කොයි මොහොතේ හෝ එයි කියා ඇස තවමත් මඟ බලා සිටී. කවුරුන්හෝ ඇගේ ආදරය අතුරුදන් කර ඇත. උදුරා ගත්තද ඇගේ ආදරය ඇය තවමත් ඔහුට ආදරෙයි.
ආදරවන්තයින්ගේ දිනය සමරන්නට කොළඹ ඕලන්ද රෝහල අසලට රෝසමල් ගෙන ඇය පැමිණියද එය දෙන්නේ කාටදැයි ඇගේ සිත තුළ පැන නැඟුණු ගැටලුවට පිළිතුරක් දෙන්නට කිසිවෙක් එහි නොසිටියේය. ඔවුහු හැඬු කඳුළින් තම අතවූ මල් කිනිත්ත එහි සිටි කාට හෝ දී හිත සනසා ගත්තේ ය. එහෙත් එය තාවකාලිකය.
නිදහසින් පසු මෙරට ඇතිවූ සිවිල් ගැටුම් හේතුවෙන් ආදරණීය ස්වාමි පුරුෂයින් අතුරුදන් වූ වේදනාව තාවකාලිකව හෝ මුදාහරින්නට ඔවුනට හැකිවීම වැදගත්ය. 1971 – 1989 භීෂණ සමය සහ උතුරු නැඟෙනහිර සිවිල් යුද්ධය නිසා මෙරට අතුරුදන් වූ හා මරණයට පත් වූ සංඛ්‍යාව එක් ලක්ෂහැට දහසකට ආසන්නය. ඔවුන් අතරින් අතුරුදන් වූවන්ට සිදුවූයේ කුමක්ද? ඔවුන් තවමත් ජීවතුන් අතර සිටීද? නැතිද යන්න පිළිබඳව වත් නිවැරදි තොරතුරක් දෙන්නට මෙතෙක් කිසිවෙක් සමත්ව නැත.
එක් අතකින් එය බරපතළ මානව හිමිකම් කඩවීමකි. තම ආදරණීයයාහට සිදුවූයේ කුමක්ද යන්න දැනගැනීමේ අයිතිය ඔවුනට තිබිය යුතුය. අවම වශයෙන් තම ආදරණීයයන් වෙනුවෙන් ආගමික වතාවත් ඉටුකරන්නට හිත සනසා ගැනීමට මරණ සහතිකයවත් ඔවුනට නැත. එනිසාම ඔවුහු තම ආදරණීයයන් කවදාහෝ එතැයි මඟ බලා සිටිති.
මෙරට ඇතිවූ සිවිල් යුද්ධ හේතුවෙන් සිංහල, දෙමළ, මුස්ලිම්, සියලු ජනවර්ගයන්ට අයත් පිරිස් අතුරුදන්ව ඇත. අතුරුදන් වූවන් ගේ පවුල්වල අයට භිෂණය විසින් සියල්ල අහිමිකර ඇත.
අතුරුදන් වූවන් ගේ බිරින්දෑවරුන් දෙසීයකට ආසන්න පිරිසක් කොළඹ ඕලන්ද රෝහල අසලදී පෙබරවාරි 14 දින අපට මුණ ගැසෙන්නට ලැබුනි. ඉන් කිහිප දෙනෙක් අප සමඟ කතාබස් කළහ. නන්දසීලි ඉන් කෙනෙකි. ඇයගේ කතාව කෙතරම් නම් සෝචනීයද? ඒ අමිහිරි රාත්‍රිය ඇයට කෙතරම් නම් බිය ගෙන දෙන්නක් වන්නට ඇත්ද?
ඒ භීෂණ යුගය පිළිබඳව හම්බන්තොට නන්දසීලි කියන්නේ මෙසේය.
“හරියටම 1987. 12. 07 වෙනිදා මගේ මහත්තයව පැහැර ගත්තා. එයාගෙ නම ආනන්ද. මම ආනන්දට ගොඩක් ආදරය කළා. එයාගෙ සින්දු වලට මම හරි ආසයි. අපි ආදරය කළත් ගෙදරින් අපිට කැමති වුණේ නැහැ. ඒත් අපි විවාහ වුණා. අගහිඟකම් තිබුණත් අපි සතුටින් ජීවත් වුනා. ඒ සතුට අපෙන් උදුර ගත්තෙ කවුද? ඒවට උත්තර නැහැ. මම හැමතැනම ආනන්දව හෙව්වා. ඒත් හම්බවුණේ නැහැ. මම දරුවො තුන් දෙනෙක් එක්ක පාරට වැටුණා. අතේ තිබුණෙ රුපියල් 500යි. මට දැන් ගෙදර හවුහරනක් නැහැ. මම මගේ තාත්තා හමුවෙන්න ගියා. තාත්තා කිව්ව දැන් ප්‍රශ්න ඉවරයි දරුවො තුන් දෙනත් එක්ක ගෙදර වරෙන් කියලා. මම ගෙදර ගියා. දරුවො තුන්දෙනත් එක්ක නොවිඳිනා දුක් වින්දා. අපිව වෙන්කරල අවුරුදු 30කටත් වැඩියි. ඒත් එදා තිබුණු ආදරය තවමත් තියෙනවා.
ඇය දරුවන් සමඟ නූතන පටාචාරාවක් වෙද්දී ආනන්දව අතුරුදන් කළ වුන් තමන්ගේ රාජකාරිය අකුරටම ඉටුකළා යැයි උදම් අනන්නට ඇත.
මඩකළපුව – වෙල්ලාවලි නාගකන්නී කියන්නේ තම සැමියාට සිදුවූ දෙය තවම නොදන්නා බවයි.
“මගේ මහත්තයා කළේ හරක් පට්ටි බලාගන්න එක. එයා හැමදාම කැලේට යනවා. වෙල්ලාවලි කැලේදී තමයි එයා අතුරුදන් වෙන්නෙ. 2007 – 8 -08 වෙනිදා කැලේට ගිය එයා තාමත් ආවෙ නැහැ. ඒ කැලේ හිටියෙ හමුදාව විතරයි. මට දරුවො හය දෙනෙක් ඉන්නවා. රතුකුරුසෙට මානව හිමිකම් එකට, පොලිසියට හැමතැනටම කිව්වා. තවමත් උත්තර නැහැ. අපි තාමත් එයා එනකන් බලන් ඉන්නවා.
උතුරේ ෂන්මුග රාජා එනතුරු නාගකන්නී බලා සිටින්නා සේ දකුණේ වැන්දඹු කාන්තාවන් බොහෝ දෙනෙක් ද තම ස්වාමියා එනතුරු බලා සිටිති. තම ආදරණීය ස්වාමි පුරුෂයා නැවත නොඑනු ඇතැයි ඔවුන් කෙසේනම් විශ්වාස කරන්නද?
අක්කරෙයිපත්තු රාස කුමාරි කියන්නේ 2009 – 04 – 13 වෙනි දින සුවදාස් නම් වූ තම ස්වාමි පුරුෂයා කරුණා අම්මාන්ට සම්බන්ධ ඉනයාභාර්තීගේ සන්නද්ධ කණ්ඩායමක් විසින් පැහැරගෙන ගිය බවය.
“මගේ මහත්තය අතුරුදන් වෙනකොට මට දෙවෙනි දරුව ලැබෙන්න හිටියෙ. අක්කර පත්තු ii කණුව ළඟදී ඉනයභාරතීගෙ කණ්ඩායම තමයි එයාව පැහැරගත්තෙ. එතන හමුදාවත් ඉඳල තියෙනවා. මහත්තයව එක්කගෙන ඇවිත් ගෙදර තිබුණු සල්ලි, රත්‍රන් බඩුත් ඒ අය අරගෙන ගියා. අදවෙනකන් මහත්තය ගැන තොරතුරක් නැහැ. මම පොලිසියට , ජනාධිපති කොමිසමට, රතුකුරුසයට, මානව හිමිකම්එකට පැමිණිලි කළා. අද වෙනකන් තොරතුරක් නැහැ.
මේ උතුරු නැඟෙනහිර කුරිරු යුද්ධයෙන් අපට උගත හැකි පාඩමකි. ඔවුන් යුද්ධ කළේ කාවෙනුවෙන්ද යන්න මේ කතාව ඔබට හොඳම නිදසුනකි. සාමාන්‍ය ජනතාවගේ විමුක්තිය වෙනුවෙන් ඔවුන් යුද්ධ කළේයැයි කාට නම් කිව හැකිද?
දකුණේ භීෂණයේ තත්ත්වයද ඊට නොදෙවෙනිය. සන්නද්ධ කණ්ඩායම් මෙන්ම රජයේ හමුදාවන්ද තරඟයට මෙන් අතුරුදන් කරවීම් සිදු කර ඇත. ඒ සඳහා නීතිය තවමත් ප්‍රමාදය. බොහෝ දෙනෙක් පවසන්නේ අතුරුදන් වූවන්ට සාධාරණය ඉටුකිරීමට ආණ්ඩු කිසිවකට උවමනාවක් නොමැති බවය.
අකුරැස්ස – ඥානා ලියනගේ
“1989 – නොවැම්බර් – 14 වෙනිදා රෑ 10.00ට විතර හමුදාවෙ නිලඇඳුම් ඇඳගත්තු කට්ටියක් දොරටතට්ටු කළා. අපි දොර ඇරියා. පාර පෙන්වන්න කියල මහත්තයව අරගෙන ගියා. මාව ගේ ඇතුළට තල්ලු කළා. මට දොර වහගන්න කිව්වා. මහත්තයව එවන්නම් කිව්වා. මම තාමත් මඟ බලාගෙන ඉන්නවා. අදටත් ආරංචියක් නැහැ. හමුදා කඳවුරුවලට ගියා. හැම තැනකම හෙව්වා. කිසිම ආරංචියක් ලැබුණෙ නැහැ. සිරිපාල නැතිවෙන කොට බාල දරුවට අවුරුදු එකහමාරයි. දරුවො තුන් දෙනෙක් ඉන්නවා. අපි ගොඩක් දුක් වින්දා. ළමයින්ව ළමා නිවාස වල දාල මම ගෙවල්වල වැඩකාරකමට ගියා. දරුවන්ට හරි හැටි උගන්වන්නත් බැරි වුණා. ගමේ ඉන්නත් නැති වුණා.
එකම රටක මිනිසුන් සන්නද්ධ අරගලවලට මැදිව මහා ඛේදවාචකයකට මුහුණ දුන් අතර අද ද ඒ ඛේදවාචකයේ නෂ්ඨාවශේෂ ඉතිරිව තිබේ. අරගලවලට නායකත්වය දුන් නායකයින් මේවනවිට ගෙවන දිවියත් අරගලයන්ට මැදිවු අසරණ මිනිසුන්ගේ ජීවිත ඛේදවාචකයත් කියනුයේ කුමක්ද? අකුරැස්සේ සෝමවතීගේ කතාව ඊට කදිම උදාහරණයකි.
“මගේ මහත්තය අකුරැස්ස කඩපලට ගියේ උදේ 10.30ට විතර. 27 පොළකට පිහියෙන් ඇනල එයාව මහපාරෙ මරල දැම්මා. මම ඒවෙලාවෙ වස බොන්න හැදුවෙ මම කොහොමද එයා නැතුව ජීවත් වෙන්නෙ. දරුවො මගෙ අතේ එල්ලුනා. අම්ම වස බිව්වම අපිට දෙන්නම නැති වෙනව. එතකොට අපිට මොකද වෙන්නෙ කියල. දරුවො ඇහුව. මම ඒ හින්ද ජීවත්වෙනවා. ජනතා විමුක්ති පෙරමුණෙන් තමයි සිරිසේනව මැරුවෙ. එයාව මරන්න දවස් ගානක්ම රාත්‍රී කාලෙ ගෙදෙට්ට ආව. අපි දොර ඇරියෙ නැහැ. ඒත් කොහොම හරි මගෙ මහත්තය ඒ අය ගත්ත.
ධනවතී පල්ලියගුරු
1989. 12. 26 වෙනිදා රෑ 12.00යි අඳුරන්නෙ නැති කට්ටියක් ආව. අපිව දණ ගැස්සුවා. කටඋත්තරයක් ගන්න කියල මහත්තයව එළියට ගත්ත. අපිට ගේ ඇතුළට යන්න කිව්වා. ඒ අය එයාව අරගෙන ගියා. තාමත් ආවෙ නැහැ. මමයි දරුවො 4 දෙනයි තනිවුණා. අද වෙනකන් කවුරුවත් අපිට උත්තර දුන්නෙ නැහැ.
වීණා
“මගේ මහත්තයගෙ නම යෝගේන්ද්‍රන් 2009 දී ඕමන්තෙදි එයාව හමුදාවට බාර දුන්නා. තාම තොරතුරක් නැහැ. ඒවෙලාවෙ අපි ලියකියවිලි මොනවත් නැතුව බාර දුන්නෙ. අපිට සාක්කි තියෙන්නෙ මිනිස්සු කියන දේවිතරයි. අපි විශ්වාසයක් ඇතුව බාර දුන්නෙ විභාගකරල එවනව කියල කිව්වෙ. තාමත් ආවෙ නැහැ. කොහේ ඉන්නවද දන්නෙත් නැහැ.
බලහත්කාරයෙන් අතුරුදන් කිරීම අපරාධ වරදක් කළ යුතු යැයි මෙරට සංවිධාන බොහොමයක් පසුගිය කාලය පුරා හඬ නැඟුවේය. ඒ අන් කිසිවක් නිසා නොව මෙවන් අපරාධ රට තුළ නැවත සිදුනොවිය යුතු නිසාය.
ආදරවන්තයින්ගේ දින අතුරුදන් වූවන්ගේ බිරින්දෑවරු දෙසීයකට අධික පිරිසක් කොළඹට කැඳවූ බ්‍රිටෝ ප්‍රනාන්දු මහතා අපට කීවේ මෙවැන්නකි.
“වැලන්ටයින් දිනය කියන්නෙ තරුණ තරුණියන්ගෙ ආදරය ප්‍රකාශකරන දිනයක්. ඒ අය ආදරය කරද්දි බලහත්කාරයෙන් අතුරුදන් කළ ආදරය ගැන දුක්විඳින පිරිසකුත් රටේ ඉන්නව කියන පණිවුඩය රටට දෙන්න ඕන වුණා. අතුරුදන් වීම් වලට සිංහල, දෙමළ, උතුර, දකුණ කියල බේදයක් නැහැ. නැවත මේ වගේ දේවල් සිදුවෙන එක නැවැත්විය යුතුයි.”
ආදරණීයයන් අයහිමිවීම දරන්නට නොහැකි වේදනාවක් සේම ඔවුනට සිදුවුණු දේ දැනගැනීමටවත් නොහැකි වීම බලවත් වේදනාවක් ගෙන දෙන්නකි. ඒනිසා බලහත්කාරයෙන් අතුරුදන් කිරීම් නැවත මේ දෙරණ තුළ සිදුනොවිය යුත්තකි.
දුමින්ද සම්පත්
ඡායාරූප-රංජිත් අසංක
www.dinamna.lk