Sunday, September 22, 2024

රනිල්-මෛත්‍රී හාකොබොන්ඩ් දමා ඇලවීමට කැබිනට් රැස්වීමට ආ අමුත්තා ..!

Must read

රන්ජන් 100

“එදා ජනවාරි 8 වෙනිදා ජයග්‍රහණය කාගෙද කියලා ඇහුවම හැමෝම කිව්වෙ, “ආ ඒක රනිල්ගෙයි මෛත්‍රිගෙයි“ කියලා. එතකොට අගෝස්තු ජයග්‍රහණය කාගෙද කියලා ඇහුවම හැමෝම කිව්වෙ, “ආ ඒක රනිල්ගෙයි මෛත්‍රීගෙයි“ කියලා. එහෙමනම් දැන් පරාජය කාගෙද කියලා ඇහුවම කොහොමද ඒක රනිල්ගෙ විතරක් වෙන්නේ..? සර් මතක තියාගන්න හැට දෙලක්ෂයක් ජනතාව චන්දෙ දුන්නේ දෙන්නට එකට ඉන්න.

අපිට ඔය නායකයෝ දෙන්නට ඕන කින්ඩියක් දාල යහතින් ගෙදර යන්න පුළුවන්. ඒත් මහින්ද එක්ක ඒව බෑ. දැන් මහින්ද ආයිත් එන්නේ වෙඩි කාපු ඌර වගේ. මහින්ද කියන්නේ තමන්ව අගමැතිකමට යෝජනා කරපු භාරතව පාරේ මරා දාමු මිනිහෙක්. තමන්ට නීතිය උගන්වපු ජෙයරාජ්ව පාරේ මරා දාපු මිනිහෙක්. ලසන්ත වික්‍රමතුංගව ගෙදරට ගෙන්නල ඩිනර් එකක් දීල පහුවදා පාරේ මරා දාපු මිනිහෙක්.. ඔය දෙන්නගේ ගෝරියෙන් මහින්ද ඇවිල්ල අපිවයි ඊලඟට මරා දාන්නේ..“

මේ කතා ඊයේ ඇසුනේ කැබිනට් මණ්ඩලයට ආ අමුත්තාගෙනි. කැබිනට් මණ්ඩල රැස්වීම ආරම්භයේදී මේ අමුත්තාද ඊට සහභාගී වෙන්න යද්දී මලික් සමරවික්‍රම අමුත්තා අමතා කීවේ “මේ ඔයාට මේකට එන්න බෑ. මේක කැබිනට් මීටින් එක“ කියා ය. එවිට රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා මලික් අමතා “ආ එයාට එන්න දෙන්න, එච්.ඊ. එයාට ඉන්වයිට් කරලා තියෙනවා. මාත් ඉන්වයිට් කළා.“ යි කීවේය. කැබිනට් මණ්ඩලයට ඊයේ ආ මේ අමුත්තා අන් කිසිවෙක් නොව නියෝජ්‍ය අමාත්‍ය, ප්‍රකට නළු රන්ජන් රාමනායක ය.

අගමැති වරයා ඉවත් විය යුතු යැයි ජනාධිපති සිරිසේන ප්‍රකාශ කිරීමෙන් පසු අගමැතිවරයා තනි එජාපෙ ආණ්ඩුවක් හැදීමට උත්සුක විය. ශ්‍රීලනිප ඇමැතිවරුන්ට විපක්ෂයේ අසුන්ගැනීමට සිදුවීමත් සමග ශ්‍රීලනිප ඇමැතිවරුන්ගෙන් “මේ මොන වින්නැහියක් කරන්නද යන්නේ?“ කියා ජනාධිපතිවරයාට බලපෑම් එල්ල වන්නට විය. යලි සාම සාකච්ඡා ඇරඹී ඊයේ රාත්‍රී පැවැති කැබිනට් සාකච්ඡාවට රන්ජන් රාමනායකට ද ආරාධනා කෙළේ ඉන්පසුව ය. රන්ජන් නායකයන් දෙදෙනාගේම මුහුණට ඕනෑම විහිළු කතාවක් හෝ ඕනෑම කුණුහරුප කතාවක් හෝ කීවා කියා කිසිවෙකු ඔහු සමග තරහා නොවන චරිතයක් වූ නිසා රන්ජන්ට ආරාධනා කළා විය හැකිය.

එහිදී වැඩි දුරටත් කතා කරමින් රන්ජන් කීවේ තමන්ට කැබිනට් රැස්වීම් වල කතා කරන්නට දන්නේ නැති නමුත් මේවා කීවා කියා තමා සමග තරහා නොවන ලෙස ය.

“මං මෙතැනට ආවේ දෙන්නා වෙන් කරන්න නොවේ. හාකොබොන්ඩ් දාලා හරි දෙන්නා එක් කරන්නයි මං ආවේ“ රන්ජන් කියද්දී නායකයන් දෙදෙනාටම සිනහා ගියේ ය.

අගමැතිවරයා ඉවත් කිරීමට යෝජනා කිරීමේ වරද ජනාධිපතිට පෙන්වා දෙමින් රන්ජන් කීවේ අපූරු උදාහරණයකි.

“අල්ලස් කොමිසමට මුලින්ම පත් කළ දිල්රුක්ෂි හොරු දූෂිතයෝ ඇල්ලුවා. අදත් ගෝඨාව කූඩුවකට නැග්ගුවේ ඇය විතරයි. පස්සේ ඈට හැමෝම ගැහුවා. ඒකාබද්ධයේ අය ඒ ගෑනු කෙනාට මොනවාද නොකීවේ. පඩි දෙකක් ගන්නවා කීවා. පෙට්‍රල් ගන්නවා කීවා. රෑට කාර්යාලයේ ගෑණු තියාගෙන ඉන්න ලෙස්බියන් ගෑණු කෙනෙක් කියලාත් මඩ ගැහුවා. තමුන්නාන්සේ දිල්රුක්ෂිව ඉවත් කළා. පස්සේ ගෙනාවා. ජයමාන්නව. දැන් ජයමාන්න ඉන්නවා හොරුත් ඉන්නවා. ජයමාන්නට කවුරුත් ගහන්නෙත් නෑ. එයත් ඉන්නවා හොරුත් ඉන්නවා. මේ වගේ තමයි අපේ අගමැතිතුමාත්. අගමැතිතුමා ඩීල් දානවා කියනවා. ඒකාබද්ධය ගහනවා. පාස්පෝට් එක ෂේප් කළැයි කියනවා. ඒත් විමලුත් ගහනවා. සිරස ගහනවා. ඩිලාන්ලා ගහනවා. ඇලෝසියස් ඇල්ලුවහම කියනවා. අයියෝ එයා පොඩි හොරෙක්නේ, මහ හොරා රනිල්ව අල්ලන්න කියනවා. දැන් රනිල්වත් එළවන්න කියනවා. සර් ඇයි මේ හැමෝම ගහන්නේ රනිල්ට. හැමෝටම ඕනෑ රනිල්ව එළවන්න. ඒ අර එදා දිල්රුක්ෂිට වගේ තමයි සර්. ඇත්තම කීවොත් රනිල් එක්ක ඩීල් දාන්න බැරි හින්දයි සර් හැමෝම රනිල්ව එළවන්න හදන්නේ “ රන්ජන් සිරිසේන ජනාධිපතිට කීවේ ය.

ආණ්ඩුවට යලි ජනප්‍රසාදය ඇති කරගන්න නම් කළ යුතු යෝජනා කිහිපයක්ද රන්ජන් ජනාධිපති සිරිසේන වෙත ගෙන ආවේ ය. ඒවා නම්..,

1. ට්‍රිලියන 9 ක් විදේශ ණය තිබියදී ඇමැතිවරුන්ට මන්ත්‍රීවරුන්ට වැඩි කර ගත් රුපියල් ලක්ෂයේ වැටුප් වැඩි වීම සහ 2500 සහභාගී වීමේ දීමනාව අහෝසි කර යළි භාණ්ඩාගාරයට දෙන්න. (හෙලිකොප්ටර්, නැව් තියෙන අයත් ඉන්නවා. ඒ අයත් මේ දීමනාව ගන්නවා යයිද රන්ජන් මතක් කෙළේය.)

2. මැති ඇමැතිවරුන් ලබා ගත් සුපිරි වාහන යලි බාර දී පූර්වාදර්ශයක් දෙන්න.

3. අල්ලස් හෝ දූෂන කොමිසමේ අධ්‍යක්ෂ ජෙනරාල් ලෙස යලි දිල්රුක්ෂි ඩයස්ව පත් කරන්න.

4. කරුණාකරලා පොලිස් පරීක්ෂණ වලට බලපෑම් කරමින් දුරකථන ඇමැතුම් නොදෙන්නැයි මැති ඇමැතිවරුන්ට කියන්න. ( මෙය ජනාධිපතිවරයාටද වලංගු නමුත් රන්ජන් ඒ බවක් කීවේ නැත)

5. පොහොර සහනාධාරය රු. 350 ට යලි දෙන්න

6. ජනාධිපතිතුමා එදා ජනතාවට පොරොන්දු වූවා සේ නිර්පාක්ෂික වෙන්න.

මෙම 6 වෙනි යෝජනාව ගෙන ඒමට පෙර “මෙය කීමෙන් පසු මට ගහලා එළවන්න එපා“ යයි රන්ජන් පැවසූ අතර කීවා සේම ජනාධිපතිවරයා එම කතාවෙන් කෝප ගත්තේ ය.

“හරි.. හරි මං ඒ යෝජනාව ඉල්ලා අස්කර ගන්නම්“ රන්ජන් පසුව කීවේ ය.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article