Tuesday, January 14, 2025

සුගතදාසයේ ඩෙංගු මදුරුවෝ – සාග් ක්‍රීඩකයින්ට ඩෙංගු වැලදුනේ සුගතදාසයෙන්දැයි සැකයක්

Must read

සුගතදාස ක්‍රීඩා සංකීර්ණයේ පිහිටි ක්‍රීඩක නේවාසිකාගාරය අවට ඩෙංගු මදුරුවන් බෝ වීම වැලැක්වීම සඳහා සුගතදාස පලනාධිකාරිය නිසි ක්‍රියාමාර්ග ගෙන නොමැති බව කොළඹ මහනගර සභාවේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් පවසයි.

නේපාලයේ පැවැත්වෙන දකුණු ආසියානු ක්‍රීඩා උළෙලට සහභාගි වූ ක්‍රීඩක ක්‍රීඩිකාවන් 13 දෙනෙකුට ඩෙංගු උණ වැලඳීම පිළිබඳව අප ඊයේ වාර්තා කළ පුවතින් පසු කොළඹ මහනගර සභාවේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සිදු කළ පරීක්ෂාවකින් අද එය තහවුරු වුණි.

නේපාලයේ කත්මණ්ඩු නුවර පැවැත්වෙන 13වන දකුණු ආසියානු ක්‍රීඩා උළෙලට සහභාගි වූ ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් 13දෙනෙකුට ඩෙංගු රෝගය වැලඳීම පිළිබඳ පුවතක් අප ඊයේ වාර්තා කළේය.

එම ක්‍රීඩකයින් 13දෙනා අතරින් 12දෙනෙක්ම නේපාලයට පැමිණීමට පෙර සුගතදාස ක්‍රීඩා සංකීර්ණයේ ක්‍රීඩක
නේවාසිකාගාරයේ රැඳී සිට ඇත.

එම පුවත වාර්තා කිරීමත් සමඟ කොළඹ මහනගර සභාවේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු කණ්ඩායමක් අද පෙරවරුවේ සුගතදාස ක්‍රීඩා සංකීර්ණය ආශ්‍රිතව විශේෂ පරීක්ෂාවක් සිදු කළේය.

එහිදී අනාවරණ වූයේ සුගතදාස ක්‍රීඩා සංකීර්ණය ආශ්‍රිත ප්‍රදේශයේ මේ වනවිටත් මදුරු කීටයින් බහුලව සිටින බවයි.‍

මීට පෙර අවස්ථා කිහිපයකදීම සුගතදාස ක්‍රීඩා සංකීර්ණය ආශ්‍රිතව මදුරු කීටයින් සිටින බව සුගතදාස පාලනාධිකාරියට දන්වා ඇති අතර ඔවුන් නිසි ක්‍රියාමාර්ග නොගැනීම හේතුවෙන් මේ වනවිට ඔවුන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමටද කටයුතු කර ඇති බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු පවසයි.

මේ සියළු කරුණු සලකා බැලීමේදී පෙනීයන්නේ සුගතදාස ක්‍රීඩා සංකීර්ණ පාලනාධිකාරියේ නොසැලකිලිමත් බව හේතුවෙන් ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ඩෙංගු රෝගය වැලඳීමට පසුබිම සකස් වී ඇති බවයි.

ශ්‍රී ලංකාවට කීර්තියක් ගෙන ඒමට ගිය ක්‍රීඩක ක්‍රීඩිකාවන් 5දෙනෙක් තවමත් ඩෙංගු රෝගය හේතුවෙන් නේපාලයේ කත්මණ්ඩු නුවර නේවාසිකව ප්‍රතිකාර ලබයි.

රටට අභිමානයක් ගෙන එන මෙවැනි ක්‍රීඩකයින් රැක ගැනීම සඳහා බලධාරීන් මීට වැඩි අවධානයක් යොමු නොකළහොත් ඉදිරියේදී ශ්‍රී ලංකා ක්‍රිඩා ක්ෂේත්‍රය දරුණු ඛේදවාචකයකට මුහුණ දෙනු නොඅනුමානයි.

(adaderana)

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article