Friday, September 20, 2024

ආන්දෝලනාත්මක කාරණා රැසක් මැද ලෝක පාපන්දු ශුරතා තරගාවලිය ඇරඹේ !

Must read

යුරෝපයත් මැදපෙරදිගත් අතර වහෙන් ඔරෝ කතා කියමින්ම 2022 ලෝක පාපන්දු තරගාවලිය (FIFA) කටාර් රාජ්යයේදී ඇරඹෙනවා. මැදපෙරදිග රටක ලෝක පාපන්දු ශූරතා තරගාවලියක් පැවැත්වෙන මුල්ම අවස්ථාව මෙයයි.
2010 වසරෙදි ගත් තීරණය මත කටාර් රාජ්ය තෝරා ගැනුනද තරගාවලිය ඇරඹීමට ඔන්න මෙන්න තිබියදී මහත් ආන්දෝලනාත්මක කතා අහන්න ලැබෙනවා.
යුරෝපා රටවල් සහ මාධ්ය කටාර් රාජ්යයේ දැඩි නීතිරීති සම්බන්ධයෙන් උරණ වූ ආකාරයකින් ප්රතිචාර දක්වමින් සිටිනවා. “වව්ලාගේ මගුල් ගෙදර යන්නේ නම් යන අයටද එල්ලී සිටීමට සිදුවන්නාක් මෙන්” දැන් ඔවුන්ටද එම නීතිවලට යටත් වීමටයි සිදුව තිබෙන්නේ.
තරගාවලිය පැවැත්වෙන ක්රීඩාංගණ අටෙහිම බියර් අලෙවි කිරීම පෙරේදා තහනම් කෙරුනා. කටාර් බලධාරීන් කලින් ඒ සඳහා එකඟතාව පළකර තිබුණද තරගාවලියට දින දෙකක් තිබියදීයි එකී තහනම නිවේදනය කළේ.
මේ හේතුවෙන් FIFA සමග ඇමෙරිකන් ඩොලර් මිලියන 75 ක අනුග්රාහක ගිවිසුමකට එළඹ සිටින Budweiser බියර් සමාගම දැඩි අර්බුදයකට මැදිව සිටිනවා.
අනෙක් අතට ෆුට් බෝල් උන්මාදය සංසිදුවා ගැනීමට බටහිරින් පියාසර කරන තමන්ට මේ තීරණයෙන් ක්රීඩාංගණයේ උද්යෝගය හා සතුට අහිමි වන බවයි දස දහස් ගණනක් පවසන්නේ. මෙය බොන්න නොදුන් මගුල් ගෙදරක ගිහින් බැන බැන එන ලංකාවේ මිනිස්සුන්ගේ හැඟීම මෙන් වනු ඇති.
සමලිංගිකයන් ඇතුළු LGBT ප්රජාව (Lesbian, Gay, Bisexual, and Transgender)
සම්බන්ධයෙන් කටාර් රාජ්ය අනුගමනය කරන දැඩි ප්රතිපත්තියද තදින් සාකච්ඡා කෙරෙන්නක්. කටාර් වෙත පැමිණෙන එම ප්රජාවන්ට අයත් පාපන්දු ලෝලීන්ට කවර අපහසුතාවකට පත්වේදැයි බියක් නිර්මාණය වී තිබෙනවා.
සිය රටට පැමිණෙන්නන් තම සංස්කෘතියට ගෞරව කළ යුතු බවයි කටාර් රාජ්ය අවධාරණය කර ඇත්තේ. කෙසේ වෙතත් මෙය දැඩි මානව හිමිකම් කඩකිරීමක් බවට බටහිර රටවල් සහ මාධ්ය චෝදනා කරමින් සිටිනවා.
කටාර් රාජ්ය වෙත එල්ල වන තවත් ප්රධාන චෝදනාවක් වන්නේ කම්කරු අයිතීන් උල්ලංඝනය කිරීමයි. FIFA තරග පැවැත්වෙන ක්රීඩාංගණ ඉදිකිරීම සඳහා ඉන්දියාව, පාකිස්ථානය, බංග්ලාදේශය, නේපාලය සහ ශ්රී ලංකාවේ ශ්රමිකයන් කැඳවා ගෙන තිබෙනවා. ඔවුන්ට ලබාදී ඇති පහසුකම් ප්රමාණවත් නොවන බවටයි චෝදනා නැගෙන්නේ. එමෙන්ම සේවයේ යෙදී සිටියදී මිය ගිය පිරිස් සම්බන්ධයෙන් සිදුවන මැදිහතවීම් අවම වීමද තවත් බරපතල චෝදනාවක්.
යුරෝපයෙන් එල්ලවන විවිධ චෝදනා සම්බන්ධයෙන් ඊයේ පැවති මාධ්ය හමුවේදී FIFA සභාපති Gianni Infantino අදහස් පලකළා. ඔහු සිය කතාව ආරම්භ කළේද හැඟීම්බරවයි.
“Today I have strong feelings. Today I feel Qatari, I feel Arab, I feel African, I feel gay, I feel disabled, I feel a migrant worker.”
(“අද මට තදබල හැඟීමක් ඇති වෙනවා. අද මට කටාර් දැනෙනවා, මට අරාබි දැනෙනවා, මට අප්රිකානු බවක් දැනෙනවා, මට සමලිංගික බව දැනෙනවා, මට ආබාධිත බව දැනෙනවා. මට සංක්රමණික සේවකයා දැනෙනවා.)
කටාර් රාජ්ය සම්බන්ධයෙන් එල්ල වන චෝදනාවල යටි අරමුණක් ඇති බව සභාපතිවරයා ඉඟිකළ බවක්ද පෙනේ.
“I am European. For what we have been doing for 3,000 years around the world, we should be apologising for the next 3,000 years before giving moral lessons.”
(“මම යුරෝපා ජාතිකයෙක්. අපි වසර 3,000 ක් ලොව පුරා කරමින් සිටි දේවල් වෙනුවෙන්, අනෙක් අයට සදාචාරාත්මක පාඩම් කියා දීමට පෙර ඉදිරි වසර 3,000 සඳහා අප සමාව ගත යුතුය.”)
කෙසේවෙතත් කටාර්හි FIFA 2022 පැවැත්වීම ලෝක පාපන්දු තරග ඉතිහාසයේ ගත් වැරදිම තීරණය ලෙසයි බොහෝ බටහිර මාධ්ය ආඛ්යානය ගොඩ නගන්නේ. ලොව උද්දාමය පිරි ක්රීඩා උළෙලක් හැකිලී, මිරිකී, කර්කශ ලෙස අත්විඳින්නට සිදුව තිබෙන බව ඉන් හඟවනවා. එමෙන්ම මානව නිදහස හා අනෙකුත් අයිතීන් කඩවන තැනක ඇති ප්රහර්ෂය කවරක්දැයි ප්රශ්න කෙරෙනවා. කටාර් වෙත යන්නන් එහිදී කුමක් කළ යුතුද නොකළ යුතුද යන්න ගැන දෙගිඩියාවකින් පසු වන බවද බොහෝ දෙනා ප්රකාශ කරනවා.
FIFA තම රටෙහි පැවැත්වීමෙන් ලෝකයේ ප්රබල රටවල් සමග රාජ්ය තන්ත්රික සහ වෙළෙද සබඳතා තර කර ගැනීම කටාර් රාජ්යයේ අරමුණයි. තෙල් සල්ලිවලින් ආඩ්ය වුවද ආගමික හා සංස්කෘතික බැඳීම් සමග කටාර් රාජ්යයට විවිධ නොපෑහීම් සහිත පිරිසක් සමග මාසයක කාලයක් පාපන්දු පමණක් නොව අනන්යතාවන් රැක ගැනීමේ ක්රීඩාවකද නිරත වීමටයි සිදුව තිබෙන්නේ.
කෙසේ වුවද ධනයේ බලයට ක්රීඩාවේ ජවය යට වීම නම් හොඳ නැත.
|මහින්ද රුබසිංහ
- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article