Monday, November 18, 2024

පුද්ගලයන් අතරුදහන් කල හැක,නමුත් ආදරය අතුරුදහන් කල නොහැක

Must read

අතුරුදන් කළ ආදරය

සියලු හැඟීම් සහ සංකල්පනා මෙන්ම ආදරය හෝ ප්‍රේමය උපදින්නේ ද සිත තුළය. එය හදවතේ ගලන රුධිරය සමඟ තවත් රසායනයන්ද, පෙනහළු විසින් හදවත හරහා යැවෙන ඔක්සිජන් වායුවෙන්ද පෝෂණය කරන ලද නියුරෝන කෝටි ගණනක රටාවන්ගේ සහ විද්‍යයුත් කම්පනයන්ගේ මිනිස් ප්‍රජානනීය සංස්කෘතිමය ලක්ෂණයන් ලෙසින් මොළයේ සිදුවන නිෂ්පාදනයකි. මනුෂ්‍ය සත්වයන් උපතේ සිට මරණය තෙක් ආදරය අත්විඳින අතර යෞවන සමය එම ආදරයේ අග්‍රඵල නෙළමින් වසන්තය කරා ගමන් කරයි. එහි තවත් අදහසක් ඇත. ආදරය බිහිවන්නේ කොතනින්ද?
කෙනෙකුට අනුව ආදරය බිහිවන්නේ හදවතිනි. ජීවිතයේ පදනමේ අත්‍යාවශ්‍ය සාධකයක් වන්නේ හදවතයි. එනයින් ආදරයේ සංකේතයට පාත්‍ර වන්නේද හදවතයි. යෞවනයද මහලුවියද ආදරයේ මතකයන් හදවතට තුරුළු කරගන්නේ තම ආදර නැවත නැවත් සිහිගන්වමිනි. ආදරය විඳින්නෝ මෙන්ම ආදරය අහිමි වූවෝද එය ස්මරණය කරන්නේ වඩ වඩාත් තම සිතෙහිත් හදවතෙහිත් උපන් ආදරය ජීවය පවතිනතාක් සමාප්ති නොවෙන නිසාවෙනි.

 ‘මම අවුරුදු හතක් ආදරය කළේ වෙනත් කෙනෙකුට. ඒක කුළුඳුල් ආදරය. නමුත් ඒකට ගෙදරින් කැමති වුණේ නෑ. මාව බලෙන්ම බන්ඳල දුන්නෙ මගේ අකමැත්තෙන්. මම මගේ මහත්තයට ආදරේ කළේ නෑ. ඒත් කාලයක් යද්දි මගේ පළවෙනි දරුව ලැබුණ දවසෙ ඉඳන් මම එයාට ආදරේ කරන්න පටන්ගත්ත. එයා මට පුදුම ආදරයක් තිබුණෙ. ඒ කාලෙ ගාල්ල ඩිපෝවෙ ඉඳපු එකම උපාධිකාරය එයා. හරිම ලස්සන තරුණයෙක්. ඩිපෝවෙ වුණු අසාධාරණයකට එයා විරුද්ධ වෙලා වැඩ වර්ජනයක් කරල තිබිල. එයා උගත් කෙනෙක් නිසා එහෙම කරන්න ඇත්තෙ. එදා අසාධාරණයට විරුද්ධ වුණා කියල එදා හිටපු පාලකයො එයාව මරල දාලා තිබුණා. ඒ වෙද්දි මගේ දරුවොන්ට අවුරුදු එකයි, දෙකයි වගේ. අද මම මගේ මහත්තය නැතිව තනිවෙලා. එයාගෙ ආදරය, රැකවරණය නැතුව ලොකු පාළුවක් දැනෙන්නෙ. ඒත් එයා වෙනුවෙන් මම දරුවො උස්මහත් කළා. දරුවො දෙන්නෙක් දැන් වෛද්‍යවරු. මට දුකයි එයා මට ගොඩක් ආදරේ කරද්දි මුල් කාලෙ එයාට මගේ ආදරේ දෙන්න බැරි වුණ එකට. මේ සමාජෙ තරුණ දරුවන්ට අපිට වුණා වගේ දේවල් වෙන්න එපා.’ ගාල්ල රිච්මන්ඩ් කන්දේ පදිංචි ඇයගෙ දෙනෙතෙන් කඳුළු රූරා වැටෙයි. ස්වාමියාගේ පින්තූරයක් පපු තුරුලේය. ඒ ඇගේ අතුරුදන් කළ ආදර කතාවයි.

අපේ සමාජෙම විවිධ පුද්ගල කණ්ඩායම් විසින් කාලෙන් කාලෙට අපේ සමාජෙන් අතුරුදන් කෙරුණු ආදරය ගැන කියන්න, මරා දමුණු ආදරයන් වෙනුවෙන් මේ අම්මල, සහෝදර සහෝරියන් තමන්ගෙ අත්දැකීම කියන්න එකතු වුණේ පහුගිය ආදරවන්තයන්ගෙ දවසෙ හවස. ඒ අමිහිරි, එහෙත් ඔවුන්ගෙ හදවත් තුළ නොමියෙන මතකයන් ඔවුන් රටටම ඇහෙන්න මිමිණුවෙ ලන්දේසි රෝහල ඉදිරිපට නිදහස් අවකාශයට. ඒ අවකාශයට ඉඩ හදල තිබුණෙ අතුරුදන්වූවන්ගෙ පවුල් එකතුව විසින්. උතුරෙත් දකුණෙත් අහිමි වුණ, අහිමි කළ වගේම අතුරුදන් කළ ඒ ආදර කතාවලට වෙන්වෙලා තිබුණ සීමිත ඉඩේ සුගායනයන් ඉදිරිපත් කළේ ජයතිලක බන්ඩාර සහ අජිත් කුමාරසිරි සංගීතවේදීන් දෙපළ.

‘මගේ මල්ලි අවුරුදු දාහතක පොඩි කොල්ලෙක් ඒ වෙද්දි. එයා එදා ඉස්කෝලේ ගිහින් ගෙදර එද්දි කඳානෙදි තමයි පැහැරගෙන ගිහින් තිබුණෙ. කවුද අරන් ගියේ, කොහෙටද අරන් ගියේ කියල අපි දැන් අවුරුදු තිහක් තිස්සෙ හොයනව. අද ඒවි හෙට ඒවි කියල මඟ බලාගෙන ඉන්නව. මේ මල මම ඔයාලට පූජා කරන්නේ මගේ මල්ලි වෙනුවෙන්.’ඇය ඔවුන් වෙනුවෙන් එහි පැමිණ සිටි සියල්ලට රතු ඇන්තූරියම් මලක් පුද කරයි.

ආදරවන්තයන් ගේ දිනය ලෙස නම් කරන ලද දිනය ඉතිහාසයේ බොහෝ වේදනා සහගත ස්මරණයන් සහිත කාලයක දිනයකි. වර්තමානයේ ආදරවන්තයන්ට දිනයක් ලැබීම හේතුවෙන්, ලෝකය පුරා කෝටි සංඛ්‍යාත තරුණ ආදරවන්තයන් තමන් ගේ දිනය බොහෝ ස්මරණයන් සඳහා යොදාගනී. ආදර හසුන්, රතු ආදර දවටන සහිත විවිධාකාර ත්‍යාග ඔවුනොවුන් අත හුවමාරු වෙයි. ආදරවන්තයින්ගේ දිනයේ මොවුන් අපෙන් විමසන්නේ ආදරය විඳින වියේ පසු විය යුතු තම සහෝදරයන් ගැනය. මේ සහෝදරිය තම සහෝදරයා වෙනුවෙන් අපට පුදන ‍රතු ඇන්තූරියම් අපෙන් විමසන්නේ කුමක්ද? නිරුත්තර වීම හැර ඒ ආදරණීය වේදනාවට අප කුමක් කියම් ද? කලින් කලට පත් පාලකයන් කුමක් කළේද?

‘ එදා දවල් මගේ පුතා ඉස්කෝලෙ ගිහින් එන අතරමගදි තමයි අරගෙන ගියේ. මගේ පුතාව අරගෙන ගිහින් තිබුණෙ රත්ගම පොලීසියෙන්. අදටත් මගේ පුතා මට නෑ. මගේ මහත්තයත් සුනාමියට නැති වුණා. දූල තුන්දෙනා විවාහ වෙලා මගෙන් වෙන්වෙලා ඉන්නෙ. ඉන්න ස්ථිර ගෙයක් මට නෑ. කුලී වැඩ කරන්නවත් මට හයියක් නෑ. ඉරටු විකුණල, පොල් අතු වියල මම ජීවත් වෙන්නෙ. මගේ පුතා අද හිටිය නම් ඔය පුතාලගෙ වයසෙ. මගේ පුතාට අත්වුණු ඉරණම මේ රටේ තරුණ දූවා දරුවන්ට වෙන්න එපා කියලයි අද මම කොළඹට ඇවිත් ඉල්ලන්නෙ.’ ඇය වයෝවෘද්ධය. වචනයක් වචනයක් පාසා රැලි වැටුණු කම්බුල් මතින් කඳුළු කැට රූරා වැටෙයි.

‘හෙට වැලන්ටයින් දිනේ නේද කියල මට ඊයෙ රෑ මතක් වෙද්දි මට ඔයාව මතක් වුණා මගෙ රත්තරන් සුදූ. අපි ඒ කාලෙ කොයිතරම් මග බලං ඉඳපු දවසක් ද මගෙ රත්තරන්. මට කියන්න ඇයි මාව මේ ලෝකෙ තනිකරල දාල යන්න ගියේ. ඇයි ඔයා ලෝකෙටම නොකිය ගිය ගමන මාවත් එක්කන් නොගියෙ මගෙ රත්තරන් මහත්තයෝ. මට කියන්න. මට දැනගන්න කියන්න ඔයා ඉන්නෙ කොහෙද කියල? මට නිතර නිතර ඔයාව හීනෙන් පේන්නෙ ඔයා තවම මගේ ළඟ ඉන්න නිසා නේද කියන්න. අනේ මේ වගේ වේදනාවක් මේ රටේ කාටවත් ආයෙ වෙන්න එපා. මේ ලියුම ලියන් ආවෙ ඔයාට දෙන්න මගෙ සුදූ.’ ඇය තවමත් බොළඳව ලෝක වෙළෙඳ මධ්‍යස්ථාන ගොඩනැගිලි මුදුණට ඇසෙන්නම යකඩ කටෙන් හඬ තලයි. වයසින් මුහුකුරා ගියද ආදරයත්, ආදරයේ අහිමිවීමත් ඇයට තවම දැනෙනුයේ යෞවන සිතින්මය. ඒ ඇගේ අතුරුදන් කළ ආදරයයි.

 

ආදරවන්තයන් ගේ දිනයේ දී සත්‍ය ලෙසම වැලන්ටයින් පියතුමා ගේ භාවිතාව හෝ ඛලීල් ජිබ්රාන් ගේ ආදරය ගැන දාර්ශනික සංකල්පනා භාවිතාවට නොගැණුන ද, එය මතු කිරීමට කාලය මෙය යැයි හැඟේ. ඛලීල් ජිබ්රාන් ගේ ‘‘බිඳ වැටුණු පියාපත්’’ නම් නවකතාවේ මේ ප්‍රායෝගික සත්‍ය එලෙසම දකින්නට ලැබෙනු ඇත. ඒ ඔහුගේ ජීවිතයේ සැබෑව බවද කෙනෙකු කියති. ජිබ්රාන් මිනිස් ජීවිතය මුහුණ දෙන සියලු සංසිද්ධි ‘මුණිවරයෙකු ගේ දේශනා’ තුළ අකුරු කර තිබේ. ආදරය සහ විවාහය ගැන ද ඔහුගේ විග්‍රහය, විද්‍යාත්මක පදනමේ කලාත්මක ප්‍රතිනිර්මාණයක් ලෙසින් හැඳින්විය හැකිය.
‘‘ආදරය විසින් තිරිඟු ඇට සේ ඔබව එක්රැස් කරාවි. එවිට ඔබ නිරුවත් වනසේ ඔබව පෑගීමට පත් කරාවි. ඔබ ශුද්ධ බවට පත් වන තෙක් ඔබේ රොඩු බොඩු හලා ඉවත් කරාවි. ඉන්පසු ඔබව සුදුපැහැ පිට වෙනතුරු අඹරාවි. ඉන් පසු ඔබව පහසුවෙන් නැමෙන සුලු ද්‍රව්‍යයක් වන සේ අනාවි. ඔබට රොටියක් සේ හැඩගන්වා ශුද්ධ වූ ගින්නට කැප කරාවි. ඔබ ශුද්ධ වූ ආත්මයට කැප කරාවි.’ ඒ ඛලීල් ජිබ්රාන් නම් දාර්ශනික ලේඛකයාගේ ආදරය ගැන සංකල්පනාවයි. ඔහු ආදරය සහ මනුෂ්‍ය සන්තාපයන් ගැන තවත් බොහෝ දෑ අපට ඉතිරි කර ගොස් ඇත. ‘මේ සියලු දේවල් ඔබට ආදරය උගන්වාවි. ඔබ ඔබට ආදරය කරනවා වගේ, ඔබ දැනගන්නවා ඇති හදවතේ සියලු රහස්. එය ඔබට ලබාදෙන දැනුම විසින් ඔබ ජීවයේ හදවතේ කොටසක් බවට පත් කරාවි. නමුත් ඔබගේ බය විසින් ඔබ ආදරයේ සාමය සහ මිහිර සොයනවා ඇත. එය ඔබගේ නිරුවත දකින්නට එයම රුකුලක් වෙනු ඇත. ආදරයේ ප්‍රතිඵල හා මල්ඵල දකින්නටත්, කාලවකවානුවලින් තොර ලෝකයක් දකින්නටත්, එහි සිනාසෙන්නටත් ඔබට හැකි වේවි. එහි දී ඔබගේ සිනහව, වැළපීම් සහ කඳුළු අත්දකින්නට හැකි වේවි’’

එදා මෙදාතුර මෙරට දේශපාලන අරගල වෙනුවෙන් උතුරේත් දකුණේත් අහිමි කළ, අතුරුදන් කළ ජීවිත ගණන අප්‍රමාණය. දරුවන් ඉදිරියේම අයෙකුගේ ස්වාමියා ඝාතනය කර තිබේ. නැතහොත් කපා කොටා ජීවිතය අහිමි කර තිබේ. තවකෙක් මහ මඟ හෝ නිදි පැදුරෙදී පැහැරගෙන ගොස් තිබේ. කෙදිනකවත් ශාන්තුවර නොවුණු සුදු පිරුවට දේශපාලඥයින් හෝ ඔවුන්ගේ අනුගාමීන් හෝ නිල ඇඳුම් ගහලයන් හෝ එදා මෙදාතුර රටට ඉතිරි කර ඇත්තේ අතුරුදන් කළ ආදරයන්ම පමණි. ඔවුන් කලින් කලට ඒ අහිමි කළ ජීවිත තම බලය වෙනුවෙන් කේවල් කරීම හැර කළ වෙන යමක්ද නොමැතිය.

‘මගේ එක පුතෙකුට අවුරුදු දාසයයි අතුරුදන් වෙද්දි. ඒ 2004 අවුරුද්ද. අනික් පුතාට අවුරුදු දාහතයි. එයා නැති වෙන්නෙ 2007 අවුරුද්දෙදි. එයා කොළඹ රස්සාවකට එනව කියල මඩකළපුවෙන් ආවෙ. ඒ මගදි තමයි දෙවනි පුතාව නැති වුණේ. මහත්තය මාව දාල ගියේ කාලෙකට කලින්. මගේ අනිත් පුතාල දෙන්න දැන් කුලී වැඩ කරල අපිට කීයක් හරි දෙනවා. ඒත් අපට කියල ගෙයක් නෑ. පොල් අතු ගෙදර මමයි මගේ දුවයි ගොඩක් අමාරුවෙන් ජීවත් වෙන්නෙ. එයාට දැන් අවුරුදු විසිපහයි. ඒත් එයාව කසාද බන්ඳල දෙන්න මට සල්ලි නෑ. දන්න හැම තැනකටම අපි අපේ දරුවො ගැන කිව්වා. ඒත් මේ කිසිම කෙනෙක් මගේ දරුවො දෙන්න සොයල දෙන පාටක් නෑ.’ ඒ කතා කරන භාෂාවෙන් දෙමළ වුණු, ජාතියෙන් ශ්‍රී ලාංකික වුණු තවත් අම්ම කෙනෙකුගේ අතුරුදන් කළ ආදරයයි. උතුරේ දුක අපට කවදත් නොඇසිනි. නොඇසුණාට වඩා අප හිතාමතාම ඔවුන්ගේ හඬ මග හරින ලදී.

වසර ගණනාවක්, සැමරුම් ගණනාවක් වෙනුවෙන් අතුරුදන් වූවන්ගේ ආදරණීයයෝ ඉකුත් 14 වැනිදා කොළඹට විත් තම හදවත්වලින් අතුරුදන් නොවුණු ආදරය ගැනත්, ආදරණීයයන් ගැනත් හඬගා පැවසුහ.කෙනෙකු අපහැදිලි අත්අකුරින් ලියාගෙන ආ පෙම් හසුන් ද, කවි ගායනාද ඉකිබිඳුම් අතුරින් හිස් අවකාශයට මුදාහළහ. ඉතාම කෙටි සැනසුමක සුසුමන් ගාලුමුවදොර මුහුදු සුළඟට පා කර යැවූහ. හඒ හඬ, ඒ ස්මරණය කොහි සිට හෝ ඔවුන්ගේ ආදරණීයයන් විඳිනු ඇතැයි ඔවුහු සිතූහ. අත වූ මල් පොකුරු, ඉටිපන්දම් එහි දවලනු ලැබුවේ ඔවුන්ගේ අතුරුදන් කළ ආදරණීයයන්ගෙන් සමුගැන්මටය. ඔවුන් අඳුරේ තනි නොකරන්නටය.

‘ගාල්ල, මාතර, මඩකලපුව, අම්පාර වගේ ප්‍රදේශවල අතුරුදන් වූවන්ගෙ පවුල් එකසිය තිස්හතරක් අද මෙතනට ආවා. ඒ අයට දශක ගණනාවක ඉඳන් ලෝකෙට කියන්න ඕනකම තිබුණා තමන්ගෙ හිත්වල තිබුණ ආදරය. වේදනාව. ඒ අය අද යම් නිදහසක් ලැබුවා කියල දැනුණා. අද ගොඩක් අය දැනගත්තා මේ මිනිස්සුන්ගෙ වේදනාව. මේ මිනිස්සුන්ගෙ ආදරය. ඒ වගේම මේ මිනිස්සුන්ට තමන්ගෙ අතුරුදන් වුණු ආදරය ගැන ලෝකෙටම කියල තරමක් හරි දුක නිවාගන්න ඉඩක් ලැබුණා. උතුරේ අය හිතනවා මේ කිසිම පාලකයෙක් එයාලගෙ දුක ඇහුවෙ නෑ කියලා. දකුණෙ අය හිතනවා උතුරේ අය ගැන විතරයි බලන්නෙ කියලා. ඒත් මේ කිසිම පාලකයෙක් මෙතුවක් කල් මේ ජීවිත ගැන හොයල බැලුවෙ නෑ. ඒකයි ඇත්ත.’

ඒ ‘අතුරුදන් කළ ආදරය’ ඇතුළෙ අතුරුදන් නොවුණු ආදරය සොයා යන්නත්, ඒ සංකල්පය ප්‍රායෝගික කරන්නත් වෙහෙස මහන්සි වූ අතුරුදන් වුණු පවුල් එකමුතුවේ කැඳවුම්කරු බ්‍රිටෝ ප්‍රනාන්දුගේ හඬයි.

‘ ඔබ ආදරයේ සාමය සහ මිහිර සොයනවා ඇත. එය ඔබගේ නිරුවත දකින්නට එයම රුකුලක් වෙනු ඇත. ආදරයේ ප්‍රතිඵල හා මල්ඵල දකින්නටත්, කාලවකවානුවලින් තොර ලෝකයක් දකින්නටත්, එහි සිනාසෙන්නටත් ඔබට හැකි වේවි. එහි දී ඔබගේ සිනහව, වැළපීම් සහ කඳුළු අත්දකින්නට හැකි වේවි’ ඛලිල් ජිබ්රාන් නම් ආදරණීය සාහිත්‍යකරුවා කොළඹ රාත්‍රී අඳුර අතරට යන අප හදවත් තුළින් අසන්නේ අතුරුදන් කළ අපගේම සගයන්ගේ ආදරණීයන් ගැනය.

කසුන් පුස්සෙවෙල
ජායාරූප – රංජිත් අසංක
රැස 15.02.2018

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article