Thursday, November 28, 2024

කොළඹ ගරාජයකින් මලල පිටියට පැමිණි “සාම නගරයේ කුමාර්”

Must read

 

කඳුකරයේ සාම නගරය හෙවත් හැටන් නගරයට සමීප වැලිඔය, පුදුකාඩු ග්‍රාමයේ ශම්මුගේෂ්වරන් නමැති පවුලට දාව මීට දශක තුනකට පමණ ඉහත දී පුංචි කොලු පැටියෙක් උපදිනවා. හරි හැටි කෑමක් බීමක් තබා ඉන්න හිටින්නට ද තැනක් නැතිව සිටි මේ කොලු පැටියා අද වන විට ශ්‍රී ලංකා මලල ක්‍රීඩා ඉතිහාසයේ සැබෑ වෙනසක් කළ පුද්ගලයෙක් බවට පත්ව සිටිනවා.

ද්‍රරිද්‍රතාවයෙන් ළිං අඩියේම සිටින ඔවුන්ට මේ උපත එක්තරා ආකාරයකට ජීවන බරට තවත් බරක් එකතු වීමක් වුනා. ඒ එම පවුලට ඒ වෙන විට අයියෙක් සහ අක්කෙක් ද සිටි බැවින්. ඒත් නිවැසි ගෘහමූලිකයන් වූ ශම්මුගේෂ්වරන් යුවලට මේ අලුත උපන් දරු පැටියා එසේ වූයේ නැහැ. එම උපත ඔවුන් ඉතා සතුටින් බාර ගත්තා.

කුමාර් ශම්මුගේෂ්වරන්, පවුලේ බඩපිස්සාට තැබුණ නමයි. ඔහු අක්කගේත්, අයියාගේත් සෙවනේ නිසි රැකවරණයකින් යුක්තව වැඩුණා. වතු නිවාසවල විසූ සම වයසේ කොල්ලන් කෙල්ලන් අතරේ ශම්මුගේෂ්වරන් දරුවන් යම් පමණකට කැපී පෙනුණා. ඒ සෙල්ලමට ගියත්, පාසල් ගියත් ඔවුන් අන් අයට වඩා ඉදිරියෙන් සිටි නිසා.

පාසල් යන  වයස වන විට ශම්මුගේෂ්වරන් පවුලේ දරු තිදෙනාම අකුරු කිරීමට ගියේ පුදුකාඩු දමිළ මහා විද්‍යාලයට.

අකුරු කිරීම කෙසේ වෙතත් ගල්ගොඩැලි, කඳු, තැනිතලා සහ තේ ගස් අස්සෙන් රිංගා කුමාර් මේ දුවපු දිවිල්ල 2019 දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ කත්මණ්ඩු නුවර දක්වා දිගු වුනා. ඔහු තමන් සහභාගී වූ මීටර් 10,000 ඉසව්ව විනාඩි 30කුත් තත්පර 49.30කින් නිමා කරමින් එම ඉසව්වේ රන් පදක්කම දිනා ගත්තා. ජයග්‍රාහකයා වුනේ ඉන්දියාවේ සුරේෂ් කුමාර. ඔහුගේ තරග නිමි කාලය වූයේ විනාඩි 29.33.61ක්. දෙදෙනා අතර තියුණු තරගයක්.

කුමාර් ශම්මුගේෂ්වරන්ගේ මේ දිවිල්ලට තෝතැන්න වුනේ ප්‍රදේශයේ කඳුකර පිහිටීමත් සහ අධික සීතලත්. එහෙත් එයම පමණක් ඊට ප්‍රමාණවත් වුනේ නැහැ. ඒ කතාව දැන ගන්න අපිට නැවත කුමර්ගේ පාසල් කාලය දක්වා යන්න වෙනවා.

කුමාර් පාසල් ගියේ පොත පතේ දැනුම ගැන මහා ලොකුවට බලාපොරොත්තු තියාගෙන නොවේ. ඔහුට අවශ්‍ය වුනේ ගෙදරින් පිට වුනාට පස්සෙ කැමති යමක් කිරීමේ අවශ්‍යතාව. ඒක හරි හෝ වැරදියි කියන්න හෝ උපදෙසක් ලබා දෙන්න කිසිවෙක් කුමර්ට හිටියේ නැහැ. හැබැයි කුමර්ගේ මේ දිවිල්ල නිසා ඔහු දිවීමේ හපනෙක් ලෙසින් ප්‍රදේශයේ කා අතරටත් ප්‍රසිද්ධියට පත් වුනා.

ශම්මුගේෂ්වරන් දෙමාල්ලන්ට මේ කිසිදේක තේරුමක් තිබුණෙ නැහැ. ඔවුන් දැන සිටියේ කුමර් දුවන තරගවලට යනවා, එනවා කියන එක විතරයි.

ශම්මුගේෂ්වරන් දෙමාල්ලන්ගේ බලාපොරොත්තුව අනුව කුමාර් අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට සහභාගී වෙනවා. ඒක වතු ජනාවාසීන් අතුරින් කිහිප දෙනෙක්ට පමණක් ලැබෙන අද්විතීය අවස්ථාවක් ලෙසයි ඔවුන් සැලකුවේ. නැති බැරිකම් ඉදිරියේ අධ්‍යාපනය අමතක කරන බොහෝ දෙනෙක් අතරේ කුමාර් මේ විභාගයට සහභාගී වීම ම ඔවුන් ලැබූ ජයග්‍රහණයක් සේ දැකීම ඒ අනුව පුදුමයක් වෙන්නේ නැහැ.

විභාගයේ ප්‍රතිඵල කුමාර්ගේ දිවීමේ ප්‍රතිඵල තරමට සාර්ථක වූයේ නැහැ. ඔහුට සමත් වීමට හැකි වන්නේ විෂයන් 5කින් පමණයි. විභාගය අසමත් වුවත් ක්‍රීඩා දක්ෂතා හේතුවෙන් කුමාර්ට උසස් පෙළ පංති සඳහා සහභාගී වීමේ අවස්ථාවන් ලැබෙනවා.

නමුත් කුමාර් මේ අවස්ථාව ඉතා කාරුණිකව ප්‍රතික්ෂේප කරනවා. ඒ  ඔවුන් ඒ වන විටත් පෙළෙන ද්‍රරිද්‍රතා සතුරා පරාජය කිරීමට නම් තම පියා සමඟ එකතු විය යුතුය යන සිතුවිල්ලෙන් ඔහු නිරන්තරයෙන් පෙළුන බැවින්.

පාසල් ගමන නතර කරන කුමාර් පියා සමඟ වත්තේ වැඩට යෑමට තීරණය කරන්නේ වෙනත් කළ යුතු යමක් නැති නිසා. නමුත් එම තීරණයට කුමාර්ගේ පියා කිසිසේත්ම එකඟ වෙන්නේ නැහැ. මේ නිසා කුමාර් සහ පියා අතර මතවාදමය ගැටුමක් ද ඇති වෙනවා. එහි අවසානය වන්නේ කුමාර් ගම අතහැර රැකියාවක් සොයා කොළඹට සංක්‍රමණය වීමේ තීරණයයි.

ඒ අනුව කුමාර් ශම්මුගේෂ්වරන් නම් අප කතා නායකයා 2010 එක්තරා දිනයක දී කොළඹට පිවිසෙනවා. හරිත පැහැයෙන් පිරි සීත පරිසරයෙන් මිදී කාෂ්ඨක කොළඹ පුරයට පා තැබූ ඇසිල්ලේම කුමාර්ට නැවත තම ගම-රට බලා පිටත් වීමට සිතෙනවා. එහෙත් අනාරාධිතව ගෙදරට පිවිසෙන අග-හිඟ කම් ඉදිරියේ, ඉදිරියට තැබූ පය පිටුපසට තැබීමට කුමාර්ට හැකි වෙන්නේ නැහැ.

ඔහුගේ පළමු නවාතැන වන්නේ වැල්ලවත්ත ප්‍රදේශයේ පිහිටි නයිට්වර්ෂන් මෝටර්ස් ආයතනයයි. එහි කාර් සේදීම, සුළු සුළු මිකෑනික් කටයුතු, එහෙමත් නැත්නම් ගරාජ් සුළු සේවකයෙක් ලෙසිනුයි ඔහුගේ සේවය නියම වෙන්නේ.

කුමාර්ගේ කොළඹ ජීවිතය කුමාර දිවියක් නොවූවත් පවුලේ බරට සහනයක් සැලසීමට ලැබීම කුමාර් ලැබූ ජයග්‍රහණයක් ලෙසයි සැලකුවේ. කොළඹ ජීවිතයේ හුදකලා රාත්‍රීන් කුමර් ගෙවා දැම්මේ අතීත මතකයන් සමඟ. ගමේ දී සේ ම හිමිදිරියේ ම අවදි වෙන කුමාර් පැයක්- දෙකක් පමණ කාලයක් ගෙවා දැම්මේ පැඳුරු කඩමාල්ලට වෙලා ටකර් වහලේ හිල් ගණන්කරමින්.

එක දිගට ඉබේම සිදු වෙන මේ වැඩේ කුමර්ට මහා වදයක් වුනා. ඒ නිසා ඔහු ඉඳ හිටක මුහුදු වෙරළට ගොස් කාලය ගත කරන්න පුරුදු වුනා. එහි දී  අධිපෝෂණයෙන් මිදීමට තමන් ඉදිරියෙන් එකල මෙකල වෙන ශරීර දුටු කුමාර්ට තමන්ගේ දිවීමේ දක්ෂතා මතක් කළා.

බෝඩිං කාමරයේ නිකරුණේ කාලය ගෙවා දමනවාට වඩා වැල්ලේ දුවන්නට ඇත්නම් යන සිතුවිල්ල කුමාර්ට නැගෙන්නේ ඒ හා සමඟ. ඔහු ඉතා ඉක්මනින්ම එම සිතුවිල්ල ක්‍රියාවට නගනවා. දැන් කුමර්ට ගම තරමටම කොළඹ ද එක වගේ. ඒ ඔහු වැල්ලවත්ත වෙරළ, මාර්ග ධාවන පථය කර ගත් දා සිට.

මේ කාර්ය වෙනුවෙන් කුමාර්ගේ සේවා ආයතනය ද කිසිදු තහංචියක් පනවන්නේ නෑ. ඒ ඔහු කාර්යයන් දෙකම වගකීමෙන් ඉටු කළ බැවින්. එහි යන එන දැන උගත් මහත්වරුන්ගේ ද ඇසුර කුමාර්ට ඒ වෙද්දී ලැබුණා. සේවා ස්ථානයේ දී දකින ඇතැමුන් වැල්ලවත්ත වෙරළ තීරයේ දී ද හමුවුණා. ඔවුන් කුමාර්ගේ දක්ෂතා සහ ජවය ගැන ලෝබ නැතුව පැසසුවා.

ඒ අතර එක්තරා දිනයක දී කුමාර්ගේ ඉරණම් ගමන විසඳූ මාර්ගෝපදේශකයා හමුවෙනවා. ඔහු වැල්ලවත්ත ෂරීටා ජුවලර්ස් අධිපතිතුමා. වාහන සේවා ස්ථානයේ දී දැක තිබූ මේ කෙසඟ තරුණයා දින ගණනාවක් වැල්ලවත්ත වෙරළේ දුවන අයුරු ඔහු නිරීක්ෂණය කර තිබුණා.  දිනක් දෙකක් කුමාර්ගේ වගතුග විමසූ ඔහුට කුමාර් තම අතීත කතාව පවසනවා.

කුමාර් ශම්මුගේෂ්වරන් නම් මීටර් 10,000 දුර දිවීමේ ඉසව්වේ ජාතික ශූරයා බිහි වීමට වින්නඹුකම් සිදු වෙන්නේ ඒ ආකාරයෙන්. ෂරීටා ජුවලර්ස් අධිපතිතුමා කුමාර්ගේ සේවා ආයතනයේ ද අවසර ඇතිව මලල ක්‍රීඩා පුහුණුකරු දයා ශ්‍රී මහතා වෙත කුමාර් යොමු කිරීමත් සමඟිනුයි මේ සියලු දේ සිදු වෙන්නේ.

එතෙක් තමන්ට අවැසි ආකාරයට පාද චලනය කරමින් දුර දිවූ කුමාර්ට දිවීමේ විද්‍යාත්මක පදනම කියා දෙන්නේ දයා ශ්‍රී මහතා. එහෙත් ඔහු වැඩි කාලයක් කුමාර් ඔහු යටතේ තියා ගන්නේ නැහැ. ඒ කුමාර්ට ඊට වඩා පුහුණුවක් අවශ්‍ය බැව් දයා ශ්‍රී මහතා තේරුම් ගෙන සිටි නිසා. ඔහුගේ මැදිහත් වීම මත කුමාර් ඊට පසු පුහුණුව ලබන්නේ සජිත් ජයලාල් මහතා යටතේ.

එය කුමාර්ගේ ජීවිතයේ බලාපොරොත්තු ඉටු වීමක් වුනා. දැන් කුමාර් සේවා ආයතනයේ සේවය කරන ගමන්ම සජිත් ජයලාල් මහතා යටතේ පුහුණුවත් ලබනවා. විශාල වගකීමක්. එක් අතකින් තමන්ටත් තම පවුලේ අයටත් ද්‍රරිද්‍රතාවයෙන් යම් තරමකින් හෝ සහනයක් වන සේවා ස්ථානයේ කටයුතුත් අනෙක් පැත්තෙන් තමන්ගේ ඉහළම බලාපොරොත්තුව වූ ධාවන ක්‍රීඩකයෙක් වීමේ සිහිනය සැබෑ කර ගැනීමට නම් ක්‍රමාණුකූලව ලැබිය යුතු පුහුණුවත් එක විට කර ගැනීමේ අපහසුවෙන් කුමාර් පෙළෙනවා.

කුමාර් මේ දෙකටම එකසේ ගරු කළ අතර ඉන් එකකට හෝ අනෙක වෙනුවෙන් අසාධාරණයක් හෝ ඇවැඩක් වීම ඉවසුවේ නැහැ.

කුමාර් මේ කරුණු අතරේ දෝලනය වන විට සජිත් ජයලාල් ගුරුවරයා කුමාර්ට ශ්‍රී ලංකා යුද හමුදාවේ කාලතුවක්කු බලකායේ සේවය කරන ගමන්ම ධාවන ක්‍රීඩකයෙක් ලෙසින් ද කටයුතු කිරීමට හැකි වන සේ මඟ පාදනවා.  ඒ 2015 වසරේ දී.

එතැන් සිට වසරක් පමණ කාලයක් ගත වූවද කුමාර්ගේ දක්ෂතාවේ මල්ඵල ගැනීමක් හට ගත්තේ නැහැ. නමුත් දිගින් දිගටම සජිත් ජයලාල් මහතා කුමාර්ව පුහුණු කළා. කුමාර් ද ඔහුට අවනතව සියලු පුහුණුවීම් කටයුතු කළා. වසර තුනක ඇවෑමෙන් කුමාර් දක්ෂ දිගු දුර ධාවකයෙක් වුනා. කුමාර්ගේ ඉසව්වන් වූයේ මීටර් 10,000, මීටර් 5,000 සහ අර්ධ මැරතන් ඉසව්වන්. ඔහු 2018 වසරේ දී මෙරට පැවති ප්‍රධානතම තරගාවලි 8ක ජයග්‍රාහකයා වුනා.

මේ අතරට වියට්නාමයේ විවෘත මලල ක්‍රීඩා ශූරතාවලියේ දී මීටර් 10,000 ඉසව්වෙන් ලත් රන් පදක්කම ද ඇතුළත්. ඒ ඔහු සහභාගී වූ පළමු විදෙස් සංචාරය. ඔහු එම තරගාවලිය සඳහා සුදුසුකම් ලබද්දී යුද හමුදා මලල ක්‍රීඩා තරගාවලිය, ත්‍රිවිධ හමුදා අර්ධ මැරතන් තරගාවලිය, ආරක්ෂක සේවා මලල ක්‍රීඩා තරගාවලිය සහ ආසියානු මලල ක්‍රීඩා තරගාවලියේ තේරීම් තරග ද ඉතා පහසුවෙන් ජයග්‍රහණය කර තිබුණා.

එමෙන්ම කුමාර් සහභාගී වූ පළමු ජාතික මහා ක්‍රීඩා උළෙලේ දී එතෙක් 2011 වසරේ සිට 2017 වසර දක්වා පිට පිට 7ක් වතාවක් ජාතික මහා ක්‍රීඩා උළෙලේ එම ඉසව්වේ ජාතික ශූරයා වූ ලයනල් සමරජීව පරාජය කරමින් ජයග්‍රහණය කිරීමට කුමාර් සමත් වෙනවා.

එමෙන්ම යුද හමුදා මලල ක්‍රීඩා තරගාවලියේ මීටර් 10,000 ඉසව්වේ වාර්තාව වසර 13කට පසුව තමන් සන්තක කර ගැනීමට ද කුමාර් එම අවුරුද්දේ දී සමත් වෙනවා.

කුමාර් මේ දිනවල නේපාලයේ කත්මණ්ඩු නුවර දී පැවැත්වෙන 13 වැනි දකුණු ආසියානු ක්‍රීඩා උළෙලට සහභාගී වෙන්නේ එවැනි අතිශය දුක්බර, කටුක දිවි පෙවෙතක මතකයන් ද සමඟින්. ඔහුට ක්‍රීඩා ලොව ජය ගන්නට හැකි වූවද තවමත් ඔවුන්ගේ ලෝකය ජය ගැනීමට හැකියාවක් ලැබී නැහැ.

කුමාර් ලබන ජයග්‍රහණත් සමඟ අපි හෙට දවසේ දී ශ්‍රී ලාංකිකයන් ලෙසින් උදම් අනනු නියතයි. එහෙත් කුමාර්ට සිදු වෙනුයේ තම පදක්කම, සිහිවටනයක් කරගනිමින් ඊට පසුදා සිට සැබෑ ජීවිතයට පිවිසීමටයි. කුමාර්ලාගේ ජීවිත සැපවත් කරන්නට නොව සුවපත් කරන්නට හැකියාවැති බොහෝ අය සිටිය හැකියි. ඔවුන් කුමාර් හා එක්වන්නේ නම් එය ThePapare.com අපගේ බලාපොරොත්තුවයි.

 

(www.thepapare.com)

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article