තිහකට වැඩි පිරිසක් බලහත්කාරයෙන් පැහැරගෙන ගොස් බලහත්කාර නිරෝධායනයට ලක් කිරීම සම්බන්ධයෙන් වහාම පරීක්ෂණයක් ආරම්භ කරන්නැයි ජ්‍යෙෂ්ඨ ගුරු සංගම් නායකයකු වත්මන් පොලිස්පතිවරයාගෙන් ඉල්ලා සිටි.
“මේකෙදී විශේෂයෙන්ම කියන්න ඕන දේ තමයි, මේ නිරෝධායනයට බලෙන්ම අරන් ගිහිල්ලා මේ කරපු වැඩේ සම්බන්ධයෙන් වර්තමාන පොලිස්පතිවරයා වහාම පරීක්ෂණයක් කළ යුතුයි. ඇයි මෙහෙම ගෙනියන්නේ, බලය අයුතු ලෙස පාවිච්චි කරලා මිනිස්සු එහෙම ගෙනියන්න පුළුවන්ද ? අඩු තරමේ පී.එච්.අයි කෙනෙක්වත් චෙක් කරේ නෑ අපිව. පොලීසියේදීවත් චෙක් කරේ නෑ. කිසිම දෙයක් චෙක් කරේ නෑ. ”
2021 වසරේ ජුලි මාසයේදී බෞද්ධ භික්ෂුන් ඇතුළු දේශපාලන හා වෘත්තිය සමිති ක්‍රියාධරයන් පිරිසක් සමග බලහත්කාරී ලෙස රඳවා තබාගනු ලැබූ ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් ඒ බව සදහන් කළේ, කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල පනත් කෙටුම්පත ඉවත් කරගන්නා ලෙස රජයට බල කරමින් ජුලි 8 වැනිදා පැවති උද්ඝෝෂණය සිදු කළ පිරිස අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් වසර තුනකට වැඩි කාලයක් තිස්සේ පැවති නඩුවෙන් එහි සියලු විත්තිකරුවන් නිදහස් වීමෙන් පසු මාධ්‍යවේදීන් වෙත අදහස් දක්වමිනි.
ක්‍රියාධරයන් පිරිස ගුවන් හමුදා කඳවුරක රඳවා තබාගනු ලැබුවේ කෝවිඩ් මර්දනය හමුදා පරිපාලනය යටතට පත් කර තිබු සමයකය.
2025 ජනවාරි 6 වැනිදා එම නඩුව විභාගයට ගත් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් මංජුල රත්නායක නියෝග කර ඇත්තේ දිවයිනේ ක්‍රියාකාරී ගුරු සංගම් නායකයකු මෙන්ම ජ්‍යෙෂ්ඨ වෘත්තිය සමිති නායකයකුද වන ජෝසප් ස්ටාලින් ඇතුළු 34 දෙනා නිදොස් කොට නිදහස් කිරීමටයි.
ලංකා ගුරු සංගමය, පෙරටුගාමී සමාජවාදී පක්ෂය සහ අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ සාමාජිකයන් විසින් 2021 වසරේ ජුලි 8 බ්‍රහස්පතින්දා පෙරවරුවේ පාර්ලිමේන්තු වටරවුම අසල විරෝධතාවයක් දියත් කර තිබුනේ කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාල පනතට එරෙහිවය.
නිදහස් අධ්‍යාපන අයිතිය ආරක්ෂා කිරීම හා මිලිටරිකරණයට එරෙහිව ‘නිදහස් අධ්‍යාපනය උදෙසා සිසු ජන ව්‍යාපාරය’ විසින් එම විරෝධතාවය සංවිධානය කර තිබුනි.
එහිදී වසංගත නීති කඩ කල බවට චෝදනා කරමින් බෞද්ධ භික්ෂුන්, වයස්ගත කාන්තාවන් ඇතුළු ක්‍රියාකාරීන් තිස් හතර දෙනෙක් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබුනි.
කොළඹ අතිරේක මහේස්ත්‍රාත් කාංචනා නිරන්ජනා ද සිල්වා එම පිරිස ඇප මත මුදා හැරීමට එදින නියෝග කර තිබුනි. ඔවුන් නිරෝධායනය කිරීම සඳහා අවසර ලබාදෙන්නැයි වැලිකඩ පොලිසිය අධිකරණයෙන් ඉල්ලා සිටි අවස්ථාවේ දී අතිරේක මහේස්ත්‍රාත්වරිය සදහන් කර සදහන් කර තිබුනේ නිරෝධායනය කිරීම සඳහා අධිකරණයට බලයක් නොමැති බවයි.
කෙසේ නමුත් අධිකරණයෙන් පිටතදී දේශපාලන හා වෘත්තිය සමිති ක්‍රියාධරයන් විසින් දැක්වු විරෝධතා නොතකා එම පිරිස බලහත්කාරයෙන් අධිකරණයේ සිට බසයක නංවාගෙන වරාය පොලිසිය තුළට රැගෙන ගිය පොලිස් නිලධාරීන් ඔවුන්ට දැනුම් දී තිබුනේ “දුර ගමනක් යාමට” සූදානම් වන ලෙසයි. පසුව වෘත්තිය සමිති නායක ජෝසප් ස්ටාලින් ඇතුළු පිරිසක් පොලීසිය විසින් බලහත්කාරයෙන් නිරෝධායනය සදහා මුලතිව් ගුවන් හමුදා කදවුර වෙත යවා තිබුනි.
පොලිසිය විසින් බලහත්කාරයෙන් මුලතිව් ගුවන් හමුදා කඳවුරට අනුබද්ධිත නිරෝධායන මධ්‍යස්ථානය වෙත යොමු කළ ගුරු සංගම් නායකයා ඇතුළු පිරිසගේ පීසීආර් නිදර්ශක ජුලි 10 දින ලබා ගෙන තිබු අතර එදිනම ඔවුන් ආසාදිත නොවන බවට තහවුරු වු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙත ලිපියක් යොමු කරමින් වෛද්‍ය රසායානාගාර විද්‍යාඥ වෘත්තීයවේදීන්ගේ විද්වත් ආයතනය දැනුම් දී තිබුනි.
අධ්‍යාපනය හමුදාකරණයට එරෙහිව අගනුවර උද්ඝෝෂණය කළ ලංකා ගුරු සංගමයේ නායක ජෝසප් ස්ටාලින් ඇතුළු ක්‍රියාධාරීන් පිරිස ගුවන් හමුදා කඳවුරක් තුල බලහත්කාරයෙන් රඳවා තබා ගැනීමට එරෙහිව නැගුනු දේශීය හා විදේශීය විරෝධය හමුවේ දින අටකට පසුව ඔවුන් මුදා හැරීමට එවක රජයට සිදු විය.