‘අනෛයා විලක්කු පෝරාට්ටම්’
————————————
චෙම්මනි සමූහ මිනීවළට අන්තර්ජාතික යුක්තිය අවධාරණය කරමින් සිදු කරන ‘අනෛයා විලක්කු පෝරාට්ටම්’ (නොනිවෙන පහන් අරගලය) ආරම්භ අද ආරම්භ විය.
චෙම්මනි සමූහ මිනීවළට අන්තර්ජාතික යුක්තිය ඉටු කරන ලෙස ත්, එය ගොඩලෑම අන්තර්ජාතික අධීක්ෂණය යටතේ සිදු කරන ලෙස ත් අවධාරණය කරමින්, ජූනි 23, 24 සහ 25 යන තෙදින චෙම්මනි හි පවත්වන අරගලයේ පළමු දිනය අදයි.
මෙම අරගලය, අනෛයා විලක්කු පෝරාට්ටම් (නොනිවෙන පහන් අරගලය) ලෙස නම් කර ඇත්තේ, එය, යහපතක් සිදුවීම/ යුක්තියක් ඉටු වීම අධිෂ්ඨාන කරගෙන අඛණ්ඩව පහන් දල්වා තැබීමේ දෙමළ ජනයාගේ සාම්ප්‍රදායික සංස්කෘතික විශ්වාසය මුල් කරගෙන සංවිධානය කර ඇති බැවිනි.
අරගලයෙහි පළමු දින දෙකෙහි උපවාසයේ යෙදීම, චෙම්මනි සමූහ මිනීවළ පිළිබඳ ඡායාරූප ප්‍රදර්ශනය කිරීම, ජනතා අත්සන් එක් කිරීම, සහ චෙම්මනි සමූහ මිනීවළ හා සම්බන්ධ කවි, කතා සහ නාට්‍යයක් ඉදිරිපත් කිරීම සිදු කෙරේ. තෙවන දිනය වන ජූනි 25 වන දින චෙම්මනි සමූහ මිනීවළ පිළිබඳ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස්වරයාගේ අවධානයට යොමු කිරීම පිණිස මහජන උද්ඝෝෂනයක් සිදු කිරීමට නියමිත ය.
චෙම්මනි සමූහ මිනීවළ යනු කුමක්ද?
——————————————-
චෙම්මනි සමූහ මිනීවළ මුලින්ම සොයා ගනු ලැබුවේ යාපනයේ ක්‍රිෂාන්ති කුමාරස්වාමි පාසල් සිසුවිය 1996 දී ශ්‍රී ලංකා හමුදා සෙබළුන් විසින් සමූහ දූෂණයට ලක් කර ඝාතනය කිරීමේ නඩුවේදී ලාන්ස් කෝප්රල් සෝමරත්න රාජපක්ෂ විසින් ලබා දුන් සාක්ෂියකට අනුවයි. ක්‍රිෂාන්ති කුමාරස්වාමි සමඟ ඇයගේ මව, සහෝදරයා සහ ඔවුන්ගේ පවුලේ හිතවතෙකු ඝාතනය කර වළ දමා තිබුණි. චෙම්මනි ප්‍රදේශයේ සිවිල් දෙමළ වැසියන් 300 ක් 400ක් අතර ගණනක් මරා දමා වළ දමා ඇති බවට නඩු විභාගය අතරතුර ලාන්ස් කෝප්රල් සෝමරත්න රාජපක්ෂ සාක්ෂි දුන්නේය.
මෙම වසරේ පෙබරවාරි මස චෙම්මනි සිත්තුපත්ති ප්‍රදේශයේ නල්ලූර් ප්‍රාදේශීය සභාව විසින් නව ඉදිකිරීමක් සඳහා කළ කැණීමක දී මිනිස් ඇටසැකිලි කිහිපයක් හමු වූ අතර මේ වනවිට එම සමූහ මිනීවළ ගොඩලෑමේ කටයුතු සිදු වෙමින් පවතී. මේ වන විට අවම වශයෙන් මිනිස් ඇටසැකිලි 19ක් සොයාගෙන ඇති අතර, ඒ අතර මාස 10 ට අඩු බිළිඳුන් තිදෙනෙක්ගේ ද ඇටසැකිලි ඇතුළත් වන බව වෝහාරික පුරාවිද්‍යා මහාචාර්ය රාජ් සෝමදේව පවසයි.

මේ අතර දෙමළ ජනතාවට එරෙහි ජන සංහාරය සම්බන්ධයෙන් වගවීම පිළිබඳ ගැටළුව ජාත්‍යන්තර අපරාධ අධිකරණයට යොමු කිරීමට පියවර ගන්නා ලෙස එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ කොමසාරිස්වරයාගෙන් ඉල්ලා සිටිමින්, සියලුම දෙමළ ජනතාව සෙම්මනි හි පැවැත්වෙන පහන් දල්වා විරෝධතාවයට සෘජුවම සහභාගී වී සහාය දිය යුතුය.යනුවෙන් සෙල්වරාජා ගජෙන්ද්‍රන් සිය ෆේස්බුක් පිටුවේ ද සටහනක් තබා තිබේ.




