩි කාලෙ ඉඳන් ම මම සාහිත්‍ය නිර්මාණ කළා.”

ඔබේ සාර්ථක ගමනට ඒ තරම් ශක්තියක් වුණු ඔබේ තාත්තා ගැන සඳහන් කළොත්?

“ඔව්, මං හිතන්නේ මගේ ගමනට විශාල ශක්තියක්, ආලෝකයක් වුණේ මාගේ තාත්තා.තාත්තගෙ නම සිරිපාල සුදුසිංහ. තාත්තට කලා හැකියාවන් ගොඩක් තිබුණා. ඔහු දක්ෂ චිත්‍ර ශිල්පියෙක්. ගමේ වැදගත් කලා කටයුත්තක දි මුල් තැන ගත්තෙ තාත්තා. තාත්තට කවි ලියන්නත් පුළුවන්. ඒ හැම දේටම වැඩියෙන් තාත්තා මනුෂ්‍යත්වයෙන් සහ ආදරයෙන් පිරුණු මිනිසෙක්. හැම වෙලාවෙම සමාජ අසාධාරණය වෙනුවෙන් පෙනී සිටිය කෙනෙක්.”

හඬක් නඟන්න බැරි මිනිස්සු වෙනුවෙන් හඬක් නඟන්නට සාහිත්‍ය යොදා ගන්න ඔබට ආභාසය ලැබෙන්න ඇත්තෙ ඔබේ පියාගෙන්. මම නිවැරදි ද?

“ඔව්, ඔබ නිවැරදියි. තාත්තා සමහර අවස්ථාවල තනියෙන් මිනිස්සු වෙනුවෙන් පෙනී සිටියා. මට ඒ ආභාසය ලැබෙන්නෙ තාත්තගෙන්. ඇත්තටම අපි සාහිත්‍ය නිර්මාණයකින් කරන්නෙත් හඬක් නඟන්න බැරි මිනිස්සු වෙනුවෙන් හඬ අවදි කරන එක.”

පාසල් අධ්‍යාපනයෙන් පස්සෙ ඔබ පේරාදෙණිය විශ්වවිද්‍යාලයට එනවා. පේරාදෙණිය කියන්නෙ කලාව, සාහිත්‍යයට හොඳ තෝතැන්නක්. ඒ අතීතය ගැන මතක් කළොත්?

“පේරාදෙණිය විශ්වවිද්‍යාලය කියන්නෙ මට තිබුණු හීනයක්. ඒ හීනය ගොඩනැගෙන්නෙ පොත් එක්ක. පොඩි කාලෙ ඉඳන් මං පොත් කියවන්න ගොඩක් ආසයි. හැබැයි මට පුස්තකාලයක් තිබුණෙ නැහැ. අපේ පාසලෙත් පුස්තකාලයක් තිබුණෙ නැහැ. ඒ හින්ද පාසල් යන කාලෙ ඉඳන් පේරාදෙණිය විශ්වවිද්‍යාලෙට එන්න හීනයක් තිබුණා. පේරාදෙණියෙ තියෙනවා විශාල පුස්තකාලයක්. පස්සෙ කාලෙ ‘ගිනි වැදුණු පියාපත්’ වගේ කාව්‍ය නිර්මාණයක් බිහි වෙන්න හේතු වුණෙත් යාපනය පුස්තකාලයට දක්වපු අසීමිත ආදරය. අනිත් කාරණය තමයි ඔබ සඳහන් කළා වගේ පේරාදෙණිය කවියට, නවකතාවට හොඳ තෝතැන්නක්. මගේ පළවෙනි කවි පොත ‘සිත් අහස’ සහ පළවෙනි නවකතාව ‘සොඳුරු හිරු’බිහිවුණේ පේරාදෙණියෙදි.”

ඔබ පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙ දි මුඛ්‍ය විෂය විදිහට හදාරන්නෙ, පුරාවිද්‍යාව. හැබැයි ඔබ නිතරම භාෂාව, සාහිත්‍යයට ඇළුම් කළා. මම නිවැරදියි නේද?

“ඔව්, ඔබ හරියට ම හරි. මම පුරාවිද්‍යාව විශේෂ උපාධියට හැදෑරුවත් භාෂාව, සාහිත්‍ය අමතක කළේ නැහැ. පුරාවිද්‍යාව හදාරන ගමන් අතිරේක විෂය විදිහට සිංහල හැදෑරුව. මං හිතනව මගේ සාර්ථකත්වයට මේ විෂයන් දෙකම බලපෑව කියල.”

ඔබ හරිම අපූරු සාහිත්‍ය නිර්මාණවේදිනියක්. මං එහෙම කියන්නෙ පුරාවිද්‍යාව, සාහිත්‍ය කියන විෂය පථයන් දෙකම ඔබ ස්පර්ශ කරනවා. ඒ විෂය පථයන් දෙකම අන්‍යෝන්‍ය වශයෙන් නිර්මාණකරණයට යොදා ගන්නවා. ඒ ගැන යමක් පැහැදිලි කරන්න පුළුවන්ද?

“මම ඒකට උත්තරය මෙහෙම ආරම්භ කරන්නම්. මම කවදාවත් පුරාවිද්‍යාව නැතුව සාහිත්‍ය කථා කරල නැහැ. මේ විෂය පථ දෙකම ආත්මීය වශයෙන් මාත් එක්ක බැඳීල තියෙනවා. මගේ සෑම සාහිත්‍ය නිර්මාණයකට ම මම පුරාවිද්‍යාව භාවිත කරල තියෙනවා.ගල් කණුවකටත් අඬන්න පුළුවන් කියල මං විශ්වාස කරනවා. ඒ හින්දා පුරාවිද්‍යාවත් එක්ක ගඩොලකට, චිත්‍රයකට වගේම ඒ පුරාවස්තු ඇතුළෙ තියෙන සාහිත්‍යයටත් මම ආදරේ කළා. පුරාවිද්‍යා ගවේෂණයකට, කැණීමකට ගියත් කවිය මට අමතක වුණේ නැහැ. නීලගිරි සෑය උඩ පළු ගහ යට ඉඳන් මම කවි ලීවා. මල්වතු ඔය ගවේෂණයට ගිය වෙලාවේ එතන ඉඳන් කවි ලීවා. ඒ කවිය මගේ ‘සිත් අහස’ කියන කවි පොතේ ‘මල්වතු ඔය අසබඩ’ කියන නමින් ඇතුළත් වෙනවා. ඒ කවිය මෙහෙමයි.

නෙතු දෑල පැටළුනත් ඔහේ
ගං දෑල දුරයි ඔය දිගේ
සඳ සිසිල වුණත් රෑ යාමේ
පිනි බිංදු නැතිව පතිත වේ….”

පුරාවිද්‍යාව කවියට යොදා ගත්ත අවස්ථා ගැන තව ටිකක් විස්තර කරන්න පුළුවන්ද? ඒක හරිම රසවත් මාතෘකාවක්.

“මගේ ‘සිත් අහස’ කියන කවි පොතේ තියෙනවා ‘මම’ කියලා කවියක්.මේ කවිය ලියන්න මම සෙල්ලිපියක් යොදා ගත්තා. ඒ කවිය මෙහෙමයි,

“නොකියවූ සෙල්ලිපියක්
වගෙයි මම,
සලපතළමළුවේ රැදුණු…
ඔබ පිදුමට යනෙ’න
බැතිමතුන්ගෙ

පයට පෑගෙන”මේ විදිහට මම පුරාවිද්‍යාව හරි ලස්සනට සාහිත්‍ය එක්ක මුහු කළා.”

ඔබ වසර ගණනාවක අත්දැකීම් තියෙන පුවත්පත් ලේඛිකාවක්. පත්තරවලට ලියන්න පටන් ගත්තෙ විශ්වවිද්‍යාලෙ ඉගෙන ගන්න කාලෙ ද?

“ඔව්, මම මුලින් ම විශ්වවිද්‍යාලෙ ඉගෙන ගන්න කාලෙ පත්තරවලට කවි ලීවා. ඒ දවස්වල බාහිර උපාධියට වෙන් වුණු පුවත්පතක් තිබුණා,‘උපාධිය’ කියල. මම මේ පත්තරේට පුරාවිද්‍යාව ගැන ලිපි ලීවා. උපාධිය සම්පූර්ණ කළාට පස්සෙ මම මව්බිම පත්තරේ වෘත්තීය මාධ්‍යවේදිනියක් විදිහට මාධ්‍ය කලාවට එකතු වුණා. ඇත්තටම පුරාවිද්‍යාව මාධ්‍ය කලාව ඇතුළෙ හසුරුවන්න ඕනි කොහොමද? කියල මම ඉගෙන ගත්තෙ මව්බිම පත්තරෙන්. ඒ වගේම මේ වෙලාවෙ මව්බිම හිටපු කර්තෘ මණ්ඩල ප්‍රධානී තුෂාර ගුණරත්න මහතා ගෞරවයෙන් මතක් කරනවා.”

ඔබ සිනමාකරුවන් ගැනත් පුවත්පත් ලිපි රචනා කළා නේද? ඒ ගැනත් සඳහන් කළොත්?

“ඔව්, ‘වසන්තයේ දවසක්’චිත්‍රපටය අධ්‍යක්ෂණය කළ ටී.අර්ජුන හෙවත් තංගරාජා අර්ජුන ගැන මම පත්තරේට ලිපියක් ලීවා. ඔහු ඒ ලිපිය ගැන ගොඩක් සතුටු වුණා. ඇත්තටම ටී.අර්ජුන මහත්මයා මගේ ජීවිතයේ වටිනා මිනිසෙක්. මම මගේ ‘ගිනි වැදුණු පියාපත්’ කාව්‍ය සංග්‍රහයෙ පිදුම පුද්ගලයන් දෙදෙනෙකුට වෙන් කළා. එක්කෙනෙක් රත්න ශ්‍රී විජේසිංහ කියන මහා කවියා. අනෙක් පුද්ගලයා චිත්‍රපට අධ්‍යක්ෂ ටී. අර්ජුන. කලා ක්ෂේත්‍රයේ ගොඩක් වටින මිනිස්සු මට හඳුන්වල දුන්නෙ ටී.අර්ජුන මහත්මයා. ඉතින් සිනමාව ගැන මතක් කරද්දි මට මුලින් ම මතක් වෙන්නෙ, ටී.අර්ජුන.”

‘ගිනි වැදුණු පියාපත්’ කාව්‍ය සංග්‍රහයට වස්තු විෂය වෙන්නේ, යාපනය පුස්තකාලයට ගිනි තැබීම. යාපනය පුස්තකාලයට ගිනි තැබීම කියන සිද්ධිය ඔබට දැනෙන්නෙ කොහොමද?

“මට පුස්තකාලයක් තිබුණෙ නැහැ කියල මම කලින් සඳහන් කළා. ඒ හින්දා මම පුස්තකාලවලට ගොඩක් ආදරෙයි. යාපනය පුස්තකාලයටත් මම අසීමිත ව ආදරය කළා. පස්සෙ කාලෙ මම යාපනය පුස්තකාලය ගැන, යාපනය පුස්තකාලයට ගිනි තැබීම ගැන හොයන්න පටන් ගත්තා. ඒක ගැන හොයන්න හොයන්න දුක වැඩි වුණා. දුක වැඩි වෙන්න වෙන්න කවි එක දිගට ලියවුණා. ඒ දුක තමයි ‘ගිනි වැදුණු පියාපත්’ කාව්‍ය සංග්‍රහය ලියවෙන්න හේතු වුණේ.”

‘ගිනි වැදුණු පියාපත්’ කාව්‍ය සංග්‍රහයෙ තියෙනවා එක් තැනක ‘කුලුණු ධාරා ලොවට පතුරන’ කියල කවියක්. මේ කවියෙ තියෙනවා ‘යාල්පානම් බුදුන් වඳීනු මැන පහදවා තුන් සිත’ කියල හරිම ලස්සන කවි පදයක්. ඒ ගැන පැහැදිලි කරන්න පුළුවන් ද?

“ඔව් ඒ කවිය මෙහෙමයි මම ලීවේ,

“කුලුණු ධාරා ලොවට පතුරන
සහස් සත නෙත නිවා සනහන
ජාති, කුල, ගොත් බිඳක් නොතකන
මහා දම්කඳ දොවන ලොව හට
යාල්පානම් බුදුන් වඳීනු මැන පහදවා තුන් සිත”

මෙතන මම අපේ සංස්කෘතියෙ තියෙන වටිනා ම සංකල්පය ඒ කියන්නේ,‘බුද්ධ’ කියන සංකල්පය පුස්තකාලයට ආරෝපණය කළා. අපේ සංස්කෘතියෙ වටින ම දේවල් පුස්තකාලයට ආරෝපණය කිරීමෙන් මම බලාපොරොත්තු වුනේ, යාපනය පුස්තකාලයේ තිබුණු පූජනීය බව පාඨකයාට තදින් දනවන්න.”

ඔබේ වෙනත් සාහිත්‍ය නිර්මාණ වගේම ‘ගිනි වැදුණු පියාපත්’ කාව්‍ය සංග්‍රයටත් හරි අපූරු විදිහට පුරාවිද්‍යාව යොදා ගන්නවා. උදාහරණ එක්ක ඒ කාරණය පැහැදිලි කරන්න පුළුවන් ද?

“‘ගිනි වැදුණු පියාපත්’ කාව්‍ය සංග්‍රහයෙ එක කවියක් තියෙනවා “අගත අනගත චතුදිශ සැමට පුද දුන් යාපනේ වත්කම”කියල. මම මෙතනදි පැරණි සෙල්ලිපිවල තියෙන “අගත අනගත චතුදිශ ශගශ දිනෙ”කියන පාඨය කවියට යොදා ගන්නවා.ඒ කියන්නේ යාපනය පුස්තකාලයට ගොඩ වෙච්ච ඕනිම කෙනෙකුට තමන්ට ඕනි කරන දැනුම ගන්න අවස්ථාව තිබුණා. එතන ජාති, කුල, භේද කිසි දෙයක් තිබුණේ නැහැ. මේ විදිහට ‘ගිනි වැදුණු පියාපත්’ කාව්‍ය සංග්‍රහය ඇතුළෙත් පුරාවිද්‍යාව හරි අපූරුවට කවියට යොදා ගත්තා.”

‘ගිනි වැදුණු පියාපත්’කාව්‍ය සංග්‍රහය ගැන විශේෂයෙන් සඳහන් කරන්න දෙයක් තියෙනවා ද?

“ඇත්තටම මට තියෙන්නේ ලොකු තෘප්තියක්. සී.ඩබ්ලිව්.ඩබ්ලිව්. කන්නන්ගර මහත්මයගෙ නිදහස් අධ්‍යාපනයෙන් ඉගෙනගෙන ඒ ණය ගෙවන්න මට යමක් කරන්න පුළුවන් වුණා කියල මම හිතනවා. ඒ වගේම යාපනය පුස්තකාලයට ගිනි තැබීම වගේ සිදුවීමක් අනාගතයේ දවසක සිදු නොවෙන්න ම‌ට යම් කිසි දෙයක් කරන්න පුළුවන් වුණා කියලා විශාල තෘප්තියක් තියෙනවා.”

සාහිත්‍ය මාසයේ පවත්වන පළමුවෙනි සාහිත්‍ය සම්මාන උලෙළ තමයි විද්‍යෝදය සාහිත්‍ය සම්මාන උලෙළ. මෙවර විද්‍යෝදය සාහිත්‍ය සම්මාන උලෙළ ඔබට ගොඩක් වැදගත් වුණා. ඒ වටිනා අවස්ථාව මතක් කළොත්?

“ඇත්තටම ඒක අනපේක්ෂිත අවස්ථාවක්. මම හිතුවෙ නැහැ ‘ගිනි වැදුණු පියාපත්’ කාව්‍ය සංග්‍රහයට විද්‍යෝදය සම්මානය ලැබෙයි කියලා. මම සම්මානය ගන්න වේදිකාවට ගිය විදිහවත් මට මතක නැහැ. ඒ තරම් විශාල සතුටක්. සම්මානය අතට ලැබුණු වෙලාවෙ මට පිරුණු ගතියක් දැනුණා. මාව උතුරල යන ගතියක් මට දැනුණා. මොකද මම මේ කාව්‍ය සංග්‍රහය වෙනුවෙන් දිවා රෑ කාලය කැප කළා. මගේ පර්යේෂණ කටයුත්තකටවත් මම එච්චර කාලය කැප කරල නැහැ. ඉතින් ඒ කැපවීමට මට නිසි ඇගයීම ලැබුණා.”

විද්‍යෝදය සාහිත්‍ය සම්මාන උලෙළ තිබිල සති කිහිපයකින් රජත පුස්තක සම්මාන උලෙළ පැවැත්වුණා. ඒ සම්මාන උලෙළේදීත් ඔබට විශිෂ්ටතම කාව්‍ය සංග්‍රහයට හිමි සම්මානය හිමි වුණා. ඒ ස්වර්ණමය අවස්ථාව ගැනත් සඳහන් කළොත්?

“ඒකත් අනපේක්ෂිත අවස්ථාවක්. මම හිතුවේ නැහැ මට ඒ සම්මානය ලැබෙයි කියලා. හැබැයි අවසානයේ මට රජත පුස්තක සම්මානය හිමි වුණා. සම්මානය අතට ගත්ත වෙලාවෙ මට මතක් වුණේ, මගේ දයාබර ගුරුතුමා පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යා අධ්‍යයනාංශයේ මහාචාර්ය පියතිස්ස සේනානායක ඇදුරුතුමා මට කියපු දෙයක්. සර් කීවා “උත්සහාය අතාරින්න එපා. කොහේ හරි ඔයාට සුදුසු තැන තියේවී. දිගටම වැඩ කරන්න” කියලා. කවදහරි දවසක මට සම්මානයක් ලැබෙයි කියලා මුලින් ම මට කීවෙත් පියතිස්ස සේනානායක ඇදුරුතුමා. හැබැයි විද්‍යෝදය, රජත පුස්තක සම්මාන ලබා ගන්න අවස්ථාවේ එතුමා ජීවතුන් අතර නැහැ.”

ඔබේ ඉදිරි සාහිත්‍ය නිර්මාණ ගැනත් යමක් සඳහන් කළොත්?

“සාහිත්‍ය නිර්මාණ කිහිපයක නියැළෙනවා. හැබැයි මට ඒ වෙනුවෙන් කාලය අවශ්‍යයි. නමුත් මම දිගට ම උතුරු, දකුණු සංහිඳීයාව වෙනුවෙන් ලියනවා. මං ලියන හැම අකුරක් ම ඒ වෙනුවෙන්. ඒක අමාරු වැඩක්. හැබැයි මං ඒක කරනවා.”

අවසාන වශයෙන් මම ඔබෙන් මේ වගේ ප්‍රශ්නයක් අහන්න කැමතියි. සාහිත්‍ය ඇතුළෙ නිර්මාණකරුවාට, පාඨකයාට සහ විචාරකයාට තියෙන්නෙ මොන වගේ කාර්යභාරයක් ද?

“මං හිතනවා ලේඛකයාට වැඩිය හොඳ රසවින්දනයක් පාඨකයාට සහ විචාරකයාට තියෙන්න ඕනි කියලා. නිර්මාණකරුවා නිර්මාණයක් කළාට පස්සෙ ඒ නිර්මාණය අයිති පාඨකයාට සහ විචාරකයාට. අනිත් කාරණය තමයි ඕනෑම කෙනෙකුට ඕනෑම නිර්මාණයක් ගැන විචාරය කරන්න අයිතියක් තියෙනවා. ඒකෙ කිසිම ගැටලුවක් නැහැ.”

ධනුෂ්ක පුෂ්පකුමාර
ශාස්ත්‍ර පීඨය
පේරාදෙණිය විශ්වවිද්‍යාලය 

saravaiya.lk

Email Facebook Twitter Pinterest0

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article