Wednesday, January 22, 2025

සුබ ගමන් අතුල !

Must read


රට පුරා විසිරී සිටින මාධ්‍ය සගයින් අතර ඉදිරියෙන්ම කියවුණු නමක් වූයේ අනුරාධපුරයේ – අතුල බණ්ඩාරය.අනුරාධපුරය සහ අතුල බණ්ඩාර යනු නම් දෙකක් නොව එකක් බවට පත් වූයේ කාලයක් ගත නොවීය.

මුද්‍රිත සහ විද්‍යුත් මාධ්‍යන් තුළින් තමන්ට හැකි උපරීමය අනුරාධපුරය සහ අවට ජනතාව වෙනුවෙන් නොපිරිහෙලා ඉටු කරන්නට අතුල කටයුතු කළේය.එහිදී ඔහුට දිවා – රාත්‍රී යන්න බෙදී තිබුනේ නැත.අව්ව – වැස්ස අතුලට හොදට හුරුය.වන්නියේ ගිනි ගහන අව්වට කර වී තිබූ අතුලගේ තට්ටය පෑදුණු හිස ඉද හිට වැටෙන වැසි බින්දු වලටද හොදින් ඔරොත්තු දුන්නේය.

ලැබෙන ඕනෑම තොරතුරක් විනාඩි කීපයක් තුළ පත්තරයට ලියන්න අතුලට තිබුනේ පුදුම හැකියාවකි.එපමණක් නොව පත්තරයකට,රූපවාහිණී නාලිකාවකට අවශ්‍ය කරන රූප රාමු නිසි පරිදි ගලපන්නට පුදුම ඉවක්ද අතුලට තිබුනේය.

ඒ නිසාම,පෑනත්,කැමරාවත් අතුලට කුඩා දරුවෙකු අතට හසුවූ සෙල්ලම් බඩු මෙන් විය.අතුල ගුවන් විදුලි නිවේදකයෙකු බව දන්නේ කීප දෙනෙකු පමණි.රජරට සේවය ආරම්භයේදීම ඊට සම්බන්ධ වූ අතුල වැඩ සටහන් ගනනාවකටම තම හඬ මුසු කළේය. එමෙන්ම බී.බී.සී.ලෝක සේවය හරහා රජරට තොරතුරු ලොවටම කියා පාන්නට අතුල කටයුතු කළේය.

පත්තර ජීවිතයේ වසර 30 කට වැඩි කාලයක් ගත කරන්නට අතුලට හැකි විය.ඒ ඔහු ලද පන්නරය සහ කෙලින් කථාව නිසාය.ඕනෑම දේශපාලකයෙකු එහෙමත් නැත්නම් නිලධාරියෙකු ඉදිරියේ දෙපයින් සිටගෙන ප්‍රශ්ණ කරන්නට අතුලට හැකියාව තිබුනේය.රට පුරා විසිරී සිටින මාධ්‍ය සගයින්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් ආයතන ප්‍රධානීන් හමුවේ කෙලින් කථා කරන කීප දෙනා අතරින් අතුලද පෙරමුනේ සිටියේය.

මාස කීපයක් රෝගී තත්ත්වයෙන් මහනුවර,අනුරාධපුරය සහ රාගම ශීක්ෂණ රෝහල් වල ප්‍රතිකාර ලබමින් සිටි අතුල 03 වැනිදා අළුයම මෙලොව හැර ගියේය.අතුල නොමැති පාඩුව ඔහුගේ බිරිදට,අදරණීය දරු දෙදෙනාට,මාධ්‍ය ලෝකයට පමණක් නොව මුළු රජරටම දැනෙනු ඇත.මන්ද යත් අතුල ඒ තරම්ම අවැසි පුද්ගලයෙකු වී සිටි නිසාය.

රෝගී තත්ත්වයෙන් රාගම ශීක්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින අතර තුර එක් දිනක් ඔහු මා සමග දුරකතනයෙන් කථා කළේය.”මචං මට ටිකක් අමාරුයි.ටෙලිෆෝන් එකත් හෙට පුතාට දෙනවා.මට කථා කරන්නත් එපා කියලා කිව්වා……”අතුල කියා සිටියේය.”ඒක හොදයි.මම පුතා එක්ක කථා කරන්නම්.ඔයා පරිස්සමින් ඉන්න….”මම එදා අතුලගෙන් සමු ගත්තේය.ඒ අතුල සහ මා අතර පැවති අන්තීම සංවාදයයි.

පෑනත්,කැමරාවත් හසුරවමින් රජරටට යමක් කරන්නට,රස කථා කියන්නට, පැය ගනන් හිනා වෙන්න නැවතත් අතුල කිසි දිනක අපට මුණ නොගැසෙනු ඇත.ඔබ අද අප අතහැර ගොසිනි.
සදාදර මිතුර.අතුල බණ්ඩාර,පරටවටා සිටින මාධ්‍ය සගයින් වෙනුවෙන් මම ඔබට නිවන් සුව පතමි.

ජුඩ් සමන්ත.(ජාතික සංවිධායක,රට වටා ජනමාධ්‍යවේදියෝ)

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article