මැදියම් රැයේ තීන්ත බාල්දියක් සහ ලොකු පින්සලක් ගත් ‘ගරිල්ලා මිනිසෙක්’ හිටිගමන් මතුව ක්ෂණික සිතුවමක් තාප්පයක හැඳ පලා යාම මීට කලකට පෙර බි්‍රතාන්‍යයෙන් ඔබ්බට යුරෝපය පුරාම මහත් කතාබහකට ලක්වූ සිදුවීමක් විය. පාලකයින්ගේ ඇතැම් ක්‍රියාකාරකම්වලට එරෙහිව එල්ලවූ සාහසික කුළුගෙඩි පහරවල් බවට ඒ යම් යම් සිතුවම් පත් විය. බි්‍රතාන්‍යයෙන් ආරම්භ වූ තාප්ප පුරා අඳින ලද ‘ගරිල්ලා සිතුවම්’ රැල්ල යුරෝපයෙන් ඔබ්බට ගාසා තීරයද ආක්‍රමණය කරනු ලැබීය. ලෝකයේ විශාලතම එළිමහන් සිර කඳවුර සේ සැලකෙන ගාසා තීරයටම ගොස් සිතුවම් ඇඳි මේ අපූරු ගරිල්ලා නිර්මාණකරුවා අවි නොදරා අපූරු ක්‍රමයකට අසාධාරණයට එරෙහිව සටන් කළේය.
ඔහු, බැන්ක්සි ය. බ්‍රිතාන්යයේ සුප්‍රකට වීදි කලාකරුවෙක්, දේශපාලන ක්‍රියාධරයෙක්, චිත්‍රපට අධ්‍යක්ෂවරයෙක් සේම චිත්‍ර ශිල්පියෙක් වූ බැන්ක්සි ප්‍රහසනාත්මන ග්‍රැෆිටි වීදි කලා සහ හාස්‍ය මුසු විප්ලවකාරී ප්‍රකාශ විශේෂිත ස්ටෙන්සිල් තාක්ෂණයක් ඔස්සේ ලොවපුරා නගරවල වීදි, තාප්ප සහ පාලම්වල ප්‍රදර්ශනය කරනු ලැබීය. 2005 අගෝස්තු මාසයේ පලස්තීනයේ සංචරයක යෙදුණු බැන්ක්සි ඊශ්‍රායෙල් බටහිර ඉවුරු තාප්පයේ රූප 9ක් නිර්මාණය කළේය.
ඔහුගේ කලාව අමුතු එකකි. ස්වකීය සිතුවම් කලාව ඔප නැගූ විසල් මේසයක් මත මටසිලිටි පින්සලයකින් කරනු ලැබූ ‘විවේකී නිර්මාණ‘ නොවීය. කොතැනකින් හෝ එල්ල වන්නට නියමිත රෙජීම් ප්‍රහාරයකට හොරා කඩිමුඩියේ කළ පෙළහරකි එය. 1974 බි්‍රස්ටල් හි උපත ලබා එහිම හැදී වැඩුණු බැන්ක්සි ඡායා පිටපත් තාක්ෂණ ශිල්පියෙකුගේ පුතෙකි. මස්කඩකාරයෙකු වෙන්නට ලද පුහුණුව ඔහු පැත්තකට වීසිකොට ඒ වෙනුවට ග්‍රැෆිටි කලාව අහුලා ගත්තේය. තැන්පත් සහ සියුම් සිතුවම්කරණය හැරපියා අධිවේගී සිතුවම්කරණය වෙතට යොමු වූ ඔහු යුද විරෝධි, ධනවාද විරෝධි හෝ ස්ථාපිතයට එරෙහි වූ ආස්ථානයක පිහිටා නිර්මාණය කරනු ලැබීය.
“ධනවාදය කුඩුපට්ටම් වී යන තුරු අපට ලෝකය වෙනස් කිරීම සඳහා කිසිවක් කළ නොහැක. ඒ අතරතුර අප අපවම සනසා ගැනීම සඳහා කඬේ යාම කළයුතුය.”මෙහෙම කියන්නේ බැනැක්සි ය.
“ෆැසිස්ට් මැරයන්ද, ආගමික මූලධර්මවාදීන්ද, වෙඩි තබා මැරිය යුත්තන්ගේ ලැයිස්තු ඔබට ඉදිරිපත් කරන්නන්ද වෙඩි තබා මැරිය යුතුය” කියා බැනැක්සි ‘වෙඩි වගේ’ ප්‍රකාශ නිකුත් කරයි.
තාප්ප පුරා සිතුවම් අඳින කටයුත්තෙහි පේටන්ට් අයිතිය කාටද කියා නිනව්වක් නැත. සන්නිවේදන ඉතිහාසය අපට සන් කරන්නේ එය ප්‍රාග් යුගයට දිවෙන බවය. නමුත් එය තීරණාත්මක තැනකින් හසු කරගත්තේ බැනැක්සිය.
ඉන්දුනීසියාවේ ජාවා හි පිහිටි කම්පුන් (Kampung Pelangi) ගම්මානය බොහෝ දෙනා සැලකුවේ ‘මූසල ගම්මානය‘ කියා ය. ලයිකන හා දියසෙවෙල් බැඳුනු ජරාජීර්ණ බිත්ති වලින් වැසුණු ගොඩනැගිලි හැරුණුකොට කිසිවෙකුට බලන්නට දෙයක් ඒ ගමෙහි නොවීය. එම ගමෙහි විදුහල්පති ස්ලමෙට් විඩෝඩෝට අපූරු අදහසක් පහළ විය. ඒ ‘ගම පාට කිරීමේ’ අදහසයි. ඒ අනුව ඔහු මුලු මහත් ගම්මානයම අපූරු දේදුණු වර්ණයෙන් ආලේප කළේ තවත් තරුණ පිරිසකගේ සහය ඇතිවය.
තෝරාගත් වර්ණ සංකලනයකට අනුව ඔවුහූ එක් නිවසකට වර්ණ තුනක් යෙදෙන සේ ආලේප කිරීම සිදු කළේය. මුළු ගම්මානයක එකම තේමාවක වෛවර්ණ රිද්මයක විමානයක් බවට පත්විය. එදා වේල ගැට ගසා ගන්නට වත් කමක් නැතිව සියදිවි නසා ගත් මිනිසුන් සිටි ගම්මානය අද සංචාරක පාරාදීසයකි. රජයෙන් කිසියම් මුදලක් ලැබුණද ප්‍රජා සහභාගීත්වය මේ අපූරු ජයග්‍රහණයට හේතු වූ බව විදුහල්පතිවරයා කියයි. නවමු අදහස් රටක් වර්ණවත් කරනුයේ එසේය.
තාප්ප සිතුවම් කලාව මේ දිනවල ලංකාවට රැල්ලකි. එක අතකට එය ‘මාර මැජික්’ එකක් නොවෙතත් හොඳ රැල්ලකි. එහෙත් ඕනෑම හොඳ දෙයක් ඕනවට වඩා උන්මාදයක් බවට පත්වීමෙහි කෙළවර ඉතිරිවන්නේ ‘විහිළුවකි’. එය අමු දේශපාලනික කොනකට තල්ලු වුවහොත් සිදුවන්නේ උමතුවකි. එවන් තැනකට තල්ලු නොවී මේ කටයුත්ත නිර්මාණශීලී තැනකට ගොනු වන්නේනම් එය අපූරුය.
මීට වසරකට හෝ දෙකකට පෙර බදුල්ල ප්‍රදේශයේ තරුණයින් කිහිප දෙනෙක් පාර දෙපස තාප්ප ශුද්ධ කිරීමේ කටයුත්තක් ආරම්භ කළහ. ඔවුහූ කිසිවෙකුගේ ඇගයීමකින් තොරව ඒ කාර්යය දිගටම සිදු කළහ. පිරිසිදු වූ තාප්ප පසුදාම පෝස්ටර් වලින් වැසී යන්නට විය. බදුල්ලේ තරුණයෝ කළේ නැවත ඒ තාප්ප පිරිසිදු කොට චිත්‍ර ඇඳීමය. එය ස්වෝත්සාහයෙන් ඔවුහූ සිදු කළහ.
නගරවල තාප්ප වැසෙන්නට ගසා ඇති පෝස්ටර් වෙනුවට සුන්දර සිතුවම්වලින් අලංකාර කළ නගරයක් ලෙස වැලිමඩ නගරය ඔප් නංවන්නේ මේ තරුණයින් ය. “වැලිමඩ සුන්දර කරමු” තේමාව යටතේ එම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරනු ලැබ තිබුණේ ඌව එක්සත් බෞද්ධ සංගමයේ සාමාජිකයන් විසිනි. පසුගිය අප්‍රේල් මස 11 වැනිදා ආරම්භ කළ ඒ කටයුත්ත 12 වැනිදා රාත්‍රිය වන විට හමාර කළේ වැලිමඩ නගරයේ හරි මැද පිහිටි තාප්පයේ සම්පූර්ණයෙන්ම සිතුවම් වලින් අලංකාර කරමිනි. ඒ ආදර්ශය හොරණ, පානදුරටද පැතිරිණ.
තාප්ප පිරිසිදු කරන, චිත්‍ර අඳින කටයුත්තට එතැන් සිට අලුත් මුහුණුවරක් එක් විය. දක්ෂිණ අධිවේගිමාර්ගයේ ගාල්ල පිවිසුම ඇත්තේ පින්නදූවේය. කාංචනා දිල්රුක්ෂි පින්නදූවේ උපන් දැනට මිලානෝවල පදිංචි කාන්තාවකි. ඈ අපූරු චිත්‍ර ශිල්පිනියකි. පින්නදූව ගාල්ල උඩුගම පිවිසුම් මාර්ගයේ තාප්ප පුරා අපවිත්‍ර වන අයුරින් දැන්වීම් අලවා පරවි වසුරුවලින්ද අපවිත්‍රව තිබූ අයුරු දුටු ඈ සිය සැමියා සමඟ එක්ව ඒ තාප්ප පිරිසිදු කොට මනරම් සිතුවමින් හැඩ කළේ මීට මාස කිහිපයකට පෙර ය. දැන් එය රට වටා රැල්ලක් බවට පත්ව තිබේ. සමහරු එය ‘හයි ජැක්’ කරමින් තමන්ගේ දෙයක් බවට පත් කරගන්නට ද වෑයම් කරමින් සිටී. එය මේ රටේ හැටිය. මේ රැල්ල හැදූ තරුණයින්ට ජනාධිපතිවරයා සිය ෆෙස්බුක් ගිණුම හරහා pinterest සිතුවමක්ද සහිතව සුබපතා තිබේ.
මධ්‍යතන යුගයේ මුලුමහත් යුරෝපයම මහාමාරිය රෝගය විසින් ගිල ගනු ලැබීය. ඇල්ජීරියාවේ ඔරාන් නගරය මහාමාරිය බිලිගත් අයුරු ඇල්බෙයා කැමූ විසින් පිටස්තරයා තුළින් ඉදිරිපත් කරයි.
මැරී වැටෙන මී කුණක් දකින ඔරාන් නගරයේ වෛද්‍යවරයා වූ ‘රියේ’ තම නගරයට මහාමාරිය මාරයා කඩා වැදී ඇතිබව තහවුරුකර ගනී. සිය වෘත්තිය මිනිසුන්ට මිය යාමට දීම නොව මිනිසුන්ට ජීවත් වීමට වෙන් වූවක් බව කියා දෙන්නට රියේ සමත් වෙයි. තම ප්‍රියංබිකාව පවා මහාමාරියට ගොදුරුව මරණමංචකයේ සිටිදී පවා රියේ වෛද්‍යවරයා ඈ වෙත නොගොස් ඔරාන් නගරය ආරක්ෂිත කලාපයක් කරන්නට වෙහෙසෙයි. වෘත්තීමය වගකීම දෙවුර දරාගෙන නගරය බේරාගැනීමේ අප්‍රමාණ වෙහෙස අතරේ රියේට එරෙහිව අනේක බාධක එයි. නගරයෙන් එපිට සිටින තම හිතේෂීවන්තයින් මහාමාරිය මාරයා ගිල ගනිද්දී ඔවුන් හමුවීමට යාමට නගරයේ දහසක් දෙනා වෙහෙසෙයි. එහෙත් මාරාන්තික රෝගය නගරයට එනු වැළැක්වීමට වෛද්‍ය රියේ ගන්නා බරපතල තීන්දුව හේතුවෙන් නගරවාසීන්ට නගරයෙන් පිට වීමට ඉඩ නොලැබෙයි. පීඩනය දරාගත නොහැකි නාගරිකයෝ වෛද්‍යවරයාට එරෙහිව අවි ඔසවයි. පරිභව කරයි. පීඩා කරයි.
ජීවකයා නොසෙලී සිටී. ඔහු නිල නොලත් පාලකයෙකු වෙයි. පිටතින් එන පත්තරකාරයෙකුට නැවත නගරයෙන් පිටවීමේ අවසර පත පවා නොදෙන්නට තරම් වෛද්‍යවරයා දැඩි තිරණයක සිටියි. ඒ වැරදි පුවත් සමාජගත වෙතැයි සැකය නිසාවෙනි. මාධ්‍යවේදියාත් පසුව වෛද්‍යවරයාට සහය වෙයි. ව්‍යසනයක් පැමිණිවිට එහි වාසිය ගන්නට වෙහෙසෙන ආගමික හා දේශපාලන කණ්ඩායම්වලට කැමූ පිටස්තරයා හරහා දැඩි උපහාසයක් ගෙන එයි.
‘පව් සමාකර නොගත්‘ නිසා මහාමාරියට මිනිසුන් ගොදුරු වූ බව කියන පූජකයින්ද එහි වෙයි. එහි එන ‘පනිලූ පියතුමා‘ වැන්නන් අදත් සමාජයේ සැරිසරයි. එහෙත් දේවස්ථානයේ දෙවියන්ට කිට්ටුවම සිටින බව කියන පියතුමාටත් අවසනදී මහාමාරිය වැළදෙයි. මහාමාරියෙන් මියගිය ලක්ෂ ගාණක් වෙනුවෙන් පාලකයින් කරන්නට යන දෙයක් සම්බන්ධව කෘතියේ තැනක අපූරු දෙබසක් වෙයි.
ඒ රෝගියෙක් සහ චෛද්‍යවරයා අතරය.
‘දොස්තර මහත්තයෝ ඇත්තද මහාමාරිය හැදිලා මැරුණ මිනිස්සු වෙනුවෙන් දේශපාලකයෝ සිහිවටනයක් හදන්න යනවා කියන්නේ.’
‘ඔව් පත්තරවල එහෙම තියෙනවා. කුලුනක්ද කොහෙද හදන්න යනවලු.’
‘ඔව් මම දැනගෙන හිටියා. එදාට උන් හරියට කතා එහෙම පවත්වයි.’
මේ කතාව අදටත් මනාව ගැලපේ. ඕනෑම අපූරු සංකල්පයක හිමිකරුවා යන්න නිර්මාණකරුවාගෙන් ඩැහැ ගන්නට දේශපාලකයා සමත් ය.
රංජිත් කුමාර සමරකෝන් විසින් සමබිම 89 වන කලාපයට ලියන ලද ලිපියකි.