Friday, September 20, 2024

නිව් ෆෝට්‍රස් ගණුදෙනුව හා ශ්‍රී ලංකාවේ බලශක්ති අර්බුදය

Must read

Smoke is pouring out of the chimneys of the power plant.

දිනෙන් දින උග්‍ර වෙමින් පවතින විදේශ මුදල් සංචිත හිඟවීමේ අර්බුදය සමග බැඳී ඇති ආර්ථික අවපාතයට සමගාමීව අත්‍යවශ්‍ය භාණ්ඩ හිඟයකට මුහුණපා සිටින ශ්‍රී ලාංකික ජනතාවට, ඉදිරියේ දී විදුලි අර්බුදයකට ද මුහුණදීමට සිදුවනු ඇතැ යි බියක් පහළ වී ඇත.

මෙම තත්ත්වය හේතුවෙන් මේ දිනවල දිවයිනේ බොහෝ ප්‍රදේශවල ඉන්ධනහල් අබියස භූමිතෙල් ලබාගැනීමට දිගු පෝලිම් දක්නට තිබේ. සමහර ඉන්ධනහල්වලින් භූමිතෙල් ලබාදීම ලීටර 2කට සීමාකර ඇති බව වාර්තා වෙයි.

මෙම කණගාටුදායක තත්ත්වයට ආසන්න හේතුව වන්නේ විදුලිබල වෘත්තීය සමිති මඟින් ක්‍රියාත්මකකර ඇති වෘත්තීය ක්‍රියාමාර්ගයන් සහ රටේ පවතින අවිනිශ්චිත තත්ත්වය යි.

ඇමරිකානු සමාගමක් වන New Fortress Energy සමග යුගදනවි බලාගාරය සම්බන්ධයෙන් රජය එළඹ ඇති ගිවිසුම අහෝසි කරන ලෙස බලකරමින් වෘත්තීය සමිති ගෙනයන ක්‍රි‍යාමාර්ග හේතුවෙන්, විදුලි බලය බිඳ වැටීම පිළිබඳ ජනතාව අතර සැක සංකා මතු වී ඇත්තේ ය.

විදුලිබල මණ්ඩලයේ නිලධාරීන් සහ රජයේ බලධාරීන් අවධාරණය කරන්නේ එසේ විදුලිය බිඳ වැටීමට ඉඩක් නොමැතිබව යි. විදුලිබල මණ්ඩලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පැවසූයේ මීට පෙර වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් හේතුවෙන් විදුලිය බිඳ වැටීමක් සිදුවී ඇත්තේ 1996 දී බව ය.

කෙසේ නමුත්, විදුලිබල මණ්ඩලයේ සභාපතිවරයා වන එම්. එම්. සී. ෆර්ඩිනැන්ඩෝ විදුලිබල මණ්ඩලය විශාල අර්බුදයකට මුහුණ පා සිටිනබව පවසයි.

විදුලිබල මණ්ඩලය ද විදේශ මුදල් හිඟවීමේ අර්බුදයෙන් බැට කමින් සිටිනාබව පැවසූ ඔහු, මේ වන විටත් ගල් අඟුරු ගෙන්වීමේ ටෙන්ඩර දෙකක් අසාර්ථක වී ඇතැ යි ප්‍රකාශ කළේ ය.

“හේතුව ගල් අඟුරු නැතිකම නෙමෙයි, අත්පිට මුදලට ගේන්න සල්ලි නැහැ. ණයවර ලිපි විවෘත කරන්න ඩොලර් නැහැ, ඒ අර්බුදය තියෙනවා. දිගුකාලීන ටෙන්ඩර් මිල ගණන් යටතේ වුණත් ණයවර ලිපියක් ඕපන් කළ විට තමයි බඩු නැවට පටවන්නේ,” ඔහු කියයි.

සභාපතිවරයා පවසන්නේ බලාගාර සඳහා අවශ්‍ය තෙල් මිල දී ගැනීමේ ද ප්‍රශ්න ඇතිවී තිබෙනබව යි. එයට හේතුව වන්නේ විදුලිබල මණ්ඩලය තෙල් සංස්ථාවට බිලියන 80ක් පමණ ණය වී තිබීම යි.

විදුලි බල මණ්ඩලය නිසා “තෙල් සංස්ථාව ද බිඳ වැටෙන තත්ත්වයකට පැමිණ ඇතිබව” ඔහු ප්‍රකාශ කළේ ය.

සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ, සෘජුව ණයවර ලිපි විවෘතකර තෙල් ආනයනය කරන ලෙස පසුගිය කාලයේ තෙල් සංස්ථාව විදුලිබල මණ්ඩලයට යෝජනා කළබව යි.

“අපි කිව්වා අපි ගැනුම්කරුවා මිසක් ආනයනකරුවා නොවන බව. සත්‍ය දේ තමයි අර්බුදයක් තියෙනවා. විශාල අර්බුදයක් තියෙනවා,” ඔහු පැවසීය.

ඔහු පවසන ආකාරයට මේ තත්ත්වයට හේතුව නම් පසුගිය සමයේ අලුත් විදුලි බලාගාර ඉදිනොවීම යි. දැනට විදුලිය සැපයීමේ දී විදුලිබල මණ්ඩලය විශාල පාඩුවක් ලබන අතර, රුපියල් 23ක් හෝ 24ක් වැයවන විදුලිය ඒකකයක් විදුලිබල මණ්ඩලය ජනතාවට ලබා දෙන්නේ රුපියල් 16යි සත 60කට ය.

සභාපතිවරයා පවසන්නේ මේ තත්ත්වය වෙනස් කිරීමට නම් විදුලි බිල වැඩි කිරීමට හෝ පිරිවැය අඩු කිරීමට පියවර ගත යුතුබව ය.

රජය ගෙන ඇත්තේ පිරිවැය අඩු කිරීමේ පියවර වන අතර, රජය දැනට තෙල්වලින් නිෂ්පාදනය කරන 1086MW විදුලි ප්‍රමාණය 70MW දක්වා අඩුකර ගැනීමට අදහස් කරනාබව විදුලිබල මණ්ඩලයේ සභාපතිවරයා කියා සිටියේ ය.

ඊට අමතරව, ස්වභාවික වායු (LNG) බලාගාර දෙකක් ඉදිකිරීමටත්, පුනර්ජනනීය බලශක්තිය 70%ක් දක්වා වැඩිකර ගැනීමටත් සැලසුම්කර තිබේ.

A technician controls an electric switchboard connecting homes to electricity generators in a suburb of Lebanon's capital Beirut, on June 23, 2021.
ඡායාරූප ශීර්ෂ වැකිය, “විදුලිබල මණ්ඩලය ද විදේශ මුදල් හිඟවීමේ අර්බුදයෙන් බැට කනවා”

ඔහු පවසන්නේ LNG විදුලි උත්පාදනය අඩු පිරිවැයක් ඇතිබවත්, යුගදනවි බලාගාරයේ ඇමරිකානු සමාගම සිදුකරන්නට යන ආයෝජනය රටට ඉතා වාසිදායකබවත් ය.

“රටේ තිබෙන්නේ අසාමාන්‍ය තත්ත්වයක් නිසා, සාමාන්‍ය තත්ත්වයේ පවතින බොහොම සුන්දර රෙගුලාසි” ක්‍රි‍යාත්මක කරන්න නොහැකියැ යි, ඒ සම්බන්ධයෙන් ඇති විවේචන අලලා ඔහු පැවසුවේ ය.

“රජය බැඳිලා ඉන්නවා විදුලිය දෙන්න, මිනිස්සුන්ගේ ජීවන තත්ත්වය පවත්වාගෙන යන්න ආණ්ඩුව දැවෙන ප්‍රශ්නවලට මුහුණ දෙනවා.”

“විදුලිබල මණ්ඩලය කඩා වැටුනොත් විදුලිය කවුරුවත් කපන්න ඕන නැහැ, විදුලිය නිකංම කැපෙනවා,” සභාපතිවරයා අවධාරණය කළේ ය.

නිව් ෆෝට්ට්‍රෙස් සමාගම සමග ඇතිවූ ගිවිසුම මොකක්ද?

විදුලිය උත්පාදනය හා LNG සැපයීමට අදාලව රජය අමෙරිකානු සමාගමක් සමග මූලික එකඟතා ගිවිසුමක් පසුගියදා අත්සන්කර ඇත.

එම ගිවිසුම මඟින් කෙරවළපිටියේ දැනට ක්‍රියාත්මක වන මෙගවොට් 350ක යුගදනවි විදුලි බලාගාරය හිමි වෙස්ට්කෝස්ට් සමාගමේ කොටස්වලින් මහා භාණ්ඩාගාරයට අයත් 40%ක් කොටස් අමෙරිකාවේ නිව් ෆෝට්‍රස් නමැති සමාගමට විකිණීමටත්, විදුලි බලාගාරයට LNG සැපයීමට සම්බන්ධ පාවෙන ගබඩාව හා නළ පද්ධතිය ඉදිකිරීම හා පවත්වාගෙන යාම ද අදාල සමාගමට පැවරීමටත් යෝජනා වී ඇත.

විපක්ෂයේ මතය

“මේ කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කරන්නේ 2021.09.06 වෙනිදා. මේ කැබිනට් පත්‍රිකාව අනුමත කරනකොට කිසි ඇමතිවරයෙක් ගාව මේ කැබිනට් පත්‍රිකාව නෑ. දැකලා නෑ. හැබැයි කැබිනට් මණ්ඩලය අනුමත කරනවා. අනුමත කරලා කියනවා, ‘මෙහෙම කොටස් විකිණීමේ හා මිලදී ගැනීමේ ගිවිසුම අත්සන් කිරීමෙන් පසු එය අනුමත කිරීම සඳහා අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කරනු ඇත’ කියලා. අත්සන් කරාට පස්සේ මොකක්ද අනුමත කරන්න කියන්නේ? අත්සන් කරලා ඉවරයි,” ජනතා විමුක්ති පෙරමුණු නායක අනුර කුමාර දිසානායක පසුගියදා අනාවරණයක් කරමින් පැවසීය.

“මේ ගිවිසුම අත්සන් කරලා තියෙන්නේ 17 වෙනිදා රෑ 12 පසුවි විනාඩි 06ට. සිකුරාදා රාත්‍රීයේ රෑ 12ට ගිවිසුම් අත්සන් කරනවා, රට ගැන අත්සන් කරලා ආපු සුද්දා පාන්දර 2ට තියෙන ෆ්ලයිට් එකේ ඇමරිකාවට යනවා. ඕකයි සිද්ද වුණේ. ඔබ හිතනවා ද මේ රටේ රෑ 12 .06ට ගිවිසුම් අත්සන් කරන්න බකමූණො ද මේ ගොල්ලෝ? නිසාචරයින් ද?”

ඔහු තවදුරටත් පැවසුවේ, “බලශක්ති ක්ෂේත්‍රයේ අයිතිකාරයන්” හෙට අපේ රටේ ආණ්ඩු තීරණය කරනබවත්, මෙය වළක්වා ගැනීම සඳහා ඔවුන් නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට අපේක්ෂා කරනබවත් ය.

ශ්‍රී ලංකා ඉන්ධන
ඡායාරූප ශීර්ෂ වැකිය, දිවයිනේ බොහෝ ප්‍රදේශවල ඉන්ධනහල් අබියස භූමිතෙල් සඳහා දිගු පෝලිම්

පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ පවසන්නේ, එක් අතකින් මෙය බලශක්ති ස්වෛරීත්වයට ප්‍රශ්නයක්බව යි. අනෙක් අතින් ඇමරිකාවේ දේශපාලන බලපෑමට, යුද බලපෑම්වලට එකඟ වීමට සිද්ධ විය හැකි බව ද ඔහු ප්‍රකාශ කරයි.

රටේ බලශක්ති සම්බන්ධ සම්පූර්ණ තීරණ ගන්නේ ඇමරිකාව, චීනය, සහ ඉන්දියාවබවත් ඔහු චෝදනාකර සිටීයි.

“එක පැත්තකින් මේක බලශක්ති ස්වෛරීත්වයට ප්‍රශ්නයක්. එතනින් පස්සේ බලශක්තිය මත අපිට ගෙදර ලයිට් එක දාගන්න නම් ඇමරිකාවේ දේශපාලන බලපෑමට, යුධ බලපෑම්වලට එකඟ වෙන්න සිද්ද වෙනවා. සමස්ත තෙල් බෙදා හැරීමෙන් තුනෙන් එකක් ඉන්දියාවට ලබාදුන්නා. මුතුරාජවෙල අක්කර 109ක් ගොඩකරලා චීන සමාගමකට අයත් විදුලි බලාගාරයක් දැන් හදමින් යනවා.”

“මේක සිද්ද වෙන්නේ පාර්ලිමේන්තුවට සම්පූර්ණ පිටස්තරව. මොකද වසංගතයට වඩා භයානකයි මේවා. ද්විත්ව පුරවැසි බැසිල් රාජපක්ෂ නැවත පැනලා යයි. තමන්ගේ රටට ගියාට පස්සේ ලංකාව තුළ හිරවෙන්නේ මේ නිලධාරීන්. ඒ නිසා අපි නිලධාරීන්ට කියනවා, මේවට මැදිහත් වෙන්න එපා, මේවට අත්සන් කරන්න එපා.”

හිටපු විදුලිබල සහ බලශක්ති ඇමතිවරයෙකු වන පාඨලී චම්පික රණවක පවසන්නේ එළඹෙන දෙසැම්බර් මාසයට පෙර ගල් අඟුරු ගෙනාවෙ නැතහොත් දැනට තිබෙන ගල් අඟුරු තොග අවසන් වී විදුලි නිෂ්පාදනය කඩා වැටෙන බවයි.

ඔක්තෝම්බර් 31 දින ලංකාදීප පුවත්පතට ලබාදී ඇති සාකච්ඡාවක, රණවක පවසන්නේ තාප බලාගාරයට අවශ්‍ය ගල් අඟුරු නොවැම්බර් මාසය වන විට නොගෙනාවොත් බරපතළ ප්‍රශ්නයකට මුහුණදීමට සිදුවන බවයි.

ඔහු පවසන්නේ බලාගාරයට ගල්අඟුරු ගෙන ආ හැක්කේ නොවැම්බර් සිට අප්‍රේල් දක්වා පමණයි මක්නිසාදයත් ඉන්පසු කාලවලදි මුහුද රළු වන නිසාය එවිට ගල් අඟුරු ගෙන ඒමට නොහැකි වෙයි.

ගල් අඟුරු හරහා රටේ බලශක්තියෙන් සියයට 25 සහ 50 තර ප්‍රමාණයක් නිෂ්පාදනය වන බව පවසන හිටපු ඇමැතිවරයා බලාගාරයට අවශ්‍ය ය ගල් අඟුරු නිසි ලෙස නොලැබුණහොත් විදුලිය විසන්ධි කිරීමට සිදුවනු ඇති බවට අනතුරු අඟවයි.විදුලිබල ඇමති ගාමිණී ලොකුගේ පවසන්නේ රුසියාවේ ගල් ගල් අඟුරු මිල පහත වැටී ඇති බවත් රුසියාවෙන් අඟුරු ලබාගැනීමට රාජ්‍ය මට්ටමින් සාකච්ඡා කරමින් පියවර ගන්නා බව ය.

ලංකාදීප පුවත්පතට ඔක්තෝම්බර් 31, දි දින ලබාදුන් සාකච්ඡාවක දී ඇමතිවරයා පැවසුවේ ඊට අමතරව තවත් රටවල් කිහිපයක් සමග ගල් අඟුරු ලබා ගැනීමට සාකච්ඡා කරන බවය.

“දැනට තිබෙන ගල් අඟුරුවලින් සියයට 74 ප්‍ර‍මාණයක් ඉතිරි වී තිබෙනවා. අඩුපාඩු ප්‍රමාණය April 31 ට පෙර බාගන්න පුළුවන්.”

අප්‍රේල් මාසයෙන් පසුව මුහුදු රළ සැර නිසා බාගැනීම් කරන්න බැරි බව ඇමතිවරයා ද පැවසීය.

ඇමතිවරයා තවදුරටත් පවසා සිටින්නේ “විදුලිය හිඟයක් ඇති වෙන්නේ නැහැ. ඒ ගැන බියක් සැකයක් ඇතිකරගත යුතු නැහැ. දින 365 ම විදුලිය ලබාදීමට සූදානම්.” බවයි.

ප්‍රියන්ත කුමාර පුද්ගලික ආයතනයක කම්කරුවකු ලෙස රැකියාව කරන අතර, පසුගිය අඟහරුවාදා ගම්පහ ප්‍රදේශයේ ඉන්ධනහලකින් භූමිතෙල් ලීටරයක් මිලට ගත්තේ විදුලිය කැපීමක් සිදුවෙතැ යි යන බිය නිසා ය.

“මේකත් ගත්තේ පෝළිමේ ඉඳලා… කෝකටත් කියලා සූදානම් ශරීරයෙන් ඉන්න එපායෑ. පහුගිය කාලේ වෙච්ච දේවල් මතකයි. ලයිට් කැපිල්ලක් කොයි වෙලාවේ වෙයිද දන්නේ නැහැ. අපි වගේ මිනිස්සුන්ට තමයි බඩේපාර වදින්නේ. ලොක්කන්ට ගෙවල්වල ජෙනරේටර් තියෙනවා. ලයිට් කැපුවොත් අපිට තියෙන්නෙ වේලාසන කාලා බුදිය ගන්න එකයි. වෙන මොනවා කරන්න ද? අපට පුළුවන්ද බලාගාර හදන්න…?”

(bbc.com/sinhala)

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article