Friday, September 20, 2024

පාස්කු ප්‍රහාරය – මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාගය සඳහා දින නියම කෙරේ

Must read

පාස්කු ඉරුදින එල්ල කෙරුණු ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳව ප්‍රමාණවත් බුද්ධි තොරතුරු ලැබී තිබියදී එය වළක්වා ගැනීමට ක්‍රියා නොකිරීම තුළින් මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කළේ යැයි චෝදනා කරමින් හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන, හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර ඇතුළු පිරිසකට එරෙහිව ගොනුකර තිබෙන මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාග කිරීම සඳහා ශ්‍රේෂ්ඨාධිකරණය දින නියමකර තිබේ.

මෙම පෙත්සම් අද (15) අගවිනිසුරු ජයන්ත ජයසූරිය, බුවනෙක අලුවිහාරේ, සිසිර ද ආබෘ, ප්‍රියන්ත ජයවර්ධන, එල්. ටී. බී දෙහිදෙණිය මුර්දු ප්‍රනාන්දු සහ ප්‍රීති පද්මන් සූරසේන යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විත සත් පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබීය.

එහිදී මෙම පෙත්සම් පිළිබඳව විභාගය මාර්තු මස 8, 9 සහ 10 යන දිනවල දී සිදුකරන බව සත් පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල නියෝග කර තිබේ.

එහිදී අදාළ පෙත්සම් වල වගඋත්තරකරුවන් ලෙස නම් කර සිටින හිටපු ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී රවීන්ද්‍ර විජේගුණවර්ධන සහ නාවික හමුදාපති පියල් ද සිල්වා මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ හර්ෂ ප්‍රනාන්දු මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් සිය සේවා දායකයින් වෙනුවෙන් නීතිපතිවරයා තවදුරටත් පෙනී සිටීමක් නොකරන හෙයින් ඔවුන් වෙනුවෙන් තමා අධිකරණය හමුවේ කරුණු දක්වන බව සඳහන් කළේය.

තම සේවා දායකයින් වෙනුවෙන් නීතිපතිවරයා මේ දක්වා විරෝධතා ගොනුකර නොමැති හෙයින් ඔවුන්ට අදාළ විරෝධතා ගොනු කිරීම සඳහා දිනයක් ලබාදෙන ලෙස නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේ ය.

ඒ අනුව අදාළ විරෝධතා පෙබරවාරි මස 8 වනදා ඉදිරිපත් කිරීමට පියවරගන්නා ලෙස හිටපු ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ හිටපු නාවික හමුදාපතිවරයාට කල් ලබාදුන් අධිකරණය එම විරෝධතා වලට අදාළ ප්‍රතිවිරෝධතා තිබේනම් ඒවා පෙබරවාරි මස 15 වන දාට පෙර ගොනුකරන ලෙස පෙත්සම්කාර පාර්ශ්වයට දැනුම් දුනි.

ඊට අමතරව පෙත්සම්වලට අදාළ ලිඛිත දේශන තිබේ නම් ඒවා පෙබරවාරි මස 24 වනදා හෝ ඊට පෙර ගොනුකරන ලෙස අධිකරණය සියලු පාර්ශ්වයන්ට දැනුම් දී ඇත.

ජාතික තවුහිද් ජමාද් සංවිධානය විසින් පාස්කු ඉරුදින එල්ල කළ මරාගෙන මැරෙන ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳව කලින්ම බුද්ධි අංශවලින් ප්‍රමාණවත් තොරතුරු අනාවරණය කර තිබියදී එය වළක්වා ගැනීමට ක්‍රියා නොකිරීම තුළින් ජනතාවගේ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කළේ යැයි චෝදනා කරමින් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඇතුළු හිටපු අමාත්‍ය මණ්ඩල සාමාජිකයින්, හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු, හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර ඇතුළු පිරිසකට එරෙහිව මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම් 12 ඉදිරිපත් කර තිබේ.

ශ්‍රී ලංකා නීතිඥ සංගමය, ප්‍රහාරයෙන් අගතියට පත් වූ පාර්ශ්වයන්, කිතුනු පූජකතුමන්ලා ඇතුළු පාර්ශ්ව 12 ක් විසින් මෙම පෙත්සම් ඉදිරිපත්කර ඇත.

(Adaderana.lk)

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article