ශ්‍රී ලංකාව 2020 දී ගෙවිය යුතු ණය වාරික ප්‍රමාණය ඩොලර් බිලියන 4.8ක්. එහෙත් ඒ 2020 දී ගෙවිය යුතු ණය ප්‍රමාණය පමණයි. 2019 වර්ෂය අවසානය වනවිට රජයේ මුළු ණය ප්‍රමාණය ඩොලර් බිලියන 35ක් පමණ වෙනවා. ආසන්න වශයෙන් රුපියල් බිලියන 12,863ක්. දේශීය ණය රුපියල් බිලියන 6,523ක්. විදේශීය ණය ප්‍රමාණය රුපියල් බිලියන 6,339ක්.මේ ණය කන්ද ගැන තොරතුරු පසුගිය සතියේදී මාධ්‍යවලින් සාකච්ඡාවට ලක්වුණා. කිහිපදෙනෙක්ම ඒ ගැන අදහස් දක්වා තිබුණා. වඩා ආකර්ෂණීය අදහස ඉදිරිපත් කර තිබුණේ සම කැබිනට් ප්‍රකාශක බන්දුල ගුණවර්ධන. ඒ මාධ්‍යවේදීයෙකුගේ ප්‍රශ්ණවලට පිළිතුරු සපයමින්.

‘ඒ ගැන කිසිසේත්ම ඔබතුමා කලබල වෙන්න එපා. ඒ සඳහා වෙනම රාජ්‍ය ආයතනයක් තියෙනවා. රජයේ බැංකුකරු , මුදල් නියෝජිතයා හා මූල්‍ය උපදේශකයා වශයෙන් ශ්‍රී ලංකා මහ බැංකුවේ වෙනම දෙපාර්තුමේන්තුවක් තිබෙනවා රාජ්‍ය ණය කළමනාකරණය කිරීම පිළිබඳව. මෙවරත් ඒ විද්වතුන් ඒ කටයුත්ත කරයි. ‘ ඔහු කියා තිබුණා.

ණය ගෙවන ආකාරය තීන්දු කිරීම මහබැංකුව කරන දෙයක් බව බන්දුල ගුණවර්ධන මහතා පෙන්වන්නට උත්සහා කළත් , එය ආණ්ඩුවේ වගකීමක් බව අමුතුවෙන් පෙන්වා දිය යුතු නැහැ. රටේ ආර්ථීකය හසුරුවන්නේ ආණ්ඩුව. ණය ගෙවන්නට මුදල් සොයා ගන්නා අන්දම තීන්දු කරන්නෙත් ඔවුන්. මහබැංකුව එයට උපදෙස් ලබාදීම හා ගෙවිය යුතු ණය ප්‍රමාණය ගැන තොරතුරු ලබාදීම කරනවා. මේ ආණ්ඩුව බලයට පත්වුණේත් රාජය ආර්ථිකයේ විස්කම් පාන බව කියමින්. මුදල් අමාත්‍යධූරයට පත්කර ඇත්තේ මහින්ද රාජක්ෂ මහතා. ඒ නිසා ණය ගෙවීමේ හා ආර්ථිකය ගොඩදැමීමේ වගකීමෙන් ඔහුට පලා යා නොහැකියි.

ගෙවුණු සතියේ මාධ්‍ය සාකච්ඡාවකදී මහබැංකු නියෝජ්‍ය අධිපති නන්දලාල් වීරසිංහගෙන් ණය ගෙවීම ගැන විමසද්දී ඔහු කියා තිබුණේ මහබැංකුව මුදල් අමාත්‍යාංශයේ උපදෙස් බලාපොරොත්තුවෙන් සිටින බවයි. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේ ආරම්භයත් සමග ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කළ පසු, ගත යුතු පියවර පැහැදිලි වනු ඇති බව ඔහු කියා තිබුණා.

ණය ගෙවීමේ සැලසුම ආණ්ඩුව ඉදිරිපත් කළ යුතු බව ඔහු පැහැදිලි කළා. මීට පෙර සිටි ආණ්ඩුව ණය ගෙවන ආකාරය පිළිබඳ උපදෙස් ලබා දී තිබුණු නමුත් , නව ආණ්ඩුව තවමත් ඒ ගැන උපදෙස් ලබා දී නැති බව පැහැදිලි කළා. වැඩිදුරටත් ඔහු පෙන්වා දුන්නේ ඇමරිකන් ඩොලර් බිලියන 1ක ණය වාරිකයන් ගෙවන්නට ඇත්තේ 2020 ඔක්තොම්බර් මාසයේදී බව . ඒ දක්වා ණය වාරික කොටස් වශයෙන් ගෙවීම අසීරු නැතිබව කියා තිබුණා. නව පාර්ලිමේන්තුවක් බලයට පතවෙන තුරු ණය ගෙවීම කරගෙන යා හැකි බවද ඔහු පෙන්වාදී තිබුණා. කෙසේ වෙතත් එම සිදුවීම නිසා රාජ්‍ය ණය පිළිබඳ කතාබහා පෙරට පැමිණ තිබෙන බව පැහැදිලියි.

අප මුලින්ම කීවේ 2019 අවසානයේදී ශ්‍රී ලංකාව ගෙවිය යුතු ණය ප්‍රමාණය. ශ්‍රී ලංකා රජය 2018 දෙසැම්බර් 31 වනවිට සම්පූර්ණ වශයෙන් ගෙවිය යුතුය තිබුණු දේශීය හා විදේශීය ණය ප්‍රමාණය රුපියල් බිලියන 11,467ක් ලෙස මහා භාණ්ඩාගාරයේ දත්තවල සටහන්ව තිබුණා. ( ට්‍රිලියන 11.5ක්.) මහබැංකුවේ දත්ත අනුව ගෙවිය යුතු ණය ප්‍රමාණය රුපියල් බිලියන 11,977ක්.

වසරක් තුළ ණය ප්‍රමාණය රුපියල් බිලියන 1000කින් පමණ වැඩිවී තිබෙනවා. රටේ ණය බර ඉතාම වේගයෙන් ඉහළ ගොස් තිබුණත්, ඒකට සාපේක්ෂ මූල්‍ය නොවන වත්කම් ඉහළ ගොස් තිබුණේ නැහැ. ඇත්තෙන්ම 2018 වසරේ රජයේ වත්කම් ලෙස තිබුණේ ට්‍රිලියන 1.9ක් වටිනා වත්කම් පමණයි. ඒ අනුව ඒ වසරේ ට්‍රිලියන 11.5ක ණය ප්‍රමාණය වත්කම්වලටත් වඩා වැඩියි.

සරලව කීවොත් ණය ගත්තා පමණයි., කිසිදු යහපත් ආර්ථිකයන් ගොඩනැගී නැහැ. එසේ නනම් ගත්ත ණයයලට කරන්නේ කුමක්දැයි කෙනෙකුට විමසිය හැකියි.

ණයවලින් වැඩි කොටසක් පුනරාවර්තන වියදම්වලට හෙවත් එදිනෙදා ඕනෑ එපාකම් වෙනුවෙන් වැය කරන්නට සිදුව තිබෙනවා. රාජ්‍ය සේවකයන්ගේ වැටුප් ගෙවීම, සමෘද්ධි ගෙවීම, අධ්‍යාපනය හා සෞඛ්‍ය සැපයීම ආදි කටයුතු ඒ අතර තිබෙනවා. එදිනෙදා දෙවල් වලට ණය ගැනීමෙන්, ආදායම වැඩිවෙන්නේ නැහැ. ඒ වෙනුවට වැඩිවෙන්නේ ඒක පුද්ගල ණය ප්‍රමාණය. පසුගිය වසර ගණනාවක් තිස්සේ සිදුවී තිබෙන්නේ එය. ණය වැඩිවෙද්දී පොලිය පවා වැඩිවෙනවා . 2018 වසරේදී රුපියල් බිලියන 189ක් ණය පොලී ලෙස පමණක් අප ගෙවා තිබුණා.

විගණකාධිපති දෙපාර්තුමේන්තුව මෑත කාලයේ නිකුත් කළ විශේෂ විගණන වාර්තා දෙකකින්ම පෙන්වාදී තිබුණේ ලංකාවේ ණය කළමනාකරණය ඉතාම දුරුවල මට්ටමේ පවතින බව. එය අප සැම දන්නා කාරණයක්. එහෙත් විගණකාධිපති දෙපාර්තුමේන්තුවම එය පෙන්වා දී තිබීම විශේෂයි. විගණන වාර්තාවෙන් පෙන්වාදෙන විදියට අප ඉහත කී ණය පිළිබඳව ගණන් හිලව් අයිස් කන්දක පෙනෙන කොටස පමණක් විය හැකියි. මොකද, ලංකාවේ සමස්ථ ණය ප්‍රමාණය නිසි පරිදි ගිණුම්ගත වෙන්නේ නැහැ. කෙසේ වෙතත් පවතින ගිණුම් අනුව අපට ණය ප්‍රමාණය ගැන කතා කරන්නට සිදුව තිබෙනවා. අප මේ සටහනේදීම පෙන්වු පරිදි , මහබැංකුව හා මහා භාණ්ඩාගාරය ණය ප්‍රමාණය ගැන සංඛ්‍යාලේඛණ දෙකක් ඉදිරිපත් කරනවා.

මහ බැංකුවේ වාර්තා අනුව ලංකාවේ සම්පූර්ණ ණය ප්‍රමාණය 2005 වර්ෂයේ අවසන් වෙද්දී රුපියල් බිලියන 2,222ක්. එය රාජපක්ෂ ආණ්ඩුවේ අවසාන වර්ෂය වූ 2014 වෙද්දී රුපියල් බිලියන 7,391ක් දක්වා වර්ධනය වී තිබුණා. 2019 වර්ෂය අවසාන වෙද්දී බිලියන 12,863ක් දක්වා ඉහළ යෑම ඛේදවාචකයක් , ණය ලබාගැනීම කිසිදු වෙනසක් නැතුව හිටපු ආණ්ඩුව පවා කර තිබෙන බවත් ණය පිළිබඳ දත්ත වලින් පැහැදිලි වෙනවා.

ණය ඉහළ යද්දී එයට සාපෙක්ෂව දළ දේශීය නිෂ්පාදනයයේ වර්ධනයක් වුණා නම් ගැටලුවක් නැහැ. ඒ සමඟම වත්කම් වර්ධනයකුත් වුණා නම් , ණය ඉහළ යෑම තේරුම් ගත හැකියි. ණය ඉහළ ගියාට අපට එය ගෙවීමේ හැකියාවක් තිබෙන බව අවබෝධ කරගත හැකියි. එහෙත් එවැන්නක් සිදුවී නැහැ. 2018 දී රාජ්‍ය ණය ප්‍රමාණය දළ දේශීය නිෂ්පාදනයෙන් සීයට 83.6ක් ගෙන තිබුණා.

2005 දී ණය ප්‍රමාණය රුපිියල් බිලියන 2,222ක් වෙද්දී රජයේ මුළු වත්කම් ප්‍රමාණය රුපියල් බිලියන 293ක් . 2018 දී ණය ප්‍රමාණය රුපියල් බිලියන 11,977ක් දක්වා වර්ධනය වුණත් වත්කම් ප්‍රමාණය රුපියල් බිලියන 1912ක් දක්වා පමණයක් වර්ධනය වී තිබුණා. ඒ අනුව ඉහළ යන්නේ ණය පමණයි. වත්කම් නොවෙයි.

ණය ගත යුත්තේ ආයෝජනය වෙනුවෙන්. එහෙත් ආයෝජන ප්‍රමාණයන අඩුයි. අපේක්ෂිත ආකාරයට අපනයන නිෂ්පාදනය ඉහළ ගොස් තිබුණේ නැහැ. එහෙත් ඉන්ධන ඇතුළු වෙනත් පරිභෝජන ද්‍රව්‍ය ආනයනය වෙනුවෙන් අධික වියදමක් දැරීමට සිදුවී තිබුණා. හැම වසරේම ආදායමට වඩා වියදම වැඩිවී තිබුණා. ඒ නිසා අයවැය හිඟයත් ඉහළ මට්ටමක පැවතුණා.

2006 වර්ෂයේ රජයේ වියදම රුපියල් බිලියන 777ක් වුණා. මුළු ආදායම රුපියල් බිලියන 477ක් පමණයි.ඒ අනුව අයවැය හිඟය බිලියන 300ක්.

2018 දී මුළු සත්‍ය ආදායම රුපියල් බිලියන 2,734ක් වෙද්දී මුළු සත්‍ය විදයම රුපියල් බිලියන 1,935ක් පමණයක් වුණා. අයවැය හිඟය රුපියල් බිලියන 799ක්.

කෙසේ වෙතත් 2014දී රුපියල් බිලියන 838ක් වශයෙනුත්, 2015 දී රුපියල් බිලියන 963ක් වශයෙනුත් අයවැය හිඟය ඉහළ ගොස් තිබුණා . එය පහළ දමාගැනීමට මෑත කාලයේ මුදල් අමාත්‍යංශ සමත්ව තිබුණු බවත් අමතක නොකළ යුතුයි. එහෙත් සමස්ත ලෙස තත්වය භයානකයි. ආදායමට වඩා වියදම වැඩියි. ඒ නිසා ණන ගන්නට සිදුවෙනවා.

අප මීට පෙර කී ආකාරයට ණය ගැනීම අර්ථවත් වෙන්නේ හැකි තරම් ඒවායින් ආයෝජනය කොට, නැවත නැවතත් ණය ගැනීමට සිදු නොවන ආකාරයට ආර්ථිකය ඉහළට ගත්තොත් පමණයි. එහෙත් 2006 සිට මේ දක්වා සෑම වසරකදීම අයවැයෙන් ආයෝජන යැයි සඳහන් කොට වෙන්කර මුදල් වලින් බහුතරයක් ඇත්තටම ආයෝජනය කර තිබුණේ නැහැ. . වෙනත් කටයුතු වලට යොදවා තිබුණා. උදාහරණයක් ලෙස 2016 වර්ෂයේදී රුපියල් බිලියන 1,185ක් ආයෝජනය කරන බව අයවැයෙන් කියා තිබුණා. එහෙත් ඇත්තෙන්ම ආයේජනය කර තිබුණේ බිලියන 594ක් පමණයි.

විගණකාධිපති දෙපාර්තුමේන්තුව මෙසේ කියනවා.’ දීර්ඝ කාලවක් තිස්සේ රජය විසින් ලබාගනු ලබන දේශීය හා විදේශීය ණය වලින් සැලකිය යුතු ප්‍රමාණයක් ණය වාරික හා පොළි ගෙවීම සඳහා යොදා ගැනීමට සිදුවි තිබෙන නිසා රටේ අපේක්ෂිත සංවර්ධනය ඉළක්ක ළඟාකර ගැනීමට අපොහොසත් වී තිබුණි. ඒ අනුව , ණය ගැනීම්වලට සාපේක්ෂව රාජ්‍ය ආයෝජනය වර්ධනය නොවීම තුළ ප්‍රමාණවත් පරිදි නිෂ්පාදන කර්මාන්ත ඇති නොවීම හා පුනරාවර්තන වියදම් අඛණ්ඩව ඉහළ යෑම හේතුවෙන් රාජ්‍ය ණය බර දීර්ඝ කාලයක් තිස්සේ වර්ධනය වී තිබුණී. එසේම සජවර්ධණ ව්‍යාපෘතී අපේක්ෂිත පරිදි ක්‍රියාත්මක නොවීම හා ව්‍යාපෘති සඳහා වෙන්කරනු ලබන මුදල් කාර්යක්ෂමව , ඵලදායී හා අරපිරිමැස්මෙන් යුතුව උපයෝජනය නොකිරිම හේතුවෙන් රටේ මූල්‍ය ස්තාවරත්වයක් මෙන්න ණය ආපසු ගෙවීමේ හැකියාවට අහිතකර බලපෑම් ඇතිවිය හැකිබව නිරීක්ෂණය විය.’

එක් එක් වර්ෂයේදී ලබාගෙන තිබෙන දේශීය ණය ප්‍රමාණය සැලකිල්ලට ගැනීමේදි යහාපාලන ආණ්ඩුව පවා විශාල වශයෙන් ණය ලබාගෙන තිබෙන බව පැහැදිලියි.

2005 දී දේශීය ණය රුපියල් බිලියන 847ක් ලබා තිබෙනවා. 2014 වර්ෂයේදී දේශීය ණය රුපියල් බිලියන 2443ක් ලබාගෙන තිබෙනවා. 2018 දී එය 4059ක් දක්වා වැඩිවී තිබෙනවා.

එහෙක් වර්ෂයෙන් වර්ෂය ගෙවා ඇති ණය ප්‍රමාණය වැඩියි. 2005 දී රුපියල් බිලියන 699ක් ණය ගෙවා තිබෙනවා. 2005 දී රුපියල් බිලියන 699ක් ණය ගෙවා තිබෙනවා. 2014 දී එය 1691 දක්වා වැඩිවී තිබෙනවා. 2018 දී රුපියල් බිලියන 3403ක් ගෙවා තිබෙනවා.

ඉහත කී ගණන් හිලව් වලින් තහවුරු වෙන්නේ ලංකාවේ ණය කළමණාකරණය මහා ප්‍රපාතයකට රට ගෙන යමින් තිබෙන බව. නැවත රට ගොඩ නගන්නට නම් අනිවාර්යයෙන්ම ජනප්‍රීය නොවන තීන්දු ගැනීමට සිදුවේ. අයවැය විනයක් පවත්වාගෙන යන්නට සිදුවේවී. විශාල වැය බරක් දරමින් වැටුප් ගෙවන්නට සිදුවෙන අන්දමේ රැකියා බේදීමත් , රජයට ලැබෙන ආදායම් කප්පාදුවත් බුද්ධිපත් පියවර නොවේවි.

ජනාධිපතිවරයා බලයට පත්වු විගස ඉන්දියාවෙන් විශාල ණය මුදලක් ලබාගත්තා. සම කැබිනට් ප්‍රකාෂක බන්දුල ගුණවර්ධන මීට පෙර සතියක අනිද්දා පුවත්පතට කියා තිබුණේ ඉදිරියේදී ණය ගැනීමට රජය බලාපොරොත්තු වන බවයි. මිතුර රට වල සංචාරය කරද්දී ණය ලබාගැනීමට බලාපොරොත්තු වන බව ඇමතිවරයා කියා තිබුණා.

නුදුරේදීම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ චීන සංචාරයකට සහභාගි වෙනවා. ඒ පසුබිමෙහි 2006 වසර අවසාන වෙද්දී රුපියල් 124,711 ක්ව පැවති ඒක පුද්ගල ණය 2018 වසර අවසානය වෙද්දී රුපියල් 529,165ක් දක්වා ඉහළ ගොස් තිබනෙ බව සිහිපත් කරන්නට සිදුවෙනවා.

මේ වෙද්දීත් රටේ තදබලම අභියෝගය වන්නේ ණයවලින් ගොඩ ඒමය. බොහෝ පුරවැසියන් ඒ කටයුත්තේදී ජනාධිපතිවරයා මත විශ්වාස තබා ඇතයි පෙනෙනවා. විශ්වාසය රැකීම ජනාධීපතිවරයාගේ වගකීමක්.

තරිඳු උඩුවරගෙදර

අනිද්දා