රෝහලකට ඇතුළු වන සෑම රෝගියෙකුගේම අපේක්ෂාව නිසියාකාරව සත්කාරයන් ලබා ගැනීමයි. විශේෂයෙන්ම රෝහලකට ඇතුළු වන ඕනෑම ගැබිනි මවකගේ අපේක්ෂාවද වන්නේ නීරෝගී දරුවෙකු බිහි කිරීමයි. ඒ උතුම් අපේක්ෂාව පෙරදැරිව රෝහල් ගතවන මව්වරුන්ගේ මානසික සෞඛ්‍ය ඉතා වැදගත් සාධකයක් වන්නේ එය කුස තුළ සිටින දරුවාටත් යම් ආකාරයකින් බලපාන නිසාවෙනි.කාන්තාවන් සඳහාම වෙන්වූ මෙරට පළමු රෝහල වන්නේ ද සොයිසා කාන්තා රෝහල වූවත්, එහි පවතින අඩුපාඩු හේතුවෙන් ගැබිනි මව්වරුන්ට සිදුවී ඇත්තේ ගැටලු රැසකට මුහුණ දෙන්නටය.
කොවිඩ් වසංගතය රට පුරා පැතිරී තිබෙන මෙම අවස්ථාවේ බොහෝ දෙනෙකු උණ හෙම්බිරිස්සාවකට වූවත් රජයේ රෝහලකින් ප්‍රතිකාර ලබා ගැනීමට යාමේදී දෙවරක් සිතා බලන්නේ කොවිඩ් වයිරසය ශරීරගත වූවහොත් ඇතිවන අවදානම් තත්ත්වය නිසාවෙනි. අනෙකුත් රජයේ රෝහල් වල සේම ද සොයිසා කාන්තා රෝහලේ තත්ත්වයද එයමය. ගැබිනි මවක් රෝහලට ඇතුළත් කිරීමට පෙර රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණයක් සිදු කෙරෙන අතර, මේ සඳහා ගතවන කාලය විනාඩි තිහක් පමණ වේ. නමුත්,ද සොයිසා කාන්තා රෝහලට ඇතුළු කෙරෙන ගැබිනි මව්වරුන්ට පැය පහකට අධික කාලයක් එම ස්ථානයේ රැදී සිටීමට සිදුවී ඇත.කොවිඩ් වයිරසය ආසාදිතයන්ද එම ස්ථානයේ රැඳී සිටීම නිසා ගැබිනි මව්වරුන්ට අවදානම් තත්ත්වයක්ද උද්ගතව ඇත.
රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණය කරන ස්ථානයට පස්වරු 5.30ට පමණ දිනක් වයසැති බිළිඳිය රැගෙන ආ මවකට රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණයේ ප්‍රතිඵල ලැබීමෙන් අනතුරුව වාට්ටුව වෙත යාමට හැකිවුයේ රාත්‍රී 10ට පමණය. බිළිඳියගේ මව සිසේරියන් සැත්කමකට භාජනය වු තැනැත්තියකි. අදාළ ස්ථානයේ විදුලි පහනක් හෝ දල්වා නොතිබු අතර හිඳ ගැනීමට තිබු තැන හරහා විටින් විට කොවිඩ් ආසාදිත බවට තහවුරු වු රෝගීන් වාට්ටු කරා රැගෙන යාම ද සිදුවිය. කෙටියෙන් පැවසුවහොත් මෙම ස්ථානයට ආසාදිත නොවු අයෙකු පැමිණිය ද එහි පවතින අනාරක්ෂිත බව හේතුවෙන් ඔහු හෝ ඇය ආසාදිතයකු බවට පත්වීමේ වැඩි ඉඩකඩක් ඇත. එබැවින් අදාළ මව ද සිය බිළිඳිය කෙරෙහි ඇති බියෙන් පැය හතරහාමාරක කාලයක් එම ස්ථානයේ ගත කළේ ඇයගේ ශරීරයේ ඇති වේදනාව ද විඳදරා ගනිමිනි.
ගැබිනි මව්වරුන් සඳහන් කරන පරිදි රෝහලේ බොහෝ වාට්ටුවල සේම නානකාමර, වැසිකිලි පද්ධති අපිරිසිදු තත්ත්වයක පවතී. වැසිකිලිවල ඇති ජල කරාම කැඩී ඇත. වැසිකිලි කාමර දෙකක දොරවල් අබලන්ය.ඒවා පාවිච්චි කළ නොහැකි තත්ත්වයක පවතී. භාවිත කළ හැකි තත්ත්වයේ පවතින එකම වැසිකිලියේ ද දොර කැඩී ඇති හෙයින් එය රෙදි පටියක් ආධාරයෙන් ගැට ගසා ඇත. වාට්ටු දෙකක මව්වරුන් වෙනුවෙන් ඇත්තේ එකම එක නානකාමරයක් පමණි. එහි කරාමයෙන් ජලය ගලා එන්නේ නූලක් සේය. එක නානකාමරයක් පමණක් තිබීම නිසා සමහර මව්වරුන් අළුයම තුනට හතරට පවා ඇඟ සෝදාගන්නා අවස්ථා දැකිය හැකිය. අළුයම පහ, හය පමණ වනවිට නානකාමරයේ දිගු පෝලිමක් දැකිය හැකිය. මව්වරුන්ට ස්නානය කොට ඉක්මනින් පැමිණෙන ලෙස හෙද හෙදියන් යම් යම් අවස්ථාවලදී කියා සිටින්නේ නානකාමරය තුළ පවතින ඉතා අවම පහසුකම් පිළිබඳ නොදැන සිටිනවා සේය.
ඇතැම් ගැබිණි මව්වරු රෝහලේ වාට්ටු තුළදී මුව ආවරණයක් වත් භාවිතා නොකරති.ඇතැම් ගැබිනි මව්වරුන් වාට්ටුවල සිටින අනෙකුත් මව්වරුන් සමග සතුටු සාමීචියේ යෙදී සිටින්නේද මුව ආවරණයක්වත් නොමැතිවය. කොවිඩ් අවදානම් තත්ත්වය තුට්ටුවකටවත් මායිම් නොකරන ඇතැම් මව්වරු රෝහලේ කාර්ය මණ්ඩලය ලබාදෙන උපදෙස් වත් පිළිනොගනිති.
රෝහලේ වාට්ටුවල හෙද හෙදියන් ද නිරන්තරයෙන් පවසන්නේ නිසි ලෙස මුඛ ආවරණ පැළඳ සිටින ලෙසත්, ඇඳන්මත පමණක් රැඳි සිටින ලෙසය. ආහාර ගන්නා ස්ථානයට එක් වරකට දෙදෙනෙකු හෝ සිව්දෙනෙකු පමණක් යන ලෙසත්ය. එහෙත් බොහොමයක් මව්වරු ඒවා ගැන කිසිදු තැකීමක් නොමැතිව තම සිත් සේ හැසිරෙති.
(අරුණ)