Friday, September 20, 2024

නලාකාරයෝ…

Must read

අද උදේ ගෝල්ෆේස් ඇවිත් රෝහණ වීරසිංහල සෝමරත්න දිසානායකල කරපු පාපොච්චාරණය දැකල මම මීට අවුරුදු දොළහකට උඩදි ලියපු කතාවක් මතක්වුණ.දැන් වගේ සෝෂල් මීඩියා එකේ හැමෝම රාජපක්ෂලගෙන් ගේම ඉල්ලන්නෙ නැති කාලෙ ඉරුදින පත්තරේ ඉද්දි ලියපු එකක් ඒක.ඒ මහින්ද රාජපක්ෂ දෙවෙනි පාරට ජනාධිපතිවරණයට ඉල්ලපු කාලෙ.

2005 විවිධ පක්ෂ සහ කණ්ඩායම්වල සහයෝගයෙන් විශාල ජයක් ලබපු මහින්ද 2010 වෙද්දී එයාගෙ පාලනය කවරාකාරයේ එකක්ද කියන එක ගැන සෑහෙන උදාහරණ සපයල තිබුණ වගේම ඊළඟ වතාවෙත් ජනාධිපතිවරණයෙන් දිනුවොත් ඒ පාලනය කොයි වගේ එකක් වේවිද කියන එකටත් බොහෝ ඉඟි සපයල තිබුණෙ.

2005 මහින්ද ජනාධිපති වුණෙ අපේ රටේ විශාල කලාකරුවන් පිරිසකගෙ සහයෝගයක් ඇතුව.ඒ කලාකරුවන්ගෙන් ටික දෙනෙකුට සෑහෙන්න වරප්‍රසාදත් බොහෝ අයකුට සුළු සුළු වරප්‍රසාදත් ලැබුණ.ඒ වගේම වාටියෙ එල්ලිල ඉදපු අයට රෙද්දෙ අතපිහිදාගෙන නාහෙන් අඬ අඬ ඉන්න වුණා.

පළවෙනි අවුරුදු පහේ මහින්දගෙ කෙරුවාවෙන් පුංචි අපේ මොළේට වැටහුණු දේ නොවැටහුණු සහ වැටහුණත් ලැබුණු වරදාන වරප්‍රසාද නිසා ඇත්ත යුත්ත නොසලකා දෙවෙනි පාරත් මහින්ද ජනාධිපති කරන්න මේ කලාකරයො ඉහළින්ම කඩේ ගියා.අන්න ඒ වෙලාවෙ තමයි මම මේ ලිපිය ලිව්වෙ.ඒ වෙද්දී ලසන්ත වික්‍රමතුංග එහෙමත් ඝාතනය වෙලා.

මේ කලාකර⁣යන්ගෙ කඩේ යෑමේ අහිතකර ප්‍රතිඵල ගැන ඉතා පැහැදිලිව අපි එදා කිව්ව.මම නිවැරදි නම් රාජපක්ෂලට කඩේ යන කලාකාරයො “නලාකාරයො” විදියට ලේබල් වුණෙත් මම මේ ලිපියට දාපු හෙඩිම එක්ක.මේ අය නලාකාරයො කියල හැදින්වුණු පළවෙනි වතාව බොහෝ දුරට ඒක වෙන්න ඕන.

අපි අනුමාන කළා වගේම 2010 පස්සෙ මහින්ද රාජපක්ෂගෙ ආණ්ඩුව වැඩ කරපු හැටි ආයෙත් අමුතුවෙන් මතක් කරන්න ඕන නෑනෙ.ඒත් මේ කලාකාරයො සෙට් එක 2015 දීත් එලෙසම මහින්දලට කඩේ ගියා.එතනින් නොනැවතුණු මේ නඩේ 2019 ගෝඨාභය ජනාධිපති කරන්නත් පෙරමුණ ගත්ත.මේ අයගෙ මේ තක්කඩි කෙරුවාව අපේ අතින් දිගින් දිගටම විවේචනයට ලක්වුණා.

2010 පුංචිකමට අපි කියපු දේ නෑසුණු 2015 දිත් නෑසුණු 2019 දිත් නෑසුණු අය⁣ට 2022 හරි ඇත්ත නැත්ත වැටහීම ගැන සතුටුයි.තරුණ පරම්පරාව පාරට බැහැල අරගලය පටන්ගත්තට පස්සේ තව දුරටත් ගෙවල්වල ඇඳන් යටට වෙලා මේ අයට ඉන්න බෑ තමයි .මෙයාල රාජපක්ෂල පස්සේ ගිය එකෙන් තමන්ටත් රටටත් වුණෙ හානියක් කියල පසුතැවෙමින් කියන්න වෙන දවසක් එනව කියල පුංචි අපි කිව්වේ මීට දශකයටත් එහාදි.එදත් අපිට මේ අය එක්ක පුද්ගලික ආරෝවක් තිබුණෙ නෑ.අදත් නෑ.

ආදරණීය වැඩිහිටි කලාකරුවනි, දැන්වත් ඇත්තටම වැඩිහිටියන් වගේ හැසිරෙමු. © ප්‍රියන්ත කොඩිප්පිලි

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article