Friday, November 22, 2024

ලංකා ස්වයං රැකියා වෘත්තිකයින්ගේ ජාතික ත්‍රීරෝද රථ සංගමයේ සභාපති ඝාතනයේ සැකකරුවන් රිමාන්ඩ්

Must read

ලංකා ස්වයං රැකියා වෘත්තිකයින්ගේ ජාතික ත්‍රීරෝද රථ සංගමයේ සභාපති සුනිල් ජයවර්ධන මහතා ඝාතනයට ලක් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් 08 දෙනා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ සැකකරුවන් ලබන 25 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කළ බව අද දෙරණ වාර්තාකරු පැවසීය.

ඊයේ (10) පස්වරුවේ මිරිහාන ප්‍රදේශයේ පිහිටි කල්බදු සමාගමක් ඉදිරිපිටදී සිදු වූ පහරදීමකින් තුවාල ලැබූ සුනිල් ජයවර්ධන මහතා කළුබෝවිල රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් තිබුණි.

සිද්ධියට අදාළව එම සමාගමේ සේවකයින් 08 දෙනෙකු මිරිහාන පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබුවේය.

සුනිල් ජයවර්ධන මහතා සිය හිතවතෙකුගේ කල්බදු වාරික ගෙවීම පැහැර හැරි ත්‍රිරෝද රථයක් සම්බන්ධයෙන් ඇති වූ ගැටළුවක් නිරාකරණය කර ගැනීමට මෙම කල්බදු සමාගමට ගිය අවස්ථාවේදී ඇති වූ ආරවුලක් දුරදිග යාමෙන් මෙම පහරදීම සිදුව ඇති බව පොලීසිය සිදු කළ මූලික විමර්ශනවලින් අනාවරණය වී තිබේ.

අදාළ පහරදීම සම්බන්ධයෙන් සැකපිට කල්බදු ආයතනයේ සේවකයින් 08 දෙනෙකු අයුතු ජනරාශිය හා මනුෂ්‍ය ඝාතනයක් සිදු කිරිම යන චෝදනා මත මිරිහාන පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේය.

සිද්ධියෙන් මියගිය ලංකා ස්වයං රැකියා වෘත්තිකයින්ගේ ජාතික ත්‍රිරෝද රථ සංගමයේ සභාපති සුනිල් ජයවර්ධන මහතා 53 හැවිරිදි කැස්බෑව ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වෙයි.

මේ සම්බන්ධයෙන් අද දෙරණ කළ විමසීමකදී අනාවරණය වූයේ මෙම සිද්ධියට අදාළ මූල්‍ය ආයතනය ශ්‍රී ලංකා මහ බැංකුවේ ලියාපදිංචි ආයතනයක් නොවන බවයි.

(Adaderana)

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article