*****************************************************************************
රටේ කොතැනක හෝ දරු පවුලක් මුරුංගා කොළ තම්බාගෙන කා වේල පිරිමසා ගන්නේ යැයි මරහඬ තැලූ ජනමාධ්‍ය වල මාධ්‍ය කාරයෝම ඒ අසරණයන්ගේ රුපියල් වලින් සාප්පු සවාරි ගියෝය. නොනිඳන නගරයේ තරු විසිතුරු බලා නේක සතුට සොම්නස භුක්ති වින්දාහ.
උදෑසන අහර කිස සඳහා සිලි සිලි උරයේ දමාගෙන යන ග්‍රෑම් 350-400 පාන් ගෙඩියේ මිල රු. 55 කි. ඇතැම් තැන් වල 60 කි. ඒ අසරණ මිනිහා පාන් ගෙඩියට ගෙවන රුපියල් 55 න් රුපියල් 20 ක් පමණ අය වන්නේ තිරිඟු පිටි සඳහා රජය අය කරන බදු මුදල් ය. සෑම උදෑසනකම තමන් පාන් ගෙඩියට වැය කරන රුපියල් 55 න් රුපියල් 20 ක් පමණ ආණ්ඩුවේ බදු මුදල් බව සිලි සිලි උරයේ පාන් ගෙඩිය ගෙන යන අසරණයා නොදනී.
ජීවිතයේ තිඹිරි ගෙයි සිට කැරකොප්පුව දක්වා රටේ ජනතාව ආණ්ඩුවට ගෙවන විවිධාකාර බදු මුදල් වලින් එකී ජනතාව වෙනුවෙන් ඉටු කළ යුතු බොහෝ අවශ්‍යතා සඳහා එම බදු මුදල් ප්‍රමාණවත් නොවීම හේතුවෙන් ඉටු නොවීම සුලබ දසුනකි. එසේ තිබියදී අය කර ගන්නා බදු මුදල් වලින් එක් රුපියල් 10 ක් හෝ නිකරුනේ වැය කරන්නේ නම්, ඒ අපරාධයට කවුරුන් හෝ දායක වන්නේ නම් ඔහු සිය හෘද සාක්කියට ආමන්ත්‍රණය කොට තමන් පිළිබඳව ප්‍රශ්න කර ගන්නේ නම් මැනවි. එහෙත් ඒ, ඉහත සඳහන් මුරුංගා කොළ කා දවස ගෙවන අසරණයන් ගැන අංශු මාත්‍රයක හැඟීමක් දැනීමක් පවතින්නේ නම් පමණි. මහා ප්‍රතිරූප මවාගෙන විවිධ අයවලුන් ඉදිරියේ පෙනී සිටින අසංවේදී හිස් මිනිසුනට ස්වකීය වැරද්දේ ස්වභාවය කෙසේවත් තේරුම් නොයනු ඇත.
එක්සත් ජාතීන්ගේ 73 වන සැසිවාරය
එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිය ගැන ලෝකයේ අන් කිසිම රටකට නැති තරම් රුදාවක් ශ්‍රී ලංකාවට ඇත්තේ ය. සමුළුව පවත්වන නිව්යෝර්ක් නුවර රාජ්‍ය පරිපාලනයටවත් මේ තරම් රුදාවක් නැති බවට ප්‍රධානතම සාක්ෂිය වන්නේ නිව්යෝර්ක්හි පළවන ප්‍රධාන පෙළේ කිසිදු ජනමාධ්‍යයකට මේ සමුළුව ප්‍රධාන පුවතක් වී නොතිබීමයි. මහා මණ්ඩල සැසියේ සමාරම්භක දේශනය පැවැත්වූ ඇමරිකානු ජනාධිපතිවරයාගේ කතාව හෝ මෙහි කිසිදු ජනමාධ්‍යයක ප්‍රධාන පුවතක් බවට පත්ව තිබුනේ නැත. මෙය අද ඊයේ පමණක් නොව ලියුම්කරු වසර 8 ක් තිස්සේ අත් දකින දේය. සිදුවන එකම දෙය සැසිය පැවැත්වෙන සතිය තුල නගරයේ වෙනදාට වඩා පෙළ ගැසෙන වාහන තදබදය පිළිබඳ මතුවන ජනතා විරෝධය පමණි.
ඒත් ශ්‍රී ලංකාවේ ජනමාධ්‍යය සතියකට පෙර සිටම මහා මණ්ඩල සැසිය පිළිබඳ මොර ගෑම ආරම්භ කරති. සමුළුව පැවැත්වෙන දිනවල විද්‍යුත් මාධ්‍ය වල ප්‍රවෘත්ති ප්‍රකාශයේ සුවිශේෂී ශීර්ෂ පාඨ යටතේ වැඩි වේලාවක් ඒ වෙනුවෙන් වෙන් කෙරේ. ජනමාධ්‍ය විසින් කරන මේ ඝෝෂාව තරමට සමුළුවෙන් රටට අත්වන ප්‍රතිලාභ මොනවාද යන්න වෙනම සලකා බැලිය යුතුය. ලෝකයේ වරින්වර පැවැත්වෙන විවිධ සමුළු – සම්මන්ත්‍රණ වලට සමගාමීව එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිය ද නිකම්ම නිකම් කතා සාප්පුවක් පමණකැයි කීවට වරදක් නැත.
මේ වැය බර කාගේ හිස මතද?
රාජපක්ෂ පාලන සමයේ සෑම වසරකම මේ සමුළුව වෙනුවෙන් වැය කළ අති විශාල ධනස්කන්ධයට සාපේක්ෂකව වත්මන් ජනාධිපතිවරයා යටතේ වැය වන්නේ ඉන් හරි අඩකි. එහෙත් ඒ හරි අඩද ශ්‍රී ලංකාව වැනි දිළිඳු රටකට එසේ මෙසේ මුදලක් නොවේ. රුපියල අවප්‍රමාණය වීම දරා ගත නොහැකිව විදේශ විනිමය රටතුළ ඉතිරිකර ගැනීම පිණිස සුඛෝපභෝගී භාණ්ඩ පමණක් නොව ඇතැම් ආහාර පාන වර්ග ද විදේශයන්ගෙන් ආනයනය කිරීම නතර කිරීමට, සීමා පැනවීමට රජය තීරණය කර තිබේ. එවැනි පසුබිමක් තුල රටේ තිබෙන රුපියල් 170 ක් එක් ඩොලරයකට පරිවර්තනය කර ගනිමින් සතියක් වැනි කෙටි කාලයක් තුල ඩොලර් ලක්ෂ ගණනක් ලෝකයේ ධනවත්ම රටට ගෙන ගොස් අත දිග හැර වියදම් කිරීම කොතරම් සාධාරණ ද? යුක්ති සහගත ද? එකී වැය කිරීමට සාපේක්ෂකව රටට ලැබෙන ආර්ථික ප්‍රතිලාභයන් ගැන මේ සැසිවාරයට සහභාගී වූ ජනාධිපති ඇතුළු මැති ඇමැතිවරුන් කල්පනා කෙළේ ද? ඒ සහභාගීත්වය ශ්‍රී ලංකාව තුල ප්‍රචාරය කිරීම පිණිස සහභාගී වූ විසි දෙදෙනෙකුගෙන් සමන්විත ජනමාධ්‍ය නඩය කල්පනා කෙළේ ද? සමුළුවට කවර හෝ සම්බන්ධයක් නැති ජනාධිපති දූ පුතුන්ලා සහ අනාගත ලේලිය කල්පනා කෙළේ ද? තවත් කවර හෝ සම්බන්ධයන් නැති භික්ෂුන් වහන්සේ දෙනම කල්පනා කෙළේ ද?
රාජපක්ෂ සමය
රාජපක්ෂ සමයේ සෑම වසරකම එකසිය ගණනක මහා නඩයක් මේ සැසි වාරයට සහභාගී වීම සඳහා නිව්යෝර්ක් බලා පැමිණියහ. ඔවුන්ගෙන් ජනාධිපති ප්‍රමුඛ 10 දෙනෙකුට අඩු පිරිසකට සැසිය පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මූලස්ථාන ගර්භයට ඇතුළු වීමට අවසර ලැබුණි. ඉතිරි පිරිස මුළු සතිය පුරාම කෙළේ කුමක් ද? ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත කාර්යාලය විසින් කුලියට ගෙන ලබා දෙන වාහන වල නැගී ජනාධිපති ලේකම් කාර්යාලයෙන් දෙන වියදම් දීමනා වැය කරමින් නගරයේ ඒ මේ අත කරක් ගැසීමයි. ඇතැම්හු නිරුවත් රංග ශාලාවලට රිංගූහ. ජනාධිපති බිසවුන් වහන්සේ ඉහළම මිල සහිත අත් බෑග් සොයමින් සුපිරි සාප්පු වල සක්මන් කෙළේ ශ්‍රී ලංකාවෙන් කැඳවා ගෙන ගිය පරිවාර කාන්තාවන්ද පිරිවරාගෙන ය.
ඩොලර් 10 කලිසම ඩොලර් 15 ක් දී සෝදා ගැනීම
2010 වසරේ මහින්ද රාජපක්ෂ සමග විශාල පිරිසක් මේ වාර්ෂික නිව්යෝර්ක් සංචාරයට එක් වී සිටියහ. පැමිණි පිරිස් වල නවාතැන් සඳහා වෙන්කර ගෙන තිබුනේ නිව්යෝර්ක්හි මිල අධිකම හෝටල් ය. එක් හෝටල් කාමරයක නැවතී සිටි රාජපක්ෂ සට්ටැඹියෙකු නිව්යෝර්ක් හි වෙසෙන තම මිතුරන් කිහිප දෙනෙකු සිය හෝටල් කාමරයට කැඳවාගෙන තිබුණි. රැයක් පුරා හෝටල් කාමරයේ මිනි බාර් එක හිස් කළ මිතුරෝ කාමරයේම රැය පහන් කෙළෝය. පසුදා එක් පුද්ගලයෙකු තමන් ඇඳ සිටි කලිසම කිලිට වී තිබූ බැවින් හෝටලයේ ලොන්ඩරියට යවා සෝදවා ගෙන තිබිණි. කලිසම සේදීමේ බිල ඩොලර් 15 කි. ඒ දිනවල ශ්‍රී ලංකාවේ මුදල හා සසඳන විට එය රු. 2100 ක් තරම් ය. මේ පුද්ගලයා යම් පිරිසක් රැස්ව සිටි නිවසක දී පුරසාරමට කියා සිටියේ “මම ටෙල්කෝ එකේ සේල් එකෙන් ඩොලර් 10 ට ගත්තු කලිසම ලංකාවේ ආණ්ඩුවේ සල්ලි වලින් ඩොලර් 15 කට සෝදා ගත්තා” යනුවෙනි. ලියුම්කරු මේ උදාහරණය ගෙන ආවේ නිව්යෝර්ක් වල ඩොලර් උපයන මිනිසාගේ කිළිටි කලිසම සෝදා දෙන්නට ලංකාවේ අසරණ මිනිසුන්ගේ බදු මුදලින් රු.2100 ක් වැය කිරීම තරම් අසික්කිත කුණු හරුපයක් තවත් තිබේද කියා විමසීමට ය.
රාජපක්ෂ සමයේ මෙන් 2015 න් පසු පැමිණි මහා මණ්ඩල සැසි තුනේ දීම මිල අධිකම හෝටල් වෙන් කෙරුණේ නැත. එකාට එක ගානේ වාහන ලබා දුන්නේ ද නැත. හෝටල් කාමර වලට හිත මිතුරන් ගෙන්වා ගෙන මිනි බාර් හිස් කරමින් පිස්සු කෙළින්නට දෙන්නේ ද නැත. ඒවායේ ඇති මිනි බාර් කල් ඇතුවම අගුළු දමා තිබේ. මෙවැනි සීමා කිරීම් තිබුන ද මේ සැසිවාරය වෙනුවෙන් ද 63 දෙනෙකු නිල වශයෙන් ද තවත් හරියටම නොදන්නා ගණනක් නොනිල වශයෙන්ද පැමිණ තිබේ. උපරිම වශයෙන් 15 දෙනෙකු පැමිණියේ නම් එහි කිසිදු වරදක් නැත. මේ නිස්කාරණ වියදම අප වැනි රටක් මෙවැනි මොහොතක උහුලන්නේ කෙළෙසද? ලෝකයේ ධනවත්ම රටක් වන සවුදි අරාබියෙන් පැමිණ ඇත්තේ 40 කටත් අඩු පිරිසකි. බොහෝ ධනවත් රටවලින් පැමිණි නියෝජිත කණ්ඩායම 25-30 සීමාවේ රඳවාගෙන තිබිණි.
ජනාධිපතිගේ පවුල් නඩය
නිව්යෝර්ක් වෙත පැමිණ සිටින සිරිසේන ජනාධිපතිගේ පවුලේ නඩය නවාතැන් ගෙන සිටින මැරියට් හෝටලයේ බිල්පත් ඔවුන් විසින් දරණ බව ශ්‍රී ලංකාවේ නිත්‍ය නියෝජිත කාර්යාලය ප්‍රකාශ කළ ද එහි ඇත්ත නැත්ත ජනාධිපති ලේකම් කාර්යාලයේ, විදේශ කටයුතු අමාත්‍යාංශයේ ගිණුම් වාර්තා වලින් ඉදිරියේ බලා ගත හැකි ය. ඔවුන්ට ගමන් බිමන් යාමට ලබා දුන් කුලී රථ වල බිල්පත් ගෙවා ඇත්තේ ද කව්ද යන්නත් එලෙසින්ම බලා ගත හැකි ය.
ජනාධිපතිවරයා ඇතුළු මැති ඇමැතිවරුන්, සෙසු පිරිස, මාධ්‍ය නඩය නැවතී සිටි ලෝව්ස් රීජන්සි හෝටලයේ ආහාර පාන රහිතව කාමර ගාස්තුව පමණක් දිනෙකට ඩොලර් 400 කට ආසන්න ය. ජනාධිපතිවරයාට, බිරිඳට එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් ආරක්ෂක වාහන සපයා දී තිබිය දී ආරක්ෂක නිලධාරීන් 13 දෙනෙකු නිව්යෝර්ක් වෙත ගෙන ඒම විහිළුවකි. ලංකාවේ දී තමන් වටේ සිටින ආරක්ෂකයන්ට රට සවාරියක් ලබා දී සතුටු කිරීම විනා මෙහි ඇති අන් ඵලයක් නැත. ලංකාවේ දී මෙන් ඉදිරියෙන් සහ පසුපසින් මුරකාවල් යොදාගෙන සයිරන් හඬවාගෙන පිම්මේ දිවෙන රථ පෙරහරවල් මෙහි ඇත්තේ නැත.
ජනමාධ්‍ය නඩය
එක්සත් ජාතීන්ගේ සැසිවාරය වාර්තා කිරීම සඳහා ජනාධිපති මාධ්‍ය අංශයෙන් 11 දෙනෙක් ද රජයේ සහ පෞද්ගලික මාධ්‍ය ආයතන වලින් තවත් 11 දෙනෙකුද පැමිණ සිට ඇත. ජනාධිපති මාධ්‍ය ඒකකයේ විද්‍යුත් සහ මුද්‍රිත මාධ්‍ය යන දෙංශයම නියෝජනය කරන මාධ්‍යවේදීන් 11 දෙනෙකු සියළුම කැමරා ආම්පන්න සහිතව පැමිණ සිටිය දී තවත් පිටස්තර ආයතන වලින් 11 දෙනෙකු රජයේ වියදමින් ගෙන ආවේ කවර කාරණයක් සඳහා ද? සැසිය පැවැත්වෙන මහා මණ්ඩල සමුළු ශාලාවට ජනාධිපති මාධ්‍ය අංශයේ එක් වීඩියෝ කැමරා ශිල්පියෙකු සහභාගී වූවා හැර අන් අයට ඊට ඇතුළු වීමට ඉඩ ලැබුනේ නැත. ඔවුන් මුළු සතිය පුරාම කෙළේ එක්සත් ජාතීන්ගේ මූලස්ථාන ගොඩනැගිල්ල ඉදිරිපිට සිට එදා දවසේ සිදුවන දෑ පිලිබඳ උපරිම විනාඩි 2- 3ක කෙටි විස්තර කථනයක් සිදුකිරීම පමණි. සියළුම රූපවාහිනී නාලිකා වල විකාශය වූ අනෙකුත් දර්ශන ජනාධිපති මාධ්‍ය අංශය විසින් නිකුත් කළ එකම රූප රාමු ය. දිනකට උපරිමව විනාඩි 2- 3 ක කෙටි විස්තර කථනයක් කරවා ගැනීමට විද්‍යුත් මාධ්‍ය ආයතන නියෝජිතයන් 5 දෙනෙකු රැගෙන විත් තිබිණි. ජනාධිපති මාධ්‍ය ඒකකයෙන් සහ අනෙකුත් පෞද්ගලික මාධ්‍ය ආයතන වලින් ගෙන ගිය 22 හට ඩොලර් 2250 කට ආසන්න මුදලක් එක් අයෙකුට (ශ්‍රී ලංකා මුදලින් රු.3,60,000/- ක් පමණ) අමතර වියදම් සඳහා (කාමර ගාස්තු ගමන් වියදම් ආහාර පාන රජයේ වියදමින් ලබා දී) පොකට් මනි වශයෙන් ලබා දී තිබේ. එහි එකතුව පමණක් දළ වශයෙන් රුපියල් ලක්ෂ 80 කට ආසන්නය. මෙකී 22 දෙදෙනාගේ හෝටල් ගාස්තු ආහාර පාන ප්‍රවාහන වියදම් ගුවන් ටිකට් පත් වල එකතුව ගත් කල ඒ කොපමණද? මේ ලියුම්කරුගේ මතයට අනුව ජනාධිපති මාධ්‍ය ඒකකයේ විද්‍යුත් සහ මුද්‍රිත මාධ්‍යවේදීන් 4 දෙනෙකු කැඳවා ගෙන ආවේ නම් අද තිබෙන නවීන තාක්ෂනය අනුව සමුළුවේ එදිනෙදා සියළුම සිදුවීම් ඇසිල්ලකින් ශ්‍රී ලංකාවේ සියළුම ජනමාධ්‍ය වෙත නිකුත් කරන්නට හැකියාව තිබිණි. එසේ කෙළේ නම් මේ මාධ්‍ය නඩය වෙනුවෙන් වැය කළ මුදල වෙනුවෙන් රුපියල් කෝටි 2 ක් පමණ රටට ඉතිරි කර ගන්නට ඉඩ තිබිණි.
සහෝදර මාධ්‍ය සගයන් විදෙස් රටකට පැමිණ රටතොට බලා කියා ගැනීම, සංචාරය කිරීම යහපත් ය. එහෙත් ඊට වැය වන්නේ ඔවුන්ගේම මාධ්‍ය වලින් උදේ හවා බෑඟිරි ගාන මුරුංගා කොළ කන රටේ මිනිසුන්ගේ බදු මුදල් බව ඔවුන් අමතක නොකළ යුතුය. තමන් රිසි සේ සාප්පු සවාරි ගියේ ඒ අසරණයන් රටට ගෙවන බදු මුදල් වලින් බව අමතක නොකළ යුතුය.
සපත්තු දෙකක් නැතිව දිවි නසා ගත් පාසැල් දැරිය
සමහර මාධ්‍යවේදීහු ආපසු යන විට තම දූ දරුවන්ට ගෙන යාමට ටොෆි චොක්ලට් ආදී රස කැවිලි මෙන්ම ඇඳුම් ආයිත්තන් සේම පාවහන් ද මිල දී ගත්හ. එසේ මිල දී ගනිද්දී කලකට පෙර තමන්ගේ මාධ්‍ය වලින්ම හදවත කඩා හැලෙන්නට ලියූ පාසැල් යන්නට සපත්තු දෙකක් නැතිව දිවි නසා ගත් දැරිය ගැන මතක් වූවා දැයි සැක සහිත ය. එසේ මතක් වූවා නම් අප මේ වියදම් කරන්නේ තම දියණියට සපත්තු දෙකක් මිලදී ගෙන දෙන්නට අපොහොසත් වූ මා පියන් විසින් වේලක් හැර වේලක් කමින් රජයට ගෙවන ලද බදු මුදල් නොවේදැයි හිතෙන්නට ද ඉඩ තිබිණි. එහෙත් ඒවා සිත සිතා සිටින්නට ඉස්පාසුවක් ඔවුනට තිබුනේ නැති බව නම් සහතික ය.
වසරක් පාසා නිව්යෝර්ක්හි පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරයට මහ පෙරහැරක් රැගෙන යාම ආරම්භ කෙළේ මහින්ද රාජපක්ෂ ජනාධිපති විසිනි. ඊට පෙර චන්ද්‍රිකා රජය අත්‍යවශ්‍ය සුළු පිරිසක් හැර මහා පිරිසක් රැගෙන ගියේ නැත. ජේආර් ජයවර්ධන, රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරු ද එසේ කෙළේ නැත. ජනාධිපති රාජපක්ෂට සාපේක්ෂකව ජනාධිපති සිරිසේනගේ නිව්යෝර්ක් ගමන් වැය බර යම් ප්‍රමාණයකින් අඩුකර ඇති බව සත්‍යයකි. නමුත් 2015 ජනවාරි 8 වෙනිදා සිරිසේන ජනාධිපති රටේ නායකයා කර ගත්තේ මහින්ද රාජපක්ෂ කළ වැරදි කෙරුවාවල් වලින් කිසියම් ප්‍රමාණයක් අඩු කර ගන්නට නොව සියළු වැරදි නිමා කර ගන්නට ය. රාජපක්ෂලාගේ එකී වැය බර රටට කිසිසේත්ම ඔරොත්තු නොදුන්නා සේම රාජපක්ෂලාගේ මහා ණය කන්දක් ගෙවමින් සිටින වත්මන් ශ්‍රී ලාංකික ජනතාවට සිරිසේනගේ මේ වැය බරද දැරිය නොහැකි ය.
පෝද්දල ජයන්ත