රිචඩ් ද සොයිසා මාධ්‍යවේදියෙකු පමණක් නොවේ. ඔහු රූපවාහිනී නිවේදකයකු, නළුවකු, නාට්‍යකරුවකු මෙන් ම දේශපාලන ක්‍රියාධරයකු ද වේ. ඉංග්‍රීසි වේදිකාවේ ප්‍රසිද්ධ පෞරුෂයක් වූ ඔහු සිංහල සිනමා රසිකයන්ට සමීප වූයේ ලෙස්ටර් ජේම්ස් පීරිස් විසින් මාටින් වික්‍රමසිංහයන්ගේ නවකතාවක් ඇසුරින් නිර්මාණය කරන ලද යුගාන්තය චිත්‍රපටය නිසා ය. පරාක්‍රම නිරිඇල්ල අධ්‍යක්ෂණය කළ, සෝමවීර සේනානායකගේ රචනයක් වූ යශෝරාවය ටෙලි නාට්‍යයේ රින්ස්ලිගේ චරිතය රඟපෑවේ රිචඩ් ද සොයිසා ය.
1958දී උපන් ඔහු අද වනතුරු ජීවත් වූවා නම් මේ වන විට වයස අවුරුදු 61කි. 1990 පෙබරවාරි 20 දින ආසන්නයේදී ඔහු මරා දමන විට ඔහුගේ වයස අවුරුදු 32ක් පමණි. ඔහු එම වකවානුවේදී විනාශ කරන ලද තරුණ සම්පතෙහි ද සුවිශේෂ පුද්ගලයෙකි. අගනාගරික, ඉහළ මධ්‍යම පන්තික, ඉංග්‍රීසි කතා කරන පැළැන්තියෙන් පැවත ආ ඔහු ජවිපෙ දේශපාලනය සමග සමීපව කටයුතු කිරීම සුවිශේෂ තත්වයකි.
මෙම ලිපිය ලියන මා 2000 දශකයේ හිරු පුවත්පතේ හා හිරු කණ්ඩායමේ ක්‍රියාකාරිකයකුව සිටියදී රිචඩ් ද සොයිසාගේ සමකාලීන දේශපාලන හිතවතුන් මට හමු වී තිබේ. ඔවුන් පැවසූ පරිදි රිචඩ් ද සොයිසා රෝහණ විජේවීරගේ ‘දෙමළ ඊලාම් ගැටලුවට විසඳුම කුමක් ද?’ යන පොත ඉංග්‍රීසියට පරිවර්තනය කරන්නට උපකාර කර තිබේ. කෙසේ වෙතත්, මෙම කණ්ඩායම ඒ සමග එම පොතෙහි අඩුපාඩු හා විජේවීර විසින් කරනු ලබන න්‍යායික වැරදි කෙරෙහි විවේචනයකින් යුතුව, ජවිපෙන් ඉවත් වූ හිරු කණ්ඩායමට සහයෝගය දැක්වූ හ.
රිචඩ් ද සොයිසා සිහිපත් කරමින් ජවිපෙට අයත් ලංකා පුවත්පතේ 2019 පෙබරවාරි 17 කලාපයට ලිපියක් ලියන හිටපු ජවිපෙ ක්‍රියාධරයකු බව පෙනෙන පියසිරි රත්නායක පවසන පරිදි රිචඩ් ද සොයිසා ඝාතනය කරනු ලැබුවේ ඔහු මාධ්‍යවේදියකු වූ නිසා නොවේ. ඔහු මෙසේ පවසයි:
“මා රිචඩ් මුණගැසෙන විට ඔහු හුදු මානව හිමිකම් සීමාවෙන් පිටතට තමන්ගේ ඉහළ මධ්‍යම පාන්තික ජීවිතය කැප කළ කෙනෙකු විය. මිත්‍රශීලී මෙන් ම, තරමක ලජ්ජාශීලී මිනිසකු වූ රිචඩ් භීම සමයක මිනිස් ඝාතනයන්ට එහෙිව දේශපාලනය කළේ සිය සමාජ මට්ටම උගසට තබා ය. අපි බොහෝ දෙනෙකුට රිචඩ් යනු විස්මයක් විය. ඉහළ සමාජ මට්ටමක් හිමි රිචඩ් වැන්නෙකු අප විශ්වාස කළ අපේ දේශපාලනයට සමීපව ක්‍රියාශීලීව සහාය දීම අපට මහත් විස්මයක් විය. එහෙත් ඔහු අපටත් වඩා අපේ අරගලයේදී සාමාන්‍යයෙකු විය.
“රිචඩ් අපට ආරක්ෂාව සැපයී ය. අපේ ආහාර සපයන්නා ද බොහෝ විට ඔහු විය. ඉතාමත් දුෂ්කර ජීවිත ගෙවමින් දේශපාලනය කළ අප බොහෝ දෙනෙකුට ඔහු ආධාර සහ අනුබලය දුන්නේ හුදු මිතුරුකමට හෝ ඔහුගේ හොඳ හිත මත නොව, ඔහු තෝරාගත් අපේ දේශපාලනය ඔහුගේත් දේශපාලනය වූ නිසා ය.”
රිචඩ් ද සොයිසා පමණක් නොව ඩී. සිවරාම් හෙවත් තරකි, ලසන්ත වික්‍රමතුංග හා ප්‍රගීත් එක්නැලිගොඩ පවා රජය විසින් මරා දමනු ලැබුවේ ඔවුන් හුදු මාධ්‍යකරුවන් වූ නිසා නොවන බව මගේ විශ්වාසයයි. ඔවුන් මරා දමනු ලැබුවේ ඔවුන් රජයට දේශපාලනිකව අභියෝග වූ නිසා ය.
රිචඩ් ද සොයිසා ජවිපෙ සමග තිබූ දේශපාලනික සම්බන්ධයේ ගැඹුර පිළිබඳ අපට අවබෝධයක් නැත. රිචඩ් ද සොයිසා මරා දමන වකවානුව වනාහි ජවිපෙ පළමු පෙළ මෙන් ම දෙවන පෙළ නායකත්වය ද ඝාතනය කර තිබූ සමයකි. එම වකවානුවේ ජවිපෙ නායකත්වය පැත්තෙන් පවා දැවැන්ත පාවාදීම් සිදු විය. එසේම, ජවිපෙ විසින් කරන්නට සැලසුම් කර තිබුණු ඉහළ පෙළේ ඝාතනයක් සම්බන්ධයෙන් ද පරීක්ෂණයක් සිදුවෙමින් තිබිණි. මාස අටකට පෙර ජවිපෙ විසින් රිචඩ් සේවය කළ ජාතික රූපවාහිනියේ ම තවත් සිංහල භාෂා නිවේදකයකු හා ප්‍රසිද්ධ කලාකරුවකු වන ප්‍රේමකීර්ති ද අල්විස් ඝාතනය කර තිබිණි.
රිචඩ් ද සොයිසා පැහැරගෙන යාමට පැමිණි කණ්ඩායමේ නායකයා වූ ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරි රොනී ගුණසිංහව මාස කීපයකට පසු රිචඩ්ගේ මව වන මනෝරානි සරවනමුත්තු විසින් හඳුනාගන්නා ලදී. රොනී ගුණසිංහ 1993 මැයි 1දා කොළඹ ආමර් වීදියේදී ජනාධිපති ආර්. ප්‍රේමදාස සමග ම දෙමළ ඊලාම් විමුක්ති කොටි සංවිධානයේ මිනිස් බෝම්බයක් විසින් ඝාතනය කරන ලදී.
රිචඩ් ද සොයිසා ඝාතනය සම්බන්ධයෙන් නඩු පවරන ලද සෙසු පිරිස පසුව අධිකරණයෙන් නිදහස් කරන ලදී. එසේ වූයේ එම පැහැරගෙන යාම සම්බන්ධයෙන් ඇසින් දුටු සාක්ෂි ද ගණනාවක් ම තිබියදී ය. කෙසේ වෙතත්, රිචඩ් ද සොයිසා සමග දේශපාලනය කළ අය මෙන් ම, ඔහු පැහැරගෙන ගොස් ඔහුට වධ දී ප්‍රශ්න කර, ඝාතනය කර මළසිරුර මුහුදට දැමූ අය ද තවමත් ජීවතුන් අතර සිටිති. රිචඩ් ද සොයිසා මරා දැමූ හේතුව ඔවුන් දන්නවා ඇත. හේතුව කුමක් වුවත්, එම ඝාතනය පැහැදිලිව ම අපරාධයකි.