Friday, September 20, 2024

විමල්ගේ තිරණ යුද්ධය ජයග්‍රහණය කරන්නත් හේතු වුණා – බෙල්ලන්විල ධම්මරතන නාහිමි

Must read

ජනතා විමුක්ති පෙරමුණේ නායකයන් වැරදි මඟ ගොස් වැරදි තීරණ ගන්නා විට විමල් වීරවංශ මහතා හරි වෙලාවට හරි තීරණ ගත් බවත් එම තීරණ යුද්ධය ජයග්‍රහණය කිරීමට හේතු වූවා පමණක් නොව ඒ මහතාට අද රට වෙනුවෙන් විශාල සේවාවක් ඉටු කිරීමේ ඉඩකඩ ද විවර කළ බවත් බෙල්ලන්විල රජමහා විහාරාධිපති ආචාර්ය බෙල්ලන්විල ධම්මරතන නා හිමියෝ පැවසූහ.

අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ 50 වැනි ජන්ම දිනය වෙනුවෙන් පැවති ආශිර්වාද බෝධි පූජාව හා සෙත් පිරිත් සජ්ඣායනාව අතරතුර විශේෂ අනුශාසනාවක් සිදු කරමින් උන්වහන්සේ මෙසේ පැවසූහ.

එහිදි වැඩිදුරටත් අනුශාසනා කරමින් බෙල්ලන්විල ධම්මරතන නාහිමියෝ මෙසේද සඳහන් කළහ.

“අපි දන්න විමල් වීරවංශ මහත්මයා එහෙම නැතිනම් විමල් වීරවංශ සහෝදරයා හිරේ දමලා කට වහන්න පුළුවන් කෙනෙක් නොවෙයි. එතුමා පසුගිය කාලයේ ඒ බව ඔප්පු කළා. කුමන අභියෝග, බාධක ආවත් රට වෙනුවෙන් කතා කරන්න එතුමාට ලොකු පෞරුෂත්වයක් තිබෙනවා. දේශපාලනඥයන් අතර එවැනි පෞරුෂයක් තිබෙන අය ඉන්නේ ටික දෙනයි.

එතුමා ගැන කිවහැකි බොහෝ දේ තිබුණත් මේ මොහොතේ දී මා ඉන් කිහිපයක් පමණක් සිහිපත් කිරීමට කැමතියි. මේ රටේ පැවැති ‘30 අවුරුදු යුද්ධය’ මා දකින්නේ අපේ රටට සිදුවූ බරපතළ ඛේදවාචකයක් ලෙසයි. එය අවසන් කිරීම සඳහා මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපතිවරයා ලෙස පියවර ගනිමින් තිබුණා. වත්මන් ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාත් එහිදී විශාල කාර්යභාරයකට උර දුන්නා. යුද්ධය අවසන් අදියරේ දී මහින්ද රාජපක්ෂ ආණ්ඩුව ගෙන ආ අයවැයක් පරාජය කිරීමට විපක්ෂය සූදානම් වූවා. ජනතා විමුක්ති පෙරමුණත් ඊට සහාය දෙන්නයි ගියේ. නමුත් එදා ඒ පෙරමුණේ සිටි විමල් වීරවංශ සහෝදරයාගේ පෞරුෂයට හැකි වුණා ඔවුන් එම අයවැයට ඡන්දය දීමෙන් වැළකී සිටින තැනට පත් කිරීමට. ඒ නිසා මහින්ද රාජපක්ෂ ආණ්ඩුව ඒ අයවැය ජයග්‍රහණය කළා. එහෙම කළ නිසා ආණ්ඩුව රැකුණා. අයවැය පැරදුනා නම් රාජපක්ෂ ආණ්ඩුව ගෙදර යනවා. යුද්ධය අතරමග නතර වෙනවා. අද අපට උතුරේ ප්‍රභාකරන්නේ පාලනයක් දැක ගැනීමට පුළුවන් වේවි. විමල් වීරවංශ මහතාගේ මැදිහත්වීමෙන් එදා ඒ විදියටයි රට රැකුණේ. ඒ සේවය විමල් වීරවංශ මහතාගෙන් සිදු වූ බලවත් සේවයක් ලෙසයි මා දකින්නේ. ඒ නිසා එය මේ මොහොතේ දී කෘතවේදීව සිහිපත් කළ යුතුයි. මේක දේශපාලන උවමනාවක් මත මා කරන ප්‍රකාශයක් නොවෙයි. අපි යුද ජයග්‍රහණයෙන් පසු අද සැබෑ නිදහසක් භුක්ති විඳිනවා. ඊට පාර කපපු නියමුවන් අතර එක් නියමුවෙක් තමයි මෙතුමා. ඒ අයුරින් තමයි මේ සිහිපත් කිරීම අපි සිදු කරන්නේ.

ඉඳුරාගාරේ ධම්මරතන හාමුදුරුවෝ ඔබතුමන් ගැන පවත්වපු උත්සවයක දී සඳහන් කළ අදහස්වලට මම එදා සිංගප්පූරුවේ සිට සවන් දුන්නා. උන්වහන්සේ එහිදී සඳහන් කළ ප්‍රකාශය මමත් බොහෝ විට කල්පනා කළ දේවලින් සමන්විතයි. ඔබතුමා මහින්ද රාජපක්ෂ ආණ්ඩුව සමඟ එකතුව නිවැරදි මග යන්න හදනකොට ජනතා විමුක්ති පෙරමුණේ සහෝදරවරු ගියේ වැරදි මගයි. ඒ නිසා ඔවුන් 3%කට ඡන්ද පදනම අඩුකරගෙන තිබෙනවා. එයාලා තවමත් හරි තීරණයක් ගත නොහැකිවයි ඉන්නේ. නමුත් ඔබතුමා හරි වෙලාවට හරි තීරණය ගත්තා. එය යුද්ධය අවසන් කිරීමට හේතුවූවා. හරි තීරණය නිසා ඔබතුමා අද ජනතාවට විශාල සේවයක් කළ හැකි තැනක සිටිනවා. ඔබතුමා රටට අභිවෘද්ධියක් ගෙන ආ හැකි අවස්ථාවල දී කටයුතු කළ ආකාරය අපි අගය කරනවා යැයි උන්වහන්සේ පැවසුහ.

(Ada.lk)

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article