අවමංගල්‍යයකට සහභාගී වීමට වෙනත් දිස්ත්‍රික්කවලින් පැමිණීම වැළැක්වීම සඳහා මාර්ග බාධක යෙදීමට සිදුව ඇති බව ගාල්ල මූලස්ථාන පොලිසිය පවසයි.මරණයට පත්ව ඇත්තේ කළුතර දොඩංගොඩ පදිංචිකරුවෙකි. ඔහුගේ අවමංගල්‍යයට සහභාගීවිම සඳහා දොඩංගොඩ පදිංචිකරුවන් පිරිසක් ගාල්ලට පැමිණ සිටින බවත් ආදාහනය පැවැත්වෙන අවස්ථාවේ දී කළුතර හා කොළඹ දිස්ත්‍රික්කවලින් තවත් පිරිස් පැමිණෙන බවටත් පොලිසියට පැමිණිලි ලැබී ඇත.86 හැවිරිදි වියේ පසුවන මෙම පුද්ගලයා කරාපිටිය රෝහලේ දී සෙනසුරාදා (04) මියගියේය. ඔහුගේ දේහය මේ වනවිට ගාල්ල නගරය ආසන්නයේ රිච්මන්ඩ් සිටි නමැති ස්ථානයේ එම පුද්ගලයාගේ දියණියගේ නිවසේ තැන්පත් කර තිබේ.

ඔහු මාර්තු මස 16 වැනි දා ගාල්ලේ පුද්ගලික රෝහලකට ඇතුළත්කර පසුව කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් තිබේ. මරණය සම්බන්ධ හදිසි මරණ පරීක්ෂණයක් පවත්වා නැත. වෛද්‍යවරු පවසන්නේ වාට්ටුව භාර වෛද්‍යවරයා මරණයට හේතු ලෙස දක්වා ඇත්තේ කකුලේ ඇති තුවාලයක් හේතුවෙන් රුධිරය විෂවීම හා පෙනහළුවල අසාදන තත්ත්වයක් හේතුවෙන් ස්වසනය දුර්වල වී ඇති බවයි. ලෝක සෞඛ්‍ය සංවිධානය සහ මෙරට සෞඛ්‍ය අමාත්‍යාංශය පවසන ආකාරයට ස්වසන අපහසුතා කොවිඩ් – 19 රෝගීන්ට ඇති රෝග ලක්ෂණයකි.

රුහුණ විශ්වවිද්‍යාල‍යේ විශේෂඥ අධිකරණ වෛද්‍ය යූ,සී.පී.පෙරේරා මහතා පවසන්නේ සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් වසංගත කාලයේ දී මියයන පුද්ගලයන්ගේ මළ සිරුරු සම්බන්ධයෙන් කටයුතු කරන ආකාරය පිළිබඳ නිකුත් කරන ලද චක්‍රලේඛයට අනුව මෙම මළ සිරුර අයත්වන්නේ කොරෝනා ආසාදනයෙන් මිය නොගිය නමුත් කොරෝනා රෝග ලක්ෂණයක් වන ස්වසන අපහසුතා සහිත කාණ්ඩයට බවයි. එනම් එම චක්‍රලේඛයේ තුන්වැනි කාණ්ඩයටයි.

‍සෞඛ්‍ය අමාත්‍යාංශය නිකුත් කර ඇති චක්‍රලේඛකයට අනුව තුන්වැනි කාණ්ඩයේ මළ සිරුරු සම්බන්ධයෙන් ක්‍රියාත්මක විය යුතු වන්නේ කොරෝනා ආසාදනය වී මියගිය පුද්ගලයකුගේ මළ සිරුරක් ආදාහනය කරන ආකාරයෙනි.

දේහය ඥාතින්ට භාරදීමෙන් පසු සෙනසුරාදා දහවල් එය කරාපිටියේ අවමංගල්‍ය ශාලාවක තැන්පත් කර තිබියදී එල්ල වූ විරෝධයක් හේතුවෙන් දියණියගේ නිවසට ගෙන ගොස් ඇතැයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු කියති. මෙම නිවසට දේහය රැගන ගිය පසු කළුතර දිස්ත්‍රික්කයේ පදිංචිකරුවන් පිරිසක් ඇඳිරිනීතිය තිබිය දී පවා පැමිණි බවට ප්‍රදේශවාසින් විසින් පොලිසියට, ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට, දිසාපතිවරයාට සහ සෞඛ්‍ය බලධාරීන්ට පැමිණිලි කර ඇත.

මේ අනුව එම ස්ථානය පරීක්ෂා කිරීමට ගිය මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට හා ගාල්ල කඩවත් සතර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරීන්ට මියගිය පුද්ගලයාගේ ඥාතීන්ගෙන් දැඩි වි‍රෝධයක් එල්ල වී තිබිණි. මේ පිළිබඳ ගාල්ල කඩවත් සතර ප්‍රාදේශීය ලේකම් හිමාලි රත්නවිර මහත්මිය විසින් පොලිසියට පැමිණිලි කිරීමෙන් අනතුරුව පොලිස් නිලධාරීන් ද එම ස්ථානයට ගොස් පරීක්ෂා කර තිබිණි.

පොලිසිය පවසන්නේ නිවසේ සිටි කළුතරින් පැමිණි පුද්ගලයන් තමන් පැමිණියේ මරණය සිදුවීමට පෙර බවත් ඇඳිරිනීති වේලාවට පරිබාහිරව බවත් පොලිසියට පවසා ඇත. පොලිසිය පවසන්නේ මෙම නිවසේ කළුතරින් පැමිණි පුද්ගලයන් 11 දෙනකු අද (05) දින උදෑසන වනවිට රැඳී සිටින බවයි.

මේ සම්බන්ධයෙන් විමසූ විට ගාල්ල මූලස්ථාන පොලිස් පරීක්ෂක කපිල සේනාපති ද සිල්වා මහතා මෙසේ කීවේය.

”මේ ගැන අපිට පැමිණිලි කිහිපයක් ම ලැබුණා. වෛද්‍යවරු දේහය නිදහස් කරපු ආකාරය පවා ඇතැම් අය ප්‍රශ්න කරනවා. නමුත් අපිට ඒ ගැන කිසිවක් කිව නොහැකියි. මේ ස්ථානයේ දැනට කළුතරින් ඇවිත් පිරිසක් ඉන්නවා. අපි ගමේ අය දැනුම්වත් කරා මළ ගෙදරට නොයන්න කියා. ඒ වගේ ම වෙනත් පිටත කිසිවෙකුට මළ ගෙදරට ඒම‍ට ඉඩ දෙන්නේත් නැහැ. කළුතරින් මේ මරණයට අවසන් ගෞරව දැක්වීමට පිරිස් පැමිණෙනවා කියන ආරංචියක් තියෙන නිසා අපි කොළඹින් සහ කළුතරින් මේ ස්ථානයට පැමිණීම වළක්වන්න මාර්ග බාධක යෙදුවා. සිරුර සම්බන්ධයෙන් තීරණයක් ගැනීම සෞඛ්‍ය අංශවලට අදාල කාරණයක්. අපි ඔවුන් ගන්නා ක්‍රියාමාර්ගයකට සහයෝගය දෙනවා.”