Saturday, January 11, 2025

ලෝක බැංකුවෙන් ඩොලර් මිලියන 125ක්

Must read

 

පළාත් හයක කුඩා ගොවීන් 470,000ක් ඉලක්ක කරගනිමින් කෘෂිකර්මාන්තයේ ඵලදාව සහ නැවත ප්‍රකෘති තත්ත්වයට පත්වීම වර්ධනය කිරීම සඳහා ලෝක බැංකුව ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 125ක මුදලක් ලබාදීමට එකඟතාව පළ කර ඇත.

දේශගුණික විපර්යාසවලින් වැඩිම බලපෑමක් සිදුවන පළාත් මේ සඳහා තෝරාගෙන තිබෙන අතර එම පළාත් සියල්ල වියළි කලාපයට අයත් බව ද පැවසේ.

ශ්‍රී ලංකාව ගංවතුර සහ නායයෑම් ආදී දේශගුණික විපර්යාසවලට සම්බන්ධ ස්වාභවික ව්‍යවසනවලට ගොදුරුවීමේ වැඩි අවදානමක් තිබෙන රටක් යැයි ද ලෝක බැංකුව කියයි.

මෙරට කෘෂිකාර්මික රටේ ආර්ථික ක්ෂේත්‍රයට 7.7%ක දායකත්වයක් ලබාදෙන අතර රටේ ජනගහනයෙන් 27%ක් කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ රැකියාවල නිරත වී සිටිති. එම පිරිසෙන් 38%ක් කාන්තාවන් බවත් දේශගුණික විපර්යාස සහ ස්වභාවික ව්‍යවසන නිසා වැඩි වශයෙන් පීඩාවට පත්වන්නේ ඔවුන් බවත් ලෝක බැංකුව සඳහන් කරයි.

මෙම ලෝක බැංකු ව්‍යාපෘතිය යටතේ ජල සම්පාදනවලට ප්‍රවේශ වීම සහ ජල සම්පත් කළමනාකරණය වැඩි කිරීමට ද ඔවුන්ට සහාය හිමි වේ.

කෘෂිකාර්මික නිෂ්පාදනවල ඵලදායීතාව ඉහළ නංවමින් වෙළෙඳපොළවලට ප්‍රවේශ වීමට ඇති හැකියාව වර්ධනය කිරීම මේ ව්‍යාපෘතියේ අරමුණ වී තිබේ.

කෘෂිකර්ම, ග්‍රාමීය ආර්ථික කටයුතු, පශු සම්පත් සංවර්ධන, වාරිමාර්ග සහ ධීවර සහ ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශය සහ අදාළ පළාත් සභා හය එක්ව මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරයි.

දේශගුණික විපර්යාසවලට ඔරොත්තු දීමේ මෙම ව්‍යාපෘතියේ සම්පූර්ණ වියදම ඇමෙරිකානු ඩොලර් මිලියන 140ක් වන අතර ලෝක බැංකුවේ ජාත්‍යන්තර සංවර්ධන සංවිධානයෙන් ඒ සඳහා ඩොලර් මිලියන 125ක ණය මුදලක් ලැබෙන අතර ශ්‍රී ලංකා රජය ඒ සඳහා ඩොලර් මිලියන 10ක මුදලක් වැය කරයි. ඉතිරි ඇමෙරිකානු ඩොලර් මිලියන 5ක මුදල ව්‍යාපෘතියේ ප්‍රතිලාභ ලබන්නන්ගෙන් දායකත්වයෙන් සපුරා ගැනේ.

(Lankadeepa.lk)

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article