Monday, January 13, 2025

ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසයේ ආදරණීයම සලකුණ : පර්සි

Must read

ක්‍රිකට් කියන්නේ ශ්‍රී ලංකාවේ ජාතික ක්‍රීඩාව වන වොලිබෝල් වලට වල වඩා ජනතාවගේ ක්‍රීඩාව බව ඔබ අපි කවුරුත් හොදින්ම දන්නා කරුණක්. ශ්‍රී ලංකා ක්‍රිකට් වංශ කථාව ආරම්භයේ සිටම විවිධ සංධිස්ථාන පසුකරමින් මේ වන විට ශ්‍රී ලංකා ක්‍රිකට් යම් ස්ථාවර තත්වයකට පත්වී තිබෙනවා. මෙරට ක්‍රිකට් ඉතිහාසයේ ක්‍රිකට් නැවතත් උපත ලැබීමක් වශයෙන් අපට 1996 ලෝක කුසලානය ලබාගැනීම හදුන්වන්නට පුළුවන්. එතනින් පටන් ගත් ක්‍රිකට් ගැම්ම ලොව පුරා ක්‍රිකට් පතාකයින්ට නිරන්තරයෙන් හිසරදයක් වුනා. නමුත් වර්ථමානයේ ශ්‍රී ලංකා ක්‍රිකට් තියෙන්නේ ඒතරම්ම හොද තත්වයක නොවන බවත් ක්‍රිකට් පිස්සන් වශයෙන් අපි හොදින්ම දන්නවා.

හැබැයි අද අපි මේ ලිපිය ලියන්නේ ක්‍රිකට් ගැන කථා කරන්න නම් නෙවේ. ශ්‍රී ලංකා ක්‍රිකට් වල ආදරණීයම චරිතය වන  පර්සි අබේසේකර මහතා ගැන කථා කරන්නයි අද අපි බලාපොරොත්තු වන්නේ. ශ්‍රී ලංකාව සහභාගී වන සෑම තරගයකදීම ශ්‍රී ලංකා ධජය අතැතිව ප්‍රේක්ෂකාගාරය පුරා එහෙ මෙහෙ දුවන මේ ආරණීය මිනිසා  ශ්‍රී ලංකිකයන්ගේ පමණක් නොව ලොවපුරා ක්‍රිකට් රසියන්ගේ හා ක්‍රීඩකයන්ගේ ආදරය දිනාගත් චරිතයක්.

නමින් W.D.පර්සි ජිම්සන් මෙන්ඩිස් අබේසේකර වන ඔහු උපත ලබන්නේ  1936 වසරේ ජුලි මස 30 වනදා බූස්ස ප්‍රදේශයේදීයි. බැද්දේගම ශ්‍රී රතනසාර විද්‍යාලය , ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලය, ගාල්ල ශා.අලෝසියස් විද්‍යාලය, හා ඇකවයිනාස් අායතනයෙන් සිය අධ්‍යාපන කටයුතු සම්පූරණ කරන ඔහු 1968 වසරේදී මෙලනි ද සිල්වා මහත්මිය සමග විවාහ වනවා. දරුවන් දෙදෙනකුගේ පියෙකු වන පර්සි මහතාගේ පුතනුවන් සම්පත් ගාර්ෆීල්ඩ් වන අතර දියණිය නදීශා නිම්මි යි. ගාර්ෆීල්ඩ් යන නම ඔහු  සිය දරුවන් හා මුණුබුරන් සදහා භාවිතා කරන්නේ ශ්‍රීමත් ගාෆීල්ඩ් සොබර්ස්ගේ නමින් වීමත් විශේෂත්වයක්.

ඔහු ශා. අලෝසියස් විද්‍යාලය , Aquinas university college, හා ඔහුගේ ප්‍රථම රැකියා ස්ථානය වන AMW ආයතනය නියෝජනය කරමින් ක්‍රිකට් ක්‍රීඩා කර තිබෙනවා.

පර්සි ශ්‍රී ලංකා ධජයත් අතැතිව ශ්‍රී ලංකා ක්‍රිකට් වෙත සහය දැක්වීම ආරම්භ කරන්නේ 1979 වසරේදී පමණයි. එතැන් පටන් පර්සි නැති ක්‍රිකට් තරගයක් තිබුණේම නැති තරම්.අාරංචි වල හැටියටනම් විවිධ විදෙස් ක්‍රිකට් කණ්ඩායම් විසින් සිය කණ්ඩායම් සදහා සහය දක්වන්නෙකු වශයෙන් කටයුතු කරන්නට කිහිප වරක්ම පර්සිට ආරාධනා කල තිබුණත් පර්සි ඒ සෑම ආරාධනාවක්ම ප්‍රතික්ෂේප කර ඇත්තේ ඔහු සහය දක්වන්නේ ශ්‍රී ලංකා කණ්ඩායමට බව පමණක් පවසමිනුයි.

පර්සි අබේසෙක්රගේ දිවියේ ක්‍රිකට් සම්බන්දයෙන් ඇති නොමැකෙන මතකයන් කිහියක් තමයි මේ

  • 1983 එංගලන්තයේ පැවති ලෝක කුසලාන තරගාවලියෙන් පසු කොළඹ බලා යන ගමනේදී එවකට ලංකා පුහුණුකරු වූ ශ්‍රීමත් ගාෆීල්ඩ් සොබර්ස් සමඟ ගුවන් යානයක නර්තනයේ යෙදීම
  • 1983 ජූලි කෝලාහලයේ උච්චතම අවස්ථාව වන විට සොබර්ස් නැවත බාබඩෝස් බලා පිටත් වීමට සූදානම් වීමේදී පිරිසක් විසින් ඔහුගේ මෝටර් රථයට ගිනි තැබීමට උත්සහ කිරීමේදී ශ්‍රීමත් ගාෆීල්ඩ්ගේ ජීවිතය බේරා ගැනීමට කටයුතු කිරීම.
  • 1982 දී මදුරාසියේ පැවැති ටෙස්ට් තරගයයේදී එල්ටීටීඊ මරණ තර්ජනද නොතකමින් ශ්‍රී ලංකාව වෙනුවෙන් ඔල්වරසන් දීම.
  • බ්‍රිතාන්‍ය පොලිසියේ තර්ජන මධ්‍යයේ ලෝඩ්ස් හි ආරම්භක ටෙස්ට් තරගයේදී ශ්‍රී ලංකාව ඔල්වරසන් දීම.
  • මාටින් ක්‍රෝව් විසින් දිනාගත් “තරගයේ වීරයා” පර්සි වෙත පරිත්‍යාග කිරීම. එහිදී ක්‍රෝව් කියා සිටියේ  ඒවා ‘පර්සිගේ ක්‍රිකට් ක්‍රීඩාවට ඇති ආදරය’ සහ ඔහුගේ ‘දේශප්‍රේමය’ උදෙසා ලබාදෙන බවයි.

මේ වන තෙක් පර්සි ගෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් වෙත සිදුවු සේවය අගයමින් පසුගියදා පැවැති ශ්‍රී ලංකා ක්‍රිකට් සම්මාන රාත්‍රීයේදී ” Lifetime Award” සම්මානය පර්සි වෙත පුදනු ලැබුවා.

ඒ විදියට ක්‍රිකට් වෙනුවෙන් තම දිවියම කැප කල ආදරණීයෙකු පිළිබදවවන සංක්ෂිප්ත සටහනක් තබන්නටයි අපට අවශ්‍ය වුනේ. කෙසේ වෙතත් පර්සිගේ අඩිපාරේ යමින් ශ්‍රීලංකා ක්‍රිකට් වෙත සහය දක්වන්නන් ඉදිරයේදීත් බිහිවන්නට නියමිතයි. නමුත් පර්සි අබේසේකර චරිතය වෙනස්ම මතකයන් රැසක් ක්‍රීඩා ලෝලීන්ගේ සිත් තුල සටහන් කර අවසන්.

(ඡායාරූප හා තොරතුරු – www.percyabeysekera.com)

සටහන – මිතිලායා ගමගේ

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article